ෆොන්සේකා මන්ත‍්‍රී කළොත් ව්‍යවස්ථා අවුලක් !

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය දා එක්සත් ජාතික පක්ෂය හා එක්වුව ද එම පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන මන්ත‍්‍රීධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් නීතිමය හා සදාචාරමය ගැටලූ රැසකට මුහුණ පා ඇත.

එජාපයේ පත් කළ මන්ත‍්‍රී එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වීම නිසා එම මන්ත‍්‍රී ධුරය පුරප්පාඩු වූ අතර එම ධුරයට පත් වීම සඳහා සුදුසුකම් ඇති කිහිප දෙනකුම ඒ ධුරය බලාපොරොත්තු වූහ.

සරත් ෆොන්සේකා මහතාට එම මන්ත‍්‍රී ධුරය ලබා දීම සඳහා අගමැතිවරයාගේ ආශිර්වාදය ඇතිව රාජිත සේනාරත්න හා මලික් සමරවික‍්‍රම යන ඇමැතිවරුන් දෙදෙනා වඩාත් උනන්දු වී තිබිණි. ඒ අනුව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ෆොන්සේකා මහතා අතර එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පසුගිය 03 වන දින අත්සන් කළේය. ඒ අනුව ෆොන්සේකා මහතා ලබන 09 වන දින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ අපේක්ෂාවෙන් පසුවේ.

එහෙත් මේ වන විට නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පෙන්වා දෙන්නේ ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයකට පත් වීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ කඩ අහුරා ඇති බවය. ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයකට පත් වීමට නුසුදුසුකම් යටතේ, 91 වන වගන්තියේ (xi) කොටස අනුව ‘යුද්ධ හමුදාවේ නිත්‍ය බළකායේ සාමාජිකයෙක්, නාවික හමුදාවේ නිත්‍ය බළකායේ සාමජිකයෙක් හෝ ගුවන් හමුදාවේ නිත්‍ය බළකායේ සාමාජිකයෙක්…… යන මේ අය අතුරෙන් කිසිම තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සකු නොවන්නේය.’

ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල්වරයකු ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ දී පත් කරන ලදී. එම තනතුර ජීවිතාන්තය දක්වාම වන අතර විශ‍්‍රාම ගැනීමක් සිදු නොවේ. ෆීල්ඩ් මාර්ෂල්වරයකුට හමුදාවට අණ දීමේ බලයක් හිමි නොවෙතත් ඔහුට ඒ වෙනුවෙන් වැටුපක් හා දීමනා හිමි වන්නේ යුද හමුදාවේ සක‍්‍රීය සේවයෙහි යෙදී සිටින නිත්‍ය සාමාජිකයකු ලෙසය. ෆොන්සේකා මහතාට කැබිනට් ඇමැතිවරයකු සතු බලතල හා වරප‍්‍රසාද ද ලබා දී ඇත. කෙසේ නමුත් රටක සිවිල් අරගලයක් මර්දනය කිරීම නිසා ලෝකයේ ෆීල්ඞ් මාර්ෂල් ධුරයෙන් පුදනු ලැබූ එකම හමුදා නිලධාරියා වන්නේ ද සරත් ෆොන්සේකා මහතාය. සාමාන්‍යයෙන් මෙම තනතුර ලැබෙන්නේ රටවල් අතර වූ අසීරු යුද මෙහෙයුම් ජයගත් හමුදා ප‍්‍රධානීන්ට හෝ විශාල හමුදා කණ්ඩයන්ට අණ දුන් පුද්ගලයන්ගේ ගෞරවය වෙනුවෙනි. ඉන්දියාවේ එලෙස ගෞරවයට පාත‍්‍ර වූ ෆීල්ඩ් මර්ෂල්වරු දෙදෙනකු සිටිති.

ඒ කෙසේ නමුත් ෆොන්සේකා මහතාට මන්ත‍්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ද මේ වන විට බාධාවක්ව පවතී. මැතිවරණ කොමසාරිස්වරයා හා සමරවීර වීරවන්නිට එදිරිව පාක්‍යසෝති සරනවමුත්තු (CPA) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප‍්‍රනාන්දු මහතා ලබා දුන් තීන්දුව අනුව මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දුන් ලැයිස්තුවේ නම සඳහන් නොවුණ කිසිවකු පුරප්පාඩු වන මන්ත‍්‍රී ධුරයක් සඳහා නම් කිරීමට පක්ෂයට හෝ මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් ඇත්තේ නැත. මෙම තීන්දුව ඌව පළාත් සභා මන්ත‍්‍රී ධුරයක් සඳහා ලබා දුන්නක් නමුත් පළාත් සභා මැතිවරණ පනත හා පාර්ලිමේන්තු මැතිවරණ පනත බොහෝ සෙයින් සමාන නිසා මෙම තීන්දුව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් බලපැවැත්වෙන බව නීතිවේදීන් තර්ක කරයි. ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් සඳහා පත් කෙරෙන්නේ නම් එහි නම සඳහන් වීම හෝ එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටිය යුතුය. එහෙත් එය නොසලකා බැසිල් රාජපක්ෂ මහතාට හා ඩලස් අලහප්පෙරුම මහතාට ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර ලබා දීම සම්බන්ධයෙන් මීට පෙර මෙම නෛතික ගැටලූව ඇතිවුව ද ඒ විභාග කිරීම පසුගිය රජය සමයේ දී වැළැක්විණි.

එමෙන්ම ෆොන්සේකා මහතාට මන්ත‍්‍රී ධුරයක් ලබා දීම ගැන තවත් ගැටලූවක්ව තිබෙන්නේ යුධ අපරාධකරුවකු ලෙස ඔහුගේ නම දරුස්මාන් වාර්තාවේ සඳහන්ව තිබීමය. මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ නම ද මෙම වාර්තාවේ යුද අපරාධකරුවකු ලෙස දක්වා ඇත. මේ අනුව ෆොන්සේකා මහතාට මන්ත‍්‍රී ධුරයක් ලබා දීම යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණවල දී විශාල බාධාවක් විය හැකි බව පැවසේ. එසේම යම් හෙයකින් ඔහුට කැබිනට් ඇමැති ධුරයක් ලැබුණහොත් ඔහුට ෆීල්ඩ් මාර්ෂල් නිල ඇඳුමෙන්ම කැබිනට් රැස්වීමට සහභාගි විය හැකි අතර එම තත්ත්වය කැබිනට් මණ්ඩලය යුද කැබිනට් මණ්ඩලයක් ලෙස නම් කිරීමේ හැකියාව ද පවතී. එම තත්ත්වය මත මෙරට මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සැලකීමේ දී ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරය හමුවේ වගවීම ගැටලූකාරී වන බව ද නීතිවේදීන් පෙන්වා දෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ගණනාවක්ම රනිල් වික‍්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත්තේ ෆොන්සේකා මහතාට මන්ත‍්‍රී ධුරයක් ලබා දීම පක්ෂයට කරන විශාල අසාධාරණයක් බවය. පසුගිය මහ මැතිවරණයේ දී ෆොන්සේකා මහතාගේ පක්ෂය මුළු රටෙන්ම ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය 26,000 කට ආසන්න බැවින් කොළඹ දිත‍්‍රික්කයෙන් ඡන්ද 66,000ක් ලබා පරාජය වූ රෝසි සේනානායක මහත්මියට හෝ පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කළ තවත් පරාජිත ජ්‍යේඨයන් හෝ අතහැර දමා ෆොන්සේකා මහතාට එම අවස්ථාව ලබා දීම සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

ෆොන්සේකා මහතා රාජපක්ෂ රෙජීමයේ හමුදාපතිවරයාව සිටි අවධියේ දී සිදු වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා ද වගකිවයුත්තකු බව රනිල් වික‍්‍රමසිංහ මහතා එවකට පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කර තිබූ අතර පසුගිය කාලයෙහි මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කරනු ඇති බවට මාධ්‍ය වර්තා ද පළවී තිබිණි. ඒ තත්ත්වය මත ෆොන්සේකා මහතාට ආණ්ඩුවේ දේශපාලන බලයක් ලැබීම තුළ එම ඝාතන පරීක්ෂණ ද යට යෑමේ අවදානමක් ඇති බවට සධාරණ සැකයක් ඇති වන බව නීතිවේදීන් පෙන්වා දෙනු ලබන තවත් කරුණකි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එජාපයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනකුම මේ තත්ත්වය ගැන රනිල් වික‍්‍රමසිංහ මහතාව දැනුවත් කර ඇති බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ මහතා කිසිදු ප‍්‍රතිචාරයක් ලබා දී නැති බවත් වාර්තා වේ. එජාප සභාපති මලික් සමරවික‍්‍රම මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මන්ත‍්‍රී ධුරය ෆොන්සේකා මහතාට ලබා දීම සිදු වන බවත් ප‍්‍රශ්නයක් ඇතොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳා ගන්නා ලෙසය. එමෙන්ම ඔහු පක්ෂයේ ජ්‍යේෂ්ඨයන්ට පවසා ඇත්තේ ෆොන්සේකා මහතාට මන්ත‍්‍රී ධුරය ලබා දීම ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සිදු වුණ බවය. ඒ බව ෆොන්සේකා මහතා ද යම් ඉඟියක් කර තිබිණි. එහෙත් අප කළ සොයා බැලීමේ දී ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ එය එජාපයේ තීන්දුවක් මිස තමාගේ සම්බන්ධයක් නැති බව ජනාධිපතිවරයා පවසා ඇති බවය.

ෆොන්සේකා මහතාට මන්ත‍්‍රී ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට එජාපයේ අභ්‍යන්තරය තුළ ද කැලඹිලිකාරිත්වයක් පැන නැගී ඇත. පසුගිය දා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක දී පවසා තිබුණේ පරාජිත අපේක්ෂකයකු වන ෆොන්සේකා මහතාට මන්ත‍්‍රී ධුරයක් ලබා දීම ගැන තමා විරුද්ධ වන බවය. එජාපයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර නම් කිරීමේ දී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රතිපත්තිය වූයේ ද පරාජිතයන්ට මන්ත‍්‍රී ධුර ලබා නොදීමය. කෙසේ නමුත් ලබන 08 වන දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් පක්ෂය අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

w

-සුභාෂ් ජයවර්ධන