මිලදී ගත් තනපටය ඇතුලේ අමුතු ජෙලි පැකට් 2ක්

කැකිරාව නගරයේ ප‍්‍රසිද්ධ වෙළෙඳසලකින් තමන් මිලදී ගත් තනපටයක තිබී ජෙලි හා සමාන ද්‍රව්‍යයක් අඩංගු සැකකටයුතු පැකට් දෙකක් හමුවූ බවට කාන්තාවක විසින් කැකිරාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

කැකිරාව පොලිසිය ආසන්නයේ පිහිටා ඇති අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් අදාළ කාන්තාව එම තනපටය මිලදී ගත් බවත් වෙළෙඳසල තුළදී එය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ එහි කොටසක යම් සැකකටයුතු ඇසුරුම් පැකට්ටුවක් ඇති බව දැකගන්නට ලැබුණු බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබේ.

ඇය ඒ සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ. එම කාර්යාංශයේ නිලධාරිනියන් විසින් අදාළ තනපටය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හඳුනා නොගත් ජෙලිවලට සමාන ද්‍රව්‍යයක් හා කුඩා ගුළි 3ක් බැගින් අඩංගු පැකට් දෙකක්ද පොලිසියට හමුව තිබිණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ සේවිකාවන්ගෙන් හා කළමනාකාරිත්වයෙන්ද පොලිසිය ප‍්‍රශ්න කර තිබිණි. එහිදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ඒවා අදාළ නිෂ්පාදකයා විසින්ම ඊට ඇතුළත් කර ඇති ඒවා බවයි. අදාළ පැකැට්ටු දෙකෙහි අඩංගු දෑ මොනවාදැයි යන්නත් ඒවා සෞඛ්‍යයට අහිතකර ඒවාදැයි සොයා බැලීමටත් එම පැකට්ටු රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.

කැකිරාව ඉපලෝගම ප‍්‍රදේශයේ කාන්තාවක විසින් අදාළ පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කර තිබූ අතර කැකිරාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජානක පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබිණි.

u

 

පහත විඩියෝවෙන් දැක්වෙන්නේ මෙහා සමාන දෙයක් හමුවූ අවස්ථා වකි