ඇනබෙල් බෝනික්කා සිටින භූත කෞතුකාගාරය

ඔබ ‘The Conjuring’ චිත්‍රපටය නරඹා තිබෙනවානම් එඩ් හා ලොරේන් වොරන් දෙපළ ගැන හොඳින් දන්නවා ඇති. එඩ් හා ලොරේන් යනු 1950 තරම් ඈත කාලයේ සිට අභිරහස්, ගුප්ත හා භූත වැනි අධි සාමාන්‍ය සිදුවීම් විමර්ශනය කිරීමෙහි නිරත වූ දෙපළක්. ඔවුන්ගේ වෘත්තීය දිවිය පුරා ඔවුනට හමුවී ඇති විවිධ වූ අද්භූත හා අධි සාමාන්‍ය වස්තූන් ඉතා විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ නිවසේ බිම් මහලෙහි රැස් කර ඇති අතර මෙම යුවල විසින් 1952 දී එය කෞතුකාගාරයක් ලෙස විවෘත කර තිබේ.

කෞතුකාගාරයේ වෙබ් අඩවියට අනුව නම් මෙම ‘The warren’s Occult museum’ (වොරන්ගේ ගුප්ත කෞතුකාගාරය) අද්භූත වස්තූන්ට පමණක් වෙන්වී තිබෙන ලෝකයේ පැරැණිම හා එකම කෞතුකාගාරය වනවා.

මෙම කෞතුකාගාරයේ ඇති බොහෝමයක් වස්තූන් New England Society for Psychic Research (NESPR) නම් සංගමය (වොරන් දෙපළගේ සංගමයක්) මඟින් සිදු කරන ලද පරීක්ෂණ මඟින් එක්රැස් කරන ලද ඒවායි. මේ අතරට එඩ් විසින් 1960-70 කාලයේදී අඳින ලද චිත්‍ර පවා ඇතුළත්.

ඉතා බිහිසුණු, භූතාවේශ වූ හා ආවේශ වූ වස්තූන්.

මෙවැනි මාදිලියේ කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබෙන අතර මේ අතරින් පහත සඳහන් වස්තූන් සුවිශේෂී ඒවා වනවා.

බිහිසුණු චාරිත්‍ර සඳහා අල්තාරයක් භාවිත කරන ලද කුඩා දරුවකුගේ සොහාන් ගලක්.

වැඳුම් පිදුම්වලට භාවිත කරන ලැබූ යක්ෂ පිළිමයක්.

ආවේශ වී තිබුණු සෙල්ලම් භාණ්ඩ විශාල ප්‍රමාණයක්.

බිහිසුණු යක්ෂ පොත්

මරණීය ශාපයන්

ශාප කිරීම සඳහා ඊජිප්තුවේ හා අප්‍රිකාවේ භාවිත කරන ලද භාණ්ඩ

යක්ෂ වෙස් මුහුණු

මායා කර්ම, හදි හූනියම් හා තොවිල් සඳහා භාවිත කරන ලද වස්තූන්

හූනියම් සඳහා භාවිත කරන ලද බෝනික්කන්

ඇකුළුණු මිනිස් හිස්

දරු ඵල සඳහා භාවිත කරන ලද අප්‍රිකානු බෝනික්කන්

යක්ෂ ආත්ම කැඳවීමට භාවිත කරන ලද වෙස් මුහුණු

සම්මත විද්‍යාත්මක ක්‍රම මඟින් පැහැදිලි කිරීමට නොහැකි වස්තූන් හා අනෙකුත් වස්තූන්

සත්ත්ව සලකුණු හා සම් වර්ග

භූතාත්මවල ඡායාරූප

භූතාවේශ වී ඉබේ ක්‍රියා කරන ඕගනයක්

භූතාත්ම කැඳවීමට හැකි දර්පණයක්

සිහිනවලට පැමිණ හදවත නතර කිරීමට හැකි බෝනික්කා.

ඇනබෙල් බෝනික්කා (Annabelle the Doll)

කෞතුකාගාරය පුරාවටම විවිධ ශක්තීන් අඩංගු වූ බෝනික්කන් විශාල ප්‍රමාණයක් තිබුණත් කිසිවක් ඇනබෙල් බෝනික්කා තරම් කතාබහට ලක්වී නොමැත. ඇනබෙල් නමින්ම චිත්‍රපටියක් පවා නිපදවී තිබෙනවා. හැබැයි එහි බෝනික්කාගේ ස්වරූපය සැබෑ ඇනබෙල් බෝනික්කාගේ ස්වරූපයට වඩා තරමක් වෙනස්.

මෙම බෝනික්කා 1970 දී කාන්තාවක් විසින් ඇයගේ දියණිය ඩෝනාට ලබා දුන් ත්‍යාගයක්. ඇය පසුව නේවාසිකව ඉගෙනීම් කටයුතු කරන්නට ගොස් ඇති අතර ඇයගේ නේවාසිකාගාරයේ මිතුරා මෙම බෝනික්කාගේ අද්භූත ක්‍රියා අත්දැක තිබෙනවා. ප්‍රථමයෙන්ම බෝනික්කා එම නිවෙස තුළ ගමන් කරන බව ඔවුනට දැනී තිබෙනවා. එක් කාමරයක සිට තවත් කාමරයක් වෙත පවා බෝනික්කා ගමන් කර තිබෙනවා. පසුව බෝනික්කා විසින් විවිධ දේවල් ලියන්නට පටන්ගෙන තිබේ. ඔවුන් එම නිවෙසට භූතාත්ම ගෙන්වන්නෙක් රැගෙන විත් යාතිකාවක් සිදුකර ඇති අතර එයින් දැනගැනීමට ලැබී ඇත්තේ බෝනික්කා තුළ ඇනබෙල් හිගින්ස් නම් අවුරුදු 7ක ගැහැනු ළමයකුගේ ආත්මයක් ඇති බවයි. මෙම ළමයාගේ සිරුර ඇති ස්ථානයේ ඩෝනා නැවතී සිටින නිවෙස ඉදිකර ඇති බව ද දැනගන්නට ලැබී තිබෙනවා.

දිනක් ඩෝනාගේ මිතුරා රාත්‍රියේ අවදි වූ විට ඩෝනාගේ කාමරය දෙසින් ශබ්දයක් ඇසී වහා කාමරය වෙත දිව යන විට කිසිවකු ඔහුගේ පපුවට පහර දී තිබෙනවා. මේ නිසා ඔහුගේ පපුවේ සිරස් අතට නියපොතු පහරවල් 3ක් හා තිරස් අතට නිය පහරවල් 4ක් ලෙස තුවාල සිදුවෙලා.

පසුව වොරන් දෙපළ සිදුකරන ලද විමර්ශනය කිරීම්වලදී ඔවුන් සොයාගෙන ඇත්තේ මෙය කුඩා දැරියගේ ආත්මය නොව වෙනත් යක්ෂ ආත්මයක් මඟින් පාලනය කරන ලද බෝනික්කෙක් බවයි.

වොරන් දෙපළ මේ බෝනික්කා ලබාගත් පසු ඔවුන් ද විවිධ වූ අද්භූත අත්දැකීම්වලට මුහුණ පා තිබෙනවා.

පසුව කතෝලික පූජකයන් කිහිපයකගේම සහාය ඇතිව යක්ෂ ආත්මය බෝනික්කා වෙතින් පළවා හැරීමට සමත්වෙලා. දැන් මෙම බෝනික්කා වීදුරු පෙට්ටියක් තුළ දමා නරඹන්නට තබා ඇත්තේ නරඹන්නන්ට ආරක්ෂාකාරී දුරකින්.

එඩ් වොරන් 2006 දී මියගොස් ඇති අතර එයින් පසුව ඔහුගේ බිරිය ලොරේන් වොරන් අද වනතුරුත් යක්ෂ හා භූත ආත්ම පළවා හැර පීඩාවට පත් පුද්ගලයන්ට උදවු කිරීම සිදු කරගෙන යනවා. තවමත් ඔවුන් ආරම්භ කරන ලද NESPR සංගමය ඇය පවත්වාගෙන යනවා. එඩ් හා ලොරේන් විසින් එක්ව සිදු කරන ලද ගවේෂණවලින් වඩාත්ම ප්‍රසිද්ධ සිද්ධීන් වන්නේ.

ඇනබෙල් බෝනික්කා (Annabelle the Doll)

ඇමිටිවිල් හි තැතිගැන්ම (The Amityville Horror)

පෙරොන් නිවස (The Perron House, ලොව සුපතළ The Conjuring චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව)

ස්නෙඩෙකර් නිවස (The Snedecker House මෙයත් Hounting in Connecticut ලෙස චිත්‍රපටයට නඟා ඇත.)

කෞතුකාගාරය පුරා ඇති විවිධ අද්භූත වස්තූන් සැබැවින්ම විස්මයජනක වන අතර මේවා තුළ විවිධ ශක්තීන් ගැබ් වී ඇති නිසා මේවා සමහර විට බිහිසුණු විය හැකිය. ඒ නිසා ඔබට මෙම කෞතුකාගාරය නැරැඹීමට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යාමට අවස්ථාවක් ලැබුණහොත් ඉතා සංයමයෙන් හා මනා විනයකින් යුතුව මෙම වස්තූන් නරඹන්නේ නම් ඔබට අනිවාර්යයෙන්ම රසවත් හා අද්භූත අත්දැකීමක් ලැබෙනු නිසැකයි.