ෆොන්සේකාට මන්ත්‍රී පදවියක් දෙන්නේ මොන අමතර හැකියාවටද?

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මන්ත‍්‍රී පදවියක් දෙන්න හදන්නේ ඔහුට වම -දකුණ කියමින් අණදීමට අමතරව තවත් හැකියාවන් ඇතිනිසාදැයි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විමසයි.

තමාට හැකියාව ඇත්තේ වම -දකුණ කියා යුධ හමුදාවට අණදීමට පමණක් බවත්,තමාට දේශපාලන දර්ශනයක් නොමැති බවත් මේ රජයේ ඇමතිවරයෙකු සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ඔහු මේ බව කියා සිටියේය.

සරත් ෆොන්සේකා යනු පසුගිය මැතිවරණයේදී ජනතාව  ප්‍රතික්ෂේප කළ චරිතයක් බවත්,ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් පිරිනැමීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් එය දේශපාලන පක්ෂ මගින් ගන්නා තීරණයක් බවත් ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේ දෙනම අද (03)බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ලංකාවෙන්ම ඡන්ද 28000 ක් ගත් ෆොන්සේකාට මන්ත්‍රී ධූරයක් පිරිනැමීම අදාළ පක්ෂ වලට ගැටළුවක් නොමැති නම් ප්‍රශ්නයක් තමාට නොමැති බවත්,හමුදාවේ හිටපු ගෝඨාභය දන්නේ වම -දකුණ පමණයි යැයි පැවසූ අය ෆොන්සේකාට ඊට වඩා දේවල් පුළුවන් බව විශ්වාස කරනවා ඇතැයිද හෙතෙම සිහිපත් කළේය.

නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව ඉතිහාසයේ කවරදාටත් වඩා අද ඇතිවී තිබෙන බවත් එවැනි පක්ෂයක් බිහිවුවහොත් සම්පූර්ණ සහය ලබාදෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.

පක්ෂයකින් රටට වියයුතු දේ නොවන්නේ නම්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා කියමින් සිට පලක් නොමැති බවත් නායකයින් බිහිවිය යුත්තේ ජනතාව අතරින් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977 දී ආසන අටට වැටී තිබියදී විරුද්ධ පක්ෂ නායකත්වය දෙමළ පක්ෂයකට ගියත් එදා ශ්‍රී ලනිපය විරුද්ධ පක්ෂයක් ලෙස ක්‍රියාත්මකවූ බවත් අද එවැනි තත්ත්වයක් මෙම පක්ෂයට නොමැති බවත් ඒ මහතා කීය.

ටී.එන්.ඒ සංවිධානය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය නාමීකව ලෙස කටයුතු කළත් විරුද්ධ පක්ෂ මතය රටතුළ ඔවුන් නියෝජනය නොකරන බවත්,ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය ලෙස පාර්ශව දෙකක් සිටිය යුතු බවත් කී ඒ මහතා මෙම පසුබිම තුළ නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව ඇතිව තිබෙන බවද අවධාරණය කළේය.

අද මේ රටේ කවුරුන් අත්අඩංගුවට ගතයුතු බවද කාට නඩු පැවරිය යුතුද යන්න පිළිබඳ නම් කිරීම් කරන්නේ දේශපානඥයින් හා සිවිල් සංවිධාන බවත්,නීතීපති හෝ පොලීසිය යම් කරුණක් සම්බන්ධව නඩු නිමිත්තක් නොමැති බව පවසත්දී මේ අය”නෑ නෑ රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න ඕනෑ”යැයි පැවසීම තුළින් පෙනෙන්නේ යහපාලනයද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ත්‍රස්තවාදයට එරෙහිව ගෙනගිය සටනේදී සිදුවුණු පිළිබඳ අද අපට එරෙහිව මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරන උදවියට අමතක බවත් සුදුවෑන් වලින් මිනිස්සු උස්සනවා කියා අපට චෝදනා කළ ඇමරිකාව මුළු ලෝකය වටේ පිරිස් ප්ලේන් වලින් ඉස්සූ බවද හෙතෙම පැවසුවේය.

33

adaderana