ආසන පටි දෝෂයක් නිසා ටොයෝටා රථ මිලියන 2.9ක් ආපසු කැඳවයි..

තමන් විසින් අලෙවි කරන ලද මෝටර් රථ මිලියන 2.87ක් ආපසු කැඳවීමට පියවර ගන්නා බව ටොයෝටා සමාගම පවසා ඇත.

රිය අනතුරකදී පසුපස ආසන පටිය ඉරී ගොස් මගීන්ට හානි සිදුවිය හැකිවීම මෙම තීරණයට හේතුවී තිබේ.

2004 අගෝස්තු-2005 ජුලි අතර හා 2005 ඔක්තෝබර්-2016 ජනවාරි අතර කාලය තුළ ටොයෝටා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද RAV4 ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථ මෙලෙස ආපසු කැඳවෙනු ඇත.

2005 ඔක්තෝබර් හා 2016 ජනවාරි අතර නිෂ්පාදිත වැන්ගාර්ඞ් ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථද ආපසු කැඳවීමට තීරණය කර ඇති අතර වැන්ගාර්ඞ් ජපානය තුළ පමණක් අලෙවි කරන මෝටර් රථ මාදිලියකි.

රථය ඉදිරිපසින් සිදුවන දරුණු ගැටුමකදී පසුපස ආසන පටිය අසුනේ ලෝහමය කොටසක් සමග ගැටී ඉරීයාමේ සම්භාවිතාවක් පවතින බව ටොයෝටා සමාග විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙවැනි අවස්ථාවකදී පසුපස අසුනේ ගමන් කරන මගියා ආසන පටිය විසින් ආරක්‍ෂා නොකරනු ඇති අතර හානි සිදුවීමේ අවදානමක් ඇතැයි සමාගම පවසා තිබේ.

කැනඩාවේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මිය යාම හා ඇමරිකාවේ සිදුවූ අනතුරකින් පුද්ගලයකු තුවාල ලැබීම සමග මෙම දෝෂය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර ඇති නමුත් එම අනතුරු සිදුවූයේ ආසන පටි දෝෂය නිසාද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද ටොයෝටා ප‍්‍රකාශිකාවක් පවසා ඇත.

 

x