සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රෙය් දැවැන්ත පෙරලියක්

ඉදිරි කාල පරිච්ඡේදය මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ දියුණුව උදෙසා සුවිශේෂී මෙහෙවර රැසක් රජය මගින් ඉටු කරනු ලබන අතර ශක්තිමත් දේශීය ව්‍යවසායක ප්‍රජාවක් ගොඩනැගීම පිණිස විශාල පිටුවහලක් ඉන් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන සභාපති සරත් කහපොලආරච්චි මහතා පවසයි. පසුගියදා පැවති ව්‍යවසායකත්ව සම්මාන 2015 සම්මාන ප්‍රදානය පිළිබද හා සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය පිළිබද සකස් කළ වාර්තාව අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත භාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් කහපොලආරච්චි මහතා එහිදී සාකච්ඡා කළ කරැණු පිළිබදව තවදුරටත් ඒ පිළිබදව කරුණු ඉදිරිපත් කරන ලදි.

අපි සම්මේලනය වශයෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබද හොදින් අධ්‍යයනය කළා. වාර්ෂික සම්මාන ප්‍රදානය සදහා මෙරට විශාල ව්‍යවසායකයන් පිරිසක් අයදුම් කළා. ඔවුන් අද පවතින තත්ත්වය හා ඉදිරි අවශ්‍යතා පිළිබද අපගේ විද්වත් විනිශ්චය මණ්ඩල නිගමනයන් ද ඇතුළත්ව වාර්ෂික වාර්තාව අපි සකස් කළේ. මෙරට ව්‍යවසායකයන්ගේ උන්තතිය උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රවර්ධන අධිකාරියක් ආරම්භ කිරීම, ජාතික ව්‍යවසායකත්ව දිනයක් ප්‍රකාශයට පත් කිරීම, ව්‍යවසායකත්වය අධ්‍යයන විෂයක් ලෙස සමාජ ගත කිරීම පිළිබද යෝජනා කෙරෙහි අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු කරනු ලැබුවා. එතුමන් ඒ පිළිබදව දීර්ඝව කටයුතු කරන බවට අප වෙත ප්‍රකාශ කළ මේක හොද තත්ත්වයක්. රටේ රාජ්‍ය නායකයා ව්‍යවසායක ප්‍රජාව වෙත සිය අවධානය යොමු කිරීමට අකග වීම අනාගත පැවැත්ම උදෙසා බලපාන ප්‍රධාන සාධකයක්.

ශ්‍රී ලංකාව ඕනෑම නිෂ්පාදනයක් සදහා ලබා ගන්නා අමුද්‍රව්‍ය සංචිත සහිත ස්වාභාවික සම්පත් පාරාදීසයක්. අඩු මිලට අමුද්‍රව්‍ය විකුණලා වැඩි මිලට නිෂ්පාදන ලබා ගැනීමේ ක්‍රියාවලිය වහාම නතර කර දේශීය ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කළ යුතුයි යන්න ජනාධිපතිතුමාගේ අදහස ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මේ සදහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන්න පුළුවන් බව එතුමන් තේරුම් ගත්තා. මේ සදහා දීර්ඝව කටයුතු කරන්න නිලධාරීන් යොමු කරවන්න එතුමන් කටයුතු කළා. පැහැදිලිවම ශක්තිමත් දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න ඉක්මණින්ම හැකිවේවි යන්න අපේ බලාපොරොත්තුවයි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත මෙම වාර්ෂික වාර්තාව භාරදීම සදහා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පූර්ව සභාපති අජිත් වත්තුහේවා, ජ්‍යෙෂ්ඨ උප සභාපති රුවන් එදිරිසිංහ, මහලේකම් අජිත් ඩී. පෙරේරා, වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා අනුරත් අබේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

bvvv