පාසල් කේන්ද්‍රකරගත් ‘ප්‍රාථමික කර්මාන්ත’ පුහුණු මධ්‍යස්ථාන…

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ආදර්ශ ප්‍රාථමික කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් මුල්ලේරියාව එන්සෙෆ් බෞද්්ධ විද්‍යාලයේ පිහිටවීමට පියවර ගන්නා බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

එම විදුහල් ක්‍රීඩාංගනයේ පැවති වාර්ෂික ක්‍රීඩා උත්සවය අමතමින් අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, උසස් යැයි සම්මත රැකියාවන් හා වෘත්තීන් කිහිපයක් පමණක් මත ඉලක්ක කර ගත් අධ්‍යාපන තරඟයක නියුතු දරුවන්, රටේ ආර්ථීකය හා සමාජ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් දැක්විය හැකි සෙසු ක්ෂේත්‍ර වෙත ද යොමු කිරීමේ කාලය දැන් එළඹ ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය නිපුණක්වය හා කුසලතාව මෙන්ම අදාල වෘත්තීන්ගේ නියැලීමෙන් අත්කර ගත හැකි පුද්ගලික ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද පාසල් අවදියේ සිට දරුවන් දැනුවත් කළ යුතුය.

එම දැනුම හා උනන්දුව ලබා දීම වෙනුවෙන්, ආදර්ශ ප්‍රාථමික කර්මාන්ත පුහුණු මධ්‍යස්ථාන දීපව්‍යාප්තව ඇති කිරීමට අපේක්ෂා කරයි.

කෙතරම් උසස් අධ්‍යාපනයක් ලැබූව ද කෙසේ හෝ රජයේ රැකියාවක් ලබා ගත යුතු බව අද සමාජයේ ජනප්‍රියම ආකල්පය වී තිඛෙන්නේ යැයි ද ඔහු මෙහිදී කියා සිටියේය.

නමුත්, පුද්ගලික අංශයේ රැකියාවන් තුළින් ඉහළ ප්‍රතිලාභ ලබා ගැනම හා තමාට මෙන්ම තවත් පිරිසකට ආදායම් ඉපයිය හැකි තත්ත්වයේ පුද්ගලික ව්‍යවසායක නියුතු වීම පිළිබඳ සමාජයේ උනන්දුව වැඩි කළ යුතු වේ.

මුළු මහත් රටම, රජයේ හෝ උසස් යැයි සම්මත රැකියාවන් කිහිපයක් වෙත ම ගමන් කිරීම හේතුවෙන් වෙනත් අංශයන්ගේ දක්ෂතා පෙන්විය හැකි පුද්ගලයින්, සිය හැකියා මතු නොවී ම සමාජයෙන් වියැකී යයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දරුවන් වෙනත් පුද්ගලික පාසල් සඳහා ඇතුළත් කිරීමේ දී ලක්ෂ ගණනක ඇතුළත් වීමේ ගාස්තුවක් ද ඉන් පසු විශාල වාර්ෂික ගෙවීමක් ද සිදු කිරීමට සිදු වන පසුබිමක් තුළ ආචාර්ය බඳගිරියේ සෝමවංශ නා හිමියන් විසින් පුණ්‍ය පදනමක් මත පවත්වාගෙන යන එන්සෙෆ් බෞද්ධ පාසල ලොවටම ආදර්ශයක් බවයි.

එහි සේවය කරනු ලබන ස්වේච්ඡා ගුරු මණ්ඩලය හා විවිධ අනුග්‍රහායන් දක්වන පාසල් ප්‍රජාව ද මෙහිදී ඔහුගේ පැසසුමට ලක් විය.

x

– මාධ්‍ය ලේකම් කාර්යාලය