අවුරුදු 12ක් තිස්සේ බල්ලන්ට කෑම බෙදන අපූරු මිනිසා

බිමට එළිය වැටීමත් සමඟම දවසේ උදාවෙන මුල්ම පැය දෙක තුන අහිංසක සතුන් පිරිසක් වෙනුවෙන් වසර 12ක් තිස්සේ නොකඩවා වැය කරමින් ජීවිතය ගෙවන අපූර්වතම මිනිසකු පසුගිය දිනෙක නුවරඑළිය කඳපොළ පාරේදි මුණ ගැසිණි. ඔහු කඳපොළ, ගල්පාලම ප්‍රදේශයේ පදිංචි ශාන්ත නිරෝෂන් නමැති මහත්තයෙකි. වයස අවුරුදු 47යි. එයාට මේ වෙනකොට අවුරුදු 17ක පුතෙකුත් ඉන්නවා. ඒ කියන්නේ තාත්තා එතකොට මේ පුණ්‍ය ක්‍රියාව පටන් අරගෙන තියෙන්නේ පුතාට වයස පහේදි විතර. ඒ කියන්නේ පුතා ඉස්කෝලෙ යන පොඩි කාලේ.

පාසල් යන වයසේ පොඩි දරුවෝ ඉන්නවා කියන්නේ උදේ පාන්දරට අම්ම තාත්තට වැඩ ගොඩක් වැඩියි. ඉස්කෝලෙ යන්න ඇඳුම් අන්දවන්න, කවන්න, පොවන්න, සපත්තු මේස් හොයල දෙන්න. නැතිනම් පොපත්පත් පැන්සල් හොයල දෙන්න. මේ දේවල් මව්පියෝ දෙන්නගෙන් එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දෙන්නටම එක විදියට මහන්සිවෙන්න වෙනවා.

එහෙත් ඒ සියලු වගකීම් ඉටුකරන අතරේ තම දවසේ ආරම්භක පැය දෙක තුන අහිංසක සතුන් පිරිසක් වෙනුවෙන් කෙසේ හෝ වෙන්කිරීම තමයි ඔහු අතින් සිදුවුණේ. උදේ හයහමාර ‍ හතේ ඉඳල නමයහමාර විතර වෙනකල් නිරෝෂන් මතහ්තයා ඉන්නේ ඒ සත්තුන්ගේ ලෝකයේ.

ඒ වගේම තමයි අදටත් හැම දවසකම උදේට නුවරඑළිය, කඳපොළ පාරේ යනකොට සමර්හිල් ප්‍රදේශයේදී දැකගන්න පුළුවන් සුනඛයන් පහළොවක් විස්සක් පමණ එක දිගට පාර අයිනෙ නිදාගෙන කඳපොළ පැත්ත දිහා බලාගෙන ඉන්නවා.

නිරෝෂන්මහත්තය කියන විදියට මෙයාල කාගෙවත් ගෙවල්වල හදන සතුන් නෙමෙයි. එයාල ජීවත් වෙන්නේ තේ වත්තේ තේ පඳුරු යට. උදේ හත අට වෙනකොට පාරට ඇවිත් බලාගෙන ඉන්නවා එයාලට කෑම අරගෙන නිරෝෂන් මහත්තයගේ ලොරිය කොයි වෙලාවෙද එන්නෙ කියල.

ලොරියේ හෝන් එකවත් ගහන්න ඕන නෑ. එයාල මගේ ලොරියේ සද්දෙ පවා හොඳට අඳුරනවා. ඒ නිරෝෂන් මහත්තයා සුනඛ සුරතලුන් ගැන කියන හැටි.

මටත් හිතාගන්න බෑ. කොහොම මේ පුරුද්ද ඇති වුණාද, කියලා? මම රස්සාව හැටියට එළවළු වගාව කරන්නේ. උදේ එළවළු කොටුවට යනකොට එදා රාත්‍රියේ කෑම ඉතිරිවෙලා තිබුණොත් ඒවා ඔතාගෙන ගිහින් පාරේ ඉන්න සතුන්ට දෙන එක තමයි මුලින්ම කෙරුවේ. මේ හරියේ හිටපු තුන් හතර දෙනෙකුට එහෙම කෑම දීල යනවා. ටික දවසක් වගේම කාලයක් යනකොට එයාලාගෙන් පැටව් බෝවෙලා මේ සුනඛ පිරිස වැඩි වුණා. එතකොට මම ගෙදර ඉතිරිවෙලා තියෙන කෑම ටික ගෙනත් දැම්මම එයාලට මදි. මෙයාල රණ්ඩුවෙමින් කා ගන්නවා. පොර අල්ලනවා.

ඊට පස්සෙ තමයි මම මෙයාල වෙනුවෙන් වෙනමම උයන්න හිතුවේ. දැන් හැමදාම හාල් කිලෝ හතක් අටක් උයන්න ඕන. මෙයාල මෙහෙම හිටියට හරිම රෙස්පට්. මස් මාළු මොනවහරි ඕනමයි. නැත්තන් බත් ටික කන්න ටිකක් අදි මදි කරනකොට මගේ හිතට දැනෙන්නේ දුකක්. ඒ හින්දා මෙයාලගේ හැමදාම කෑම වේලට මස් මාළු එකතු කරනවාමයි.

ඒ කෑම ටික උයන්නේ පිහන්නේත් මම තනියෙන්. ඒ වෙනුවෙන් කාලය ගතවුණාට මට දුකක් නෑ. මම හරිම සන්තෝෂයෙන් සතුන්ට දෙන්න කෑම ටික උයන්නේ. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි ආත්ම තෘප්තියක්.

කෑම උයල සේරම එකට දාල හොඳට අතින් අනනවා. ඊට පස්සේ එක් එක්කෙනාට දෙන්න වෙන වෙනම පාර්සල් ගහනවා. එකට දැම්මොත් එයාල රණ්ඩු කරගන්න බලනවා. එතකොට පුළුවන් කෙනා කයි. බැරි අහිංසකයා බඩගින්නේ.

ඒත් දැන් මගේ පාර්සල් ක්‍රමය හින්දා එහෙම වෙන්නෙ නෑ. තමන්ගේ කෑම පාර්සලය ළඟට එනකම් බලාගෙන ඉන්නව මිසක් අනෙක් පැත්තෙ ඉන්න කෙනාගේ පාර්සලයට හොම්බ දාන්න යන පුරුදු දැන් මෙයාලට නෑ.

බත් පාර්සලේ කොයි තරම් ලොකුවට තිබුණත් එක කෑවට මදි. බත්ටික කාලා ඉවරවුණාම පාන් පෙත්තක් දෙකකුත් ඕන. කොහොම පුරුදු වුණාද කියල මටවත් මතක නෑ. පාන් කෑල්ලක් කාල ඉවරවෙනකොට මම ගෙනල්ල තියෙන වතුර බූලි වලින් එයාලට වෙන්කරල තියෙන භාජනවලට වතුර දෙනවා. කැවා බිව්වට පස්සේ තවත් වෙලා එයාල රැ‍ඳෙන්නෙ නෑ. පාර අයිනෙන් අයින්වෙලා තේ පඳුරු අස්සේ තියෙන එයාලගේ ගෙවල්වලට යනවා නිදාගන්න. කාටවත් කරදරයක් නෑ. වාහන පස්සෙ පැන්නීමක් නෑ. අහිංසක සත්තු ආයෙත් එන්නේ හෙට උදේට.

ඒත් එහෙම යන්න ඉස්සරවෙලා එයාල හැම කෙනෙකුටම මම ගෙදරින් අරගෙන එන වතුර භාජනවලට දාලා බොන්න දෙනවා. එයාල කෑම කෑවට පස්සේ එතන ඉතිරිවෙන එක ලන්ච් ෂීට් එකක්වත් මම එතන තියන්නෙ නෑ. ඒ සේරම එකතුකරගෙන ඇවිත් කුණුබක්කියකට දානවා. ඒ නිරෝෂන් මහත්තයා කියන කතාව. අපට ආරංචි වුණා වගාකටයුතුවල යෙදෙන ඒ මහතා භෝගයක අස්වනු නෙළපු ගමන් හාල්මිටි කීපයක් ගෙදර ගිහින් දමා ගන්නවලු. ඒ මේ අහිසංක සත්තුන්ට අඩුපාඩුවක් වෙයි කියන බයට. ඒ විතරක් නෙමෙයි එයා කෑම ටික උයාගෙන තම වාහනේට තෙල්ගහගෙන කිලෝමීටර් කීයක්නම් එනවද මේ සත්තු ඉන්නා තැනට.

ඒ වෙනුවෙනුත් දවස ගානේ මුදලක් වැය වෙනවා නේද යනුවෙන් අහනකොට නිරෝෂන් මහතා දුන්න පිළිතුර වුණේ ඔව්, මුදලක් යනව තමයි. ඒත් මම වගාකරන භෝගවලින් මට ඒ වෙනුවෙන් උපකාර ලැබෙනවා. යන්නයි.

 

dogs dogs1

සටහන හා ඡායාරූප

නුවරඑළිය සමූහ සී. මහගම