තුර්කි, අමෙරිකා, කොරියා හබය

අයි.එස්.ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙනයන සටනේ ප්‍රබල පාර්ශවකරුවකු ලෙස තුර්කිය ක්‍රියා කළේය. අමෙරිකානු සහ නේටෝ ගුවන්යානාවලට තම රටේ ගුවන් කඳවුරු භාවිත කිරීමට තුර්කිය ඉඩ දී තිබිණි. මතුවී ඇති අර්බුදය හමුවේ තුර්කියේ සහාය ඉදිරියට ලැබේද යන්න ගැටලුවක් වී තිබේ.

සිරියාවේ කුර්දි – කැරැලිකාරීන්ට අමෙරිකාව ආධාර – උපකාර කරන්නේ යැයි චෝදනා කරමින් තුර්කි ජනාධිපති ටයිප් එර්ඩොගාන් දැඩි ලෙස අමෙරිකාව දෝෂ දර්ශනයට ලක්කර තිබේ. කැරැළිකාරීන්ගේ සැබෑ ස්වභාවය හඳුනාගැනීමට වොෂින්ටනය අසමත්වීම හේතුවෙන් කලාපයම ලේ සාගරයක් බවට හැරෙමින් ඇතැයි ඔහු පවසයි.

තුර්කි ජනපති අමෙරිකාවට දෙහි කපයි

තුර්කි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පක්ෂය (PYD) සහ කුර්දිස්තාන් කම්කරු පක්ෂය (PKK) සලකන්නේ ත්‍රස්තවාදී සංවිධාන වශයෙනි. අන්කාරා නුවරදී පැවැති රැස්වීමක් අමතමින් ජනාධිපති එර්ඩොගාන් වොෂින්ටනයෙන් ප්‍රශ්න කර තිබුණේ ඔබ සිටින්නේ අපේ පැත්තේද නැතිනම් PYD, PKK ත්‍රස්තවාදී සංවිධාන සමඟද යන්නය.

මේ වනවිට කුර්දි කැරැලිකරුවන් සටන් කරමින් සිටින්නේ ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්.ත්‍රස්තවාදීන්ට එරෙහිවය. සිරියානු කුර්දි කැරැලිකරුවන් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකා අමෙරිකාව ක්‍රියාත්මක විය යුතු බව එර්ඩොගාන් පවසයි. එසේ හැඳින්වීම වෙනුවට ඔවුන්ට සහාය දක්වන පිළිවෙතක වොෂින්ටනය රැඳී සිටීම තුර්කි ජනාධිපතිවරයාගේ අප්‍රසාදයට කාරණයක් වී ඇත. ඔබ සිටින්නේ අප සමඟද නැතිනම් ඔවුන් සමඟද? යන පැනය තමා මේ වනවිට වාර ගණනාවක් අසා ඇතැයි ද ජනාධිපති එර්ඩොගාන් පවසා තිබිණි.

තුර්කි ජනාධිපතිවරයාගේ මේ විරෝධයට හේතු ද තිබේ. කුර්දි කැරැලිකරුවන් දශක ගණනාවක් තිස්සේ තුර්කියේ බෙදුම්වාදී අරගලයක යෙදී සිටීම ඉන් ප්‍රධානය. තුර්කි රජය කුර්දි කැරැලිකරුවන් දෙස බලන්නේ සැබෑ තර්ජනයක් ලෙස සලකමිනි.

කැරැලිකරුවන් 30,000කගෙන් පමණ සමන්විත YPG කුර්දි කැරැලි කණ්ඩායම සිරියානු සාම සාකච්ඡාවල පාර්ශවකරුවකු ලෙසද සහභාගි වේ. PYD කණ්ඩායමටද එම සාකච්ඡා සඳහා ඇරියුම් කිරීමට නියමිතය.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී තුර්කිය දක්වන සහාය අමෙරිකාව අගය කර ඇතත් PYD කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොපිළිගන්නා බව වොෂින්ටන් බලධාරීන් පවසා තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර ඇති පරිදි හොඳම මිතුරන් පවා සෑම කාරණයකදීම එකඟ නොවිය හැකිය. ඔහු පෙන්වා දෙන්නේ සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව කුර්දි කැරැලිකරුවන් සාර්ථක ලෙස සටන් කරමින් සිටින බවය.

අමෙරිකාව වැඩි වශයෙන්ම ගුවන් ප්‍රහාර මඟින් ඔවුන්ට ආධාර කර ඇති බව පවසන කර්බි ඉදිරියටත් එම සහාය ලබා දෙන බව කියා සිටී. කර්බි එලෙස අදහස් දක්වා තිබුණේ තුර්කි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිකුත් වීමට පෙරය. කර්බියේ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස තුර්කිය එරට‍ සිටින අමෙරිකානු තානාපතිවරයා විදේශ අමාත්‍යාංශයට කැඳවා තිබිණි.

අයි.එස්.ත්‍රස්තවාදීන්ට එරෙහිව ගෙනයන සටනේ ප්‍රබල පාර්ශවකරුවකු ලෙස තුර්කිය ක්‍රියා කළේය. අමෙරිකානු සහ නේටෝ ගුවන්යානාවලට තම රටේ ගුවන් කඳවුරු භාවිත කිරීමට තුර්කිය ඉඩ දී තිබිණි. මතුවී ඇති අර්බුදය හමුවේ තුර්කියේ සහාය ඉදිරියට ලැබේද යන්න ගැටලුවක් වී තිබේ.

කුර්දි කැරැලි කණ්ඩායම් පිළිබඳ අමෙරිකානු පිළිවෙත ජනාධිපති එර්ඩොගාන්ගේ බලවත් කළකිරීමට හේතුවක් වී ඇති බව පැහැදිලිය. අමෙමරිකාව තමන්ගේ මුහුණට එකක් කියා පිටතදී වෙනත් ප්‍රකාශ සිදු කරන බව ඔහු පවසා ඇත්තේ අප්‍රසාදයෙනි. මෙවැනි පසුබිමක අමෙරිකාව විශ්වාස කරන්නේ කෙසේද? යන පැනය ඔහු නඟා ඇත.

අමෙරිකාව මුලදී සිරියාවේ අසාද් පාලනය පෙරළා දැමීම සඳහා කැරැලි කණ්ඩායම්වලට සහාය දැක්වීය. එම කැරැලි කණ්ඩායම්වලට අයි.එස්.ත්‍රස්තවාදීන් එකතුවීම අමෙරිකාවට හිසරදයක් විය. ඉන් පසු ඔවුන් කළේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි කණ්ඩායම් ශක්තිමත් කිරීමය.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිවීම මත තුර්කියට ත්‍රස්තවාදී තර්ජනද එල්ල වී ඇත. මෑත වකවානුවේදී ඉස්තාන්බුල් අගනුවර ඇතුළු ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ගණනාවක් සිදුවිය. ඇතැම් වි‍ශ්ලේෂකයන්ට අනුව මේ වනවිට තුර්කියට ඇති ප්‍රධානම අනතුර අයි.එස්.ත්‍රස්තවාදීන් වුවද තුර්කි බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත්තේ කුර්දි කැරැලිකරුවන් දෙසටය. උද්ගතවී ඇති තත්ත්වය කුර්දි බෙදුම්වාදීන් පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් යොදාගනු ලබන බවද ඇතැම් විචාරකයෝ කියා සිටිති.

සිරියාවේ අයි.එස්. ඉලක්කවලට රැසියාවද දරුණු ප්‍රහාර එල්ල කළේය. සිය ගුවන් සීමා උල්ලංඝනය කළ බව පවසමින් තුර්කිය රුසියානු ගුවන්යානයක් බිම හෙළීමට පවා ක්‍රියා කළ අතර එය මුල්කරගනිමින් තුර්කිය හා රුසියාව අතරද උණුසුම් වාතාවරණයක් නිර්මාණය විය.

තුර්කි රජය එරට ගිනිකොන දිග ප්‍රදේශයේ ජීවත්වන කුර්දි වැසියන්ට එරෙහිව වෛර සහගත ආකල්පයකින් ක්‍රියාකරන බවටද චෝදනා එල්ල වී ඇත. එම පිළිවෙතට එරෙහිව නෝම් චොම්ස්කි ඇතුළු බුද්ධිමතුන් ගණනාවක් එක්ව පසුගිය දිනවල පෙත්සමක් පවා ඉදිරිපත් කර තිබිණි. ඊට අත්සන් තැබූ බුද්ධිමතුන් විසි ගණනක් අත්අඩංගුවට ගැනීමට පවා තුර්කි රජය පියවර ගත් අතර පසුව ඔවුන් නිදහස් කළේය. එම අත්අඩංගුවට ගැනීම් නෝම් චොම්ස්කිගේ දෝෂ දර්ශනයට ලක්විය. ඔහු පෙන්වා දී තිබුණේ එවැනි දේ මඟින් සිදුවන්නේ අන්තවාදය තවත් ශක්තිමත් වීම බවය.

කොරියාව යළිත් උණුසුම්

උතුරු කොරියාව මීට දින කිහිපයකට පෙර දිගදුර රොකට්ටුවක් දියත් කිරීමත් සමඟ දකුණු කොරියාව යළිත් නොසන්සුන් වී තිබේ. උතුරු කොරියාවේ එම ක්‍රියාව හෙළා දකිමින් දකුණු කොරියාව ඊට ප්‍රතිචාර දැක්වූයේ මිසයිල ආරක්ෂණ වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහා අමෙරිකාවත් සමඟ සාකච්ඡා අරඹන බව පවසමිනි.

උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කිරීම එ.ජා.ආරක්ෂක මණ්ඩලය විසින්ද හෙළා දුටුවේය. වහා හදිසි රැස්වීමක් කැඳවමින් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය සමඟ සාකච්ඡා කරන බවද ආරක්ෂක මණ්ඩලය කියා සිටියේය. න්‍යෂ්ටික ප්‍රහාරයකදී භාවිත කළ හැකි බැවින් දිගදුර රොකට්ටුවක් ගුවන් ගතකිරීම යනු බරපතළ කාරණයකි. ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් 15 දෙනාම ඒකමතිකව උතුරු කොරියාවේ එම ක්‍රියාව හෙළා දැක ඇත්තේද එම අනතුර හඳුනාගනිමින් විය යුතුය. බැලස්ටික් මිසයිල තාක්ෂණය අත්කර ගැනීමට බාධා කරමින් උතුරු කොරියාවට එරෙහිව අන්තර්ජාතිකව වාරණ පැනවී තිබියදී එරට ඊට අකීකරු වීම ගැන ආරක්ෂක මණ්ඩලයේ දැඩි අවධානය යොමු වී ඇත.

ඉකුත් මාසයේදී උතුරු කොරියාව සිය හතරවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීමද සිදුකළ පසු එරටට එරෙහිව අලුත් වටයකින් සම්බාධක පැනවීම කෙරෙහි ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමුව තිබියදීම මෙම රොකට්ටුව විදීම විශේෂයකි. උතුරු කොරියාවේ හැසිරීම එ.ජා.මහලේකම්වරයාද දැඩිව හෙළා දැක්කේය. කුපිත කරවන සුළු ක්‍රියාවන්ගෙන් වළකින්නැයි ඔහු උතුරු කොරියාවෙන් ඉල්ලා තිබිණි.

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් රොකට්ටුව විදීම මුළුමනින්ම සාර්ථක වූ බව ප්‍රකාශ කර ඇත. උතුරු සහ දකුණු කොරියා අතර ගොඩනැ‍ඟෙමින් හා බිඳවැටෙමින් සිදුවන සාම ක්‍රියාවලියක්ද තිබේ. දෙරට අතර සහයෝගීතාව සංකේතවත් කරමින් කේසොන්ග් හි කර්මාන්ත උද්‍යානයක් ද ඉදිව තිබිණි. එම සංකීර්ණය වසා දමමින් උතුරු කොරියාවේ හැසිරීමට විරෝධය දැක්වීමට දකුණු කොරියාව පියවර ගත්තේය.

දෙරට අතර සහයෝගීතාව නැංවීම අරමුණු කරමින් මිත්‍රත්ව දුම්රියක් පවා නොයෙක් විට ධාවනය විය. එවැනි සංකේතාත්මක ප්‍රයත්නයන් සියල්ල ‍පාහේ පසුගිය කාලය තුළ බිඳවැටී තිබූ අතර ඉතිරිව ඇති කිහිපයට මෙම කාර්මික සංකීර්ණයද අයත්ය.

උතුරු කොරියාව පවසන්නේ මෙම රොකට්ටුවත් සමඟ තවත් චන්ද්‍රිකාවක් කක්ෂගත කළා පමණක් බවය. කෙසේ වෙතත් එවැනි රොකට්ටුවක් යොදා ගනිමින් න්‍යෂ්ටික මිසයිල රැගෙන යාමද සිදුවිය හැකි බවට බිය පළ වී ඇත.

උතුරු හා දකුණු වශයෙන් වසර 60කට වැඩි කලක් තිස්සේ කොරියාව බෙදී සිටී. දෙරට අතර සාමය හා සහයෝගීතාව ගොඩනැඟීම උදෙසා දරන ලද ප්‍රයත්නයේදී ආර්ථික සහයෝගිතාව සහ සංහිඳියාව අරමුණු කරමින් කේසෝන්ග් කාර්මික උද්‍යානය 2004 වසරේදී ස්ථාපිත විය.

2013 අප්‍රේල් මාසයේදී එහි සේවය කළ සිය කම්කරුවන් උතුරු කොරියාව විසින් ඉවත්කර ගන්නා ලද්දේ අමෙරිකා – දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය පළ කරමිනි. දැන්, එය වසා දැමීම දකුණු කොරියා ජනාධිපතිනි පාක් ගෙයුන් හේ විසින් ගනු ලැබූ හමුදාමය නොවන දැඩි පියවරක් බව විශ්ලේෂකයන්ගේ අදහසය. ඉන් උතුරු කොරියාවට වැදගත් පණිවිඩයක් ලබාදී ඇති බවත් පෙනෙන්නට තිබේ. කේසොන්ග් කර්මාන්ත උද්‍යානය වසා දමමින් දකුණු කොරියාව ප්‍රකාශ කර තිබුණේ ඉන් උපයාගනු ලබන ධනය උතුරු කොරියානු නායක කිම් ජොංග් අන්, න්‍යෂ්ටික හා බැලස්ටික් මිසයිල අත්හදා බැලීමේ වැඩසටහන්වලට යොදවාගන්නා බවය. කර්මාන්ත උද්‍යානය වසාදැමීමෙන් ඊට බලපෑමක් ඇතිවන බව දකුණු කොරියාවේ මතය වී තිබේ.

දකුණු කොරියාවේ, එක්සත්භාවය පිළිබඳ අමාත්‍ය හෙංග් යොංග් ජිංයෝ ට අනුව, කේසොන්ග් කර්මාන්ත උද්‍යානය මඟින් උතුරු කොරියාව උපයා ඇති ආදායම ඇ.ඩො.බිලියන 616ට අධිකය. එමෙන්ම දස දහස් සංඛ්‍යාත උතුරු කොරියානු කම්කරුවන් එහි පුහුණුව ලබා ඇතැයිද ඔහු පවසා තිබිණි. මේ අනුව බලනවිට පෙනෙන්නේ එය උතුරු කොරියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරන පියවරක් වනු ඇති බවය.

Feetured