උල්කාපාතයක් වැදී මියගිය පළමු මිනිසා ඉන්දියාවෙන්

උල්කාපාතයක් වැටීමෙන් ඉන්දියානු ජාතිකයකු මියගොස් ඇත. උල්කාපාතයක් පොළව මතුපිටට වැටීම හේතුවෙන් මිනිසකු මියයාම පිළිබඳ වාර්තාවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ වෙල්ලෝර් දිස්ත‍්‍රික්කයට අයත් කේ පන්තරප්පල්ලි ගම්මානයේ පිහිටා ඇති පෞද්ගලික ඉංජිනේරු විද්‍යාලයකට මෙම උල්කාපාතය කඩා වැටී ඇති බව ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් පවසා තිබේ.

උල්කාව කඩාවැටීම සමග අභිරහස් පිපිරීමක් සිදුවී ඇති අතර ඒ ආසන්නයේ ඇවිද යමින් සිටි බස් රථ රියදුරකු ඉන් අඩි 10ක් පමණ උසකට විසිවී ගොස් බිම වැටී ඇතැයි පැවසේ.

රෝහල්ගත කිරීමේදී ඔහු මියගොස් සිට ඇති අතර අසල තිබූ බස් රථ හා ගොඩනැගිලි වලටද හානි සිදුවී ඇත. තවත් පුද්ගලයින් තිදෙනෙකු සිදුවීමෙන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙය බෝම්බයක් නිසා සිදුවූ පිපිරීමක් බවට තමිල්නාඩු රජය මුලින්ම සැක පහළ කළද පුපුරණ ද්‍රව්‍යයක සාක්‍ෂි සොයාගැනීමට රස පරීක්‍ෂකයන් අසමත්වී ඇත.

කෙසේවෙතත් පසුව අඩි 2ක් පමණ ගැඹුරැති ආවාටයෙන් උල්කාපාත කැබැල්ලක් සොයාගැනීමට ඔවුන් සමත්ව තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට ලක්වූ පුද්ගලයින්ට ප‍්‍රතිකාර ලබාදීමට හා මියගිය පුද්ගලයාගේ පවුලට වන්දි ලබාදීමට බලධාරීන් ප‍්‍රතිඥාදී ඇත.

තාරකා විද්‍යාඥ ඇලන් හැරිස්ගේ ගණන් බැලීම්වලට අනුව යමෙකුගේ ජීවිත කාලය තුළ උල්කාවක් වැදීමෙන් මිය යාමට ඇති සම්භාවිතාව ලක්‍ෂ 7කට එකක් බව පැවසේ.

xde

cnews