1949න් පසු ජාතික ගීය සිංහල හා දෙමළ බසින්

ලක් දූ පුතුන් එකම වේදිකාවක සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගයමින් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන 68 වැනි ජාතික නිදහස් දින සැමරුම් මහෝත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (04) අභිමානවත්ව පැවැත්විණි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී ගත වූ 68 වසරක ඉතිහාසයේ දෙවැනි වතාවට මෙසේ සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගායනා කළ අවස්ථාව සනිටුහන් වූ ඊයේ සැබෑ ජාතික නිදහස් සැමරුමක තිබෙන සුන්දර, විචිත්‍රවත් බව ලොවට කියාපෑමට අපට හැකිවිය.

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාව විසින් දෙන ලද අමිල ජනවරම යළිත් මහ මැතිවරණයේදී තහවුරු කිරීම හේතුකොට ශ්‍රී ලංකාව යහපාල‍නයේත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේත් පරමාදර්ශී රාජ්‍යයක් බවට පත්කිරීමේ ජනතා ප්‍රාර්ථනා විජයග්‍රහණය කළ අවස්ථාවක් ලෙසද මේ සැමරුම් උළෙල හැඳින්විය හැකිය.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකයෝ, සියලු වාද බේද ඉවතලා එක මවකගේ දරුවෝ මෙන් සෙනෙහසින් බැඳුණු නිදහස් දින සැමැරුමක් පැවැත්වීම පිළිබඳව දෙස් විදෙස් නායකයෝ ජනපතිට අගමැතිට තුති පළ කොට තිබේ.

ජාතීන්, ආගමිකයින් හා වෙනත් බේද මුල්කොට තනි තනිව රටපුරා ජාතික නිදහස් දින සැමැරුම් පැවැත්වීමේ අභාග්‍යමත් ක්‍රියාව යළි මතු සිදුනොවන තැනට රට මෙහෙයවීම මෙවර සිදුවූ සුවිශේෂම සිද්ධිය විය.

හරිත පැහැ පොළෝ තලය, නිල්වන් අහස් ගැබ හා මහ සයුර සුරැකුමට තුන්කල්හිම වීර විකුම් පෑ ලක් දූ පුතුන්ගේ එඩිබල වික්‍රමයන් ලොවට කියමින් සැමැරුම ඇරඹි‍ෙය් ඊයේ (04) පෙ.ව. 8.00ට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා හා එම මහත්මියගේ පැමිණීමත් සමඟය.

අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා හා එම මහත්මිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හා එම මහත්මිය, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හා එම මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා එම මහත්මිය උත්සව අවස්ථාවට පැමිණියහ.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් යන මහත්වරු ඉන්පසු උත්සවයට එක්වූහ.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය පෙරේරා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේස්වරන්, ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා හා එම මහත්මිය, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා හා එම මහත්මිය, අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා හා එම මහත්මිය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හා එම මහත්මිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, කතානායක කරු ජයසූරිය මහතා එම මහත්මිය උත්සවයට එක්වූහ.

ඉන්පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නිදහස් දින සැමැරුමට එක්වූයේ පොලිස් යතුරු පැදි පෙරටු කොටගෙනය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ජයන්ති සිරිසේන මහත්මිය උත්සවයට එක්වූයේ පොලිස් යතුරුපැදි, අශ්වාරෝහකයින් පෙරටු කොටගෙනයි.

ජනාධිපතිවරයා මහත් හරිසරින් පිළිගෙන ජාතික ධජය එසවීම සඳහා කැඳවාගෙන ආහ. ජය සක් හඬ මධ්‍යයේ එම කාර්ය ඉටුකළ ජනාධිපතිතුමා, අනතුරුව එක්වූයේ පාසල් දරු දැරියෝ විසින් ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාවටය. පාසල් දරු දැරියෝ ජයමංගල ගාථාව හා දේවෝ වස්සතු කාලේන ගාථා ගායනා කළහ.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත් ස්වෛරීභාවයේත් භෞමික අඛණ්ඩත්වයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවිපිදූ සියලුම ශ්‍රී ලාංකිකයින් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

ජනාධිපතිවරයා වෙත උත්තමාචාරය පුදකිරීමට වෙඩි මුර 21ක් පිරිනැමුණි. ඉන්පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමැතුවේය.

එම අභිමානවත් ඇමතුමෙන් පසු යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකාවල මෙන්ම ජාතික ශිෂ්‍ය භට බළකාවල සාමාජිකයෝ දර්ශනීය ආචාර පෙළපාලියක් පැවැත්වූහ.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදි සියලු ජනකොටස්වල ජාතික, ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන නිදහස සුරැකීමට, සියලු වාදබේද ඉවතලා අප සැම එකට එක්වෙමු! යන උදාර පණිවුඩය ජනහදවත්වල රෝපණය කැරැලීමට ජනපතිඳුන්ගේ ජාතිය ඇමතුමෙන් පසු හැකියාව ලැබුණි.

ශ්‍රී ලාංකීය ජනතාව වසර 443 පමණ පැවැති අධිරාජ්‍යවාදී වහල් පාලනයෙන් මිදී නිවහල් දේශයක අභිමානවත් පුරවැසියන් බවට පත්කැරැලීමට එදා මෙදාතුර කැපවූ ජාතික නායකයෝ ඇගැයීමට හා ඔවුන්ගේ සේවයට තුති මල් පුදන්නටත්, විසිහය වසරක කාලයේ අඳුරු යුද බිය රටෙන් තුරන් කරන්නටත් කැපවූ යුද විරුවෝ සිය ශූර වීරකම් මේ පෙළපාලියෙන් මනාව ප්‍රදර්ශනය කළහ.

පොළෝතලය කම්පිත යුද බිය තුරන් කිරීමට එක්වූ නාවිකයෝ සයුරේද, ගුවන් හමුදා රණවිරුවෝ අහස් ගැබේද පෑ පෙළහර කාගේත් කතාබහට ලක්විය.

යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම් වර්ණවත් අයුරින් තම වීරත්වය, පෞඪත්වය විදහා දැක්වූහ. ශ්‍රී ලාංකික ජනතාවගේ වන්දනීය ජාතික ධජය ආරක්ෂක සේනාවල ධජ හා තූර්යවාදක කණ්ඩායම්වල මියුරු ජාතිකාභිමානී ගී හඬ අභිභවමින් අහස් ගැබ දෙදරවමින් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා, මිග් යානා, කෆීර් යානා ඉගිල ගියේය. නාවික හමුදාව සයුරේ පෙළහැර පෑහ.

ජාතික නිදහස් දින සැමැරුම් උළෙල වර්ණවත් කරමින් ආරක්ෂක අංශ පැරෂුට් භට පුහුණුව ලැබූ නිලධාරීහු 20 දෙනකු අඩි 6000ක උඩු ගුවනේ සිට මව්බිමට පා තැබූහ. එය ඉතා විචිත්‍රවත් වූ වික්‍රමාන්විත ක්‍රියාදාමයක් විය. මේ සඳහා වීර ආරක්ෂක අංශ කාන්තාවෝ දෙදෙනකු එක්ව සිටියහ. එම පිරිස ජනාධිපතිතුමාට සිය උත්තමාචාරය පුද කළහ.

ඉන්පසුව දෙමළ බසින් ජාතික ගීය ගායනා කොට උත්සව සභාව නිමාවට පත්විය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික නායකයෝ, මැති ඇමැතිවරු, විදේශීය තානාපතිවරු, රජයේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

Feetured