ප්‍රීතිය බාරයි නුඹ‍ට දුවේ

ප්‍රීතිමත් බව සුවඳ පැන් වැනිය. ඒ සුවඳින් වෙනත් කෙනකු සතුටට පත් කරන්නට නම් පළමුව ඉන් බිංදු කිහිපයක් ඔබ තුළ තවරා ගත යුතුමය.

උහුද් අල් රූමි නිතර නිතර එසේ කියන්නීය.

ප්‍රීතිමත් භාවයට කොතරම් නිර්වචන සැපයූවත් එය රඳා පවතින්නේ කෙනකුගේ පරිත්‍යාගශීලීත්වය මත බව ඇගේ අදහසය. ඒ සියලු ගුණාංගවලින් පොහොසත් මේ සුන්දර තරුණිය දැන් අරාබි වැලි කතරේ ආකර්ශනීය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලක්ෂ සංඛ්‍යාත රට වැසියන්ගේ ප්‍රීතියේ භාරකාරිය බවට පත් වී සිටින්නීය. ලොව ඕනෑම පුද්ගලයකුට නිදහසේ ජීවත්විය හැකි පරිසරයකින් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූ.ඒ.ඊ.) එසේත් නැතිනම් එමිරේට්ස් නමින් හැඳින්වෙන්නේ ඩුබායි, අබුඩාබි, සාජා, අල් ෆූජෙයිරා, අජ්මාන්, රස් අල් කයිමා, උම් අල් ක්වෙයින් වැනි ස්වයං පාලන නගර සතකින් යුතු සමූහාණ්ඩුවකි.

ලෝක දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් උහුද් අල් රූමි එමිරේට්ස් සමුහාණ්ඩුවේ ප්‍රීතිමත් බවේ ඇමැතිනිය ලෙස පත්වූයේ ඊයේ පෙරේදාය. ජනතාව ප්‍රීතිමත්ව තැබීම වෙනුවෙන් රජයක් විසින් කැබිනට් ඇමැති ධුරයක් වෙන් කරනු ලැබූ පළමු අවස්ථාව ලෙස එය ජාත්‍යන්තර දේශපාලන ඉතිහාසයට එක් විය.

වසර 44ක පමණ කෙටි ඉතිහාසයකට හිමිකම් කියන එමිරේට්ස් හී එවැනි ඇමැති ධුරයක් පිරිනැමීම වූ කලී එක්තරා අන්දමකට එරට රජය ලෝක දේශපාලනයේ නව ඉසව්වක් කරා ඇදී යන බව පෙන්නුම් කිරීමකි.

ලොව ප්‍රීතිමත් මිනිසුන් වාසය කරන රටවල් අතරින් 20 වැනි තැනට පත්ව සිටින එමිරේට්ස් රාජ්‍යය ලොව සියලු ජාතීන් අතරින් වඩාත්ම ප්‍රීතිමත් ජාතිය බවට පත් කිරීමට ඇය සමත්වනු ඇතැයි කීවේ ඇයට එම ඇමැති ධුරය පිරි නැමූ එමිරේට්ස් හී අගමැති හා උප ජනාධිපති මෙන්ම ඩුබායි පාලකයා ද වන ශේක් මොහම්මඩ් බින් රෂීඩ් අල් මක්තුම් කුමාරයා ය.

රටේ ජනතාවගේ ප්‍රීතිය ගැහැණියකට බාර කිරීම ඇතැමුන්ගේ නළල රැළි ගැන්වෙන කාරණාවක් බව සැබෑය. එහෙත් සිය අගමැති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස ඉතා කාර්යක්ෂමව හා නිවැරැදිව රාජකාරිය ඉටු කරමින් තම සිත් දිනාගෙන සිටින මේ තරුණියට එය ඒ හැටි දෙයක් නොවන බව මක්තුම් කුමාරයාගේ විශ්වාසය වී තිබේ.

ලොව ප්‍රීතිමත්ම රටවල් අතර මුල්තැනට පත්වීමේ අරමුණින් මේ ඇමැති තනතුර ඇයට පිරි නමා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘වසර 2021 දැක්ම‘ ව්‍යාපෘතියේ එක් පියවරක් වශයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව ප්‍රීතිමත් රටවල් අතරේ 20 වැනියා බව අනාවරණය වූයේ පසුගිය වසරේ දී සිදුකළ සමීක්ෂණයකට අනුවය. ස්විස්ට්සර්ලන්තය ලොව ප්‍රීතිමත්ම රට බවට පත්ව තිබූ අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ සහ කැනඩාව ඉදිරි රටවල් පහ අතරට එක්වී තිබිණි. එම ලැයිස්තුවට අනුව එමිරේට්ස් රාජ්‍යයට ලැබී ඇත්තේ බෙල්ජියමට පහළ ස්ථානයක් වූවත් ඔවුන් සිටින්නේ මහ බ්‍රිතාන්‍යයට වඩා ඉහළින් වීම කැපී පෙනේ. මේ ලැයිස්තුවට අනුව අමෙරිකාවට 15වැනි තැනත්, ඊශ්‍රාලයට 11 වැනි තැනත් ලැබී තිබිණි.

උහුද් අල් රූමි දැන් අගමැති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ භූමිකාවට අමතරව එරට ජනතාවගේ ප්‍රීතිය වෙනුවෙන් කැපවී සිටින ඇමැතිවරියකි. එපමණක් නොව පසුගිය වසරේ දී ඇය විශ්ව ව්‍යවසායකත්ව කවුන්සිලයේ සාමාජිකාවක් ලෙස බඳවා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තේය. එවැනි තනතුරකට පත් වූ පළමු අරාබි ජාතිකයා ද ඇය වන්නීය.

එමිරේට්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය හා ආර්ථික විද්‍යා උපාධි ද්විත්වයකට හිමිකම් කියන උහුද්ට ඒ අනුව බලද්දී නව ඇමැති ධුරයට ඇති සුදුසුකම් ඉහටත් උඩින්ය.

උහුද් අල් රූමි ඇතුළුව තවත් කාන්තාවන් 8ක්ම ඊයේ පෙරේදා එමිරෙට්ස් රජයේ නව කැබිනෙට්ටුවේ ඇමැති ධුරවලින් පිදුම් ලැබුවේ මක්තුම් කුමාරයාගේ ‘2021 දැක්ම‘ සංකල්පයට අනුවය. ප්‍රීතිමත් බවට වෙනම ඇමැතිනියක් පත් කිරීමට මක්තුම් කුමාරයා කල්පනා කළේ රටවැසියන් තෘප්තිමත් වන ආකාරයේ පාලනයකට එමගින් වැඩි එළියක් ලබාගැනීමටය. තරුණියක් ඒ සඳහා පත් කරනු ලැබුවේ ද ඒ අරමුණ ඇතිවය.

ප්‍රීතිමත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලාපොරොත්තුවක් පමණක් නොව එය ඔවුන්ගේ ජීවන රටාව ඔප් නංවන ක්‍රියාදාමයකි. ඉදිරි වසර පහක කාලයක් පුරාවට ඇය එමිරේට්ස් ජනතාවට ප්‍රීතිමත් භාවයේ ආලෝකයක් වනු ඇත.

ප්‍රීතිමත්භාවය නිර්වචනය කිරීමට හෝ එහි දිග පළල පිළිබඳ නිවැරැදිව පැවැසීමට හෝ කිසිවකු සමත් නොවූවත් එය දේශපාලන දර්ශනයේ ඉතා වැදගත් සාධකයක් බව කියා ඇත්තේ ග්‍රීක දාර්ශනිකයන් වන ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ය. රාජ්‍ය පාලනයකට ප්‍රීතිමත්භාවයේ ඇති වැදගත්කම ගැන සිතෙන්නේ එය අමෙරිකානු ව්‍යවස්ථාවට ද ඇතුළත්ව තිබෙන නිසාය. එහෙත් අමෙරිකානු රජය ඒ සඳහා අවධානයක් යොමු නොකිරීම වෙනම කාරණාවක් බව බටහිර දේශපාලන විචාරකයෝ කියති.

එම්රේට්ස්ලා විසින් ප්‍රීතිමත් බවට ඇමැතිවරියක පත් කරනු ලැබීම මේ වනවිට මැදපෙරදිග කලාපයේ වැඩි අවධානයට මෙන්ම කතාබහටත් ලක්වී තිබේ. රට වැසියන් ප්‍රීතිමත්ව තැබීම රජය සතු වගකීමක් බව සෙසු අරාබි රටවලටත් වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්වීමෙන් දැන් මක්තුම් කුමාරයාත් වීරයෙකි. එය ඉස්ලාම් දහමට අනුව මුස්ලිම් රටවල කාන්තා නිදහස සීමා කොට ඇතැයි ඇතැමුන් පතුරුවන මිත්‍යා මතවලටත්, කාන්තාවන්ට ඉදිරියට පැමිණ කැපී පෙනෙන චරිත බවට පත්වීම තහනම් කරනු ලැබූ සෞදි අරාබිය වැනි රටවල්වලටත් එල්ල කළ කදිම පහරකි.

sw

සටහන

ෆවුස් මොහොමඩ්