බංගලාදේශ සංගීතඥයාගේ ගීතය කොපි කළාද?

ශෂිකා නිසංසලාටත් පසුගිය දවසක පුංචි ප්‍රශ්නයක්‌ ඇතිවුණා. ඇස්‌දෙක පුරා හීනෙන් වගේ කියලා ගායනා කරන අලුත්ම ගීතය නිසා තමයි ශෂිකාට මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ. ශෂිකාට මේ චෝදනාව කරලා තියෙන්නේ ලංකාවේ සංගීතඥයෙක්‌ නෙමෙයි. AnoyChaklader නම් බංග්ලාදේශ සංගීතවේදියා තම මුහුණුපොතේ පවසලා තියෙන්නේ තමන්ගේ තනුවක්‌ අවසරයක්‌ නැතිව පාවිච්චි කරලා කියලා. ඇත්තටම ඇස්‌දෙක පුරා හීනෙන් වගේ ගීතය බටහිර කොපියක්‌ද? වසර දහසයක්‌ පුරාවට ගායන අඹරේ ඉතා දක්‍ෂ ලෙස රසික හදවත් තුළ බැබලුනු ඇය ඇයි විදේශීය ගීත තනුවක්‌ තම ජනප්‍රියත්වය වෙනුවෙන් යෙදාගත්තේ? මේ කතාවේ සත්‍ය මොකක්‌ද?

ඉතිං ශෂිකා ?

සංගීත වැඩකටයුතු කරගෙන හොඳින් ඉන්නවා.

කොහොමද ප්‍රසංග සඳහා ලැබෙන ඉල්ලුම?

අවුරුදු මාසය ළඟ එන නිසා ටිකක්‌ වැඩ වැඩියි. එළිමහන් ප්‍රසංග වගේම ගෘහස්‌ත ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා.

ඔබ ගයන හැම ගීතයක්‌ම ජනප්‍රිය වීමේ රහස මොකක්‌ද?

ක්‍ෂේත්‍රයේ අය අතරෙත් එවැනි කතාවක්‌ තියෙනවා. මම කොහොමත් එක ගීතයක්‌ කරලා අවුරුද්දක කාලයක්‌ රසිකයන් අතරේ ජනප්‍රිය වෙන්න ඉඩඇරලා තමයි තව නිර්මාණයකට යන්නේ. තනුව වගේම නැවුම් බවක්‌ තියෙන විඳින්න පුළුවන් නිර්මාණයක්‌ද කියන කාරණා ගැන වැඩියෙන් හිතනවා.

අලුත් ගීතයක්‌ කළා නේද?

“ඇස්‌දෙක පුරා හීනෙන් වගේ” ගීතය තමයි අලුතින්ම ගායනා කළේ. නමුත් වැඩි ඉල්ලුමක්‌ තියෙන්නේ “ඇස්‌ පිය නොහෙලා” ගීතයට. ඒ නිසා අලුත් ගීතය ගැන තවම වැඩිය රසිකයෝ දන්නේ නැහැ.

අලුත් ගීතය ගැන මුහුණුපොතේ ශෂිකාට ප්‍රබල චෝදනාවක්‌ එල්ලවෙලා තියෙනවා?

මමත් ඔය කතාව දන්නේ සමාජ වෙබ් අඩවිවල පළවුණාට පසුවයි.

මොකක්‌ද මේ කතාවේ ඇත්ත නැත්ත?

“ඇස්‌දෙක පුරා හීනෙන් වගේ” ගීතය ගයන්න මට ආරාධනා කළේ තිලිණ රුහුණුගේ. කාලයක්‌ තිස්‌සේ ගීsතයක්‌ කරමු කියලා තිලිණ මට කතාකළා. ඒ අනුව ඔහුගෙන් මට ගීතයක්‌ ලැබුණා. හරිම ලස්‌සනයි. සංගීතය, තනුව, පද රචනයේ වෙනසක්‌ තිබුණා. ඒ ඔස්‌සේ මේ ගීතයේ නැවුම් බවක්‌ මම දැකපු හින්දා ගායනා කළා.

මේ ගීතය බංග්ලාදේශ ගීතයක කොපියක්‌ නේද?

ඇත්තටම මම ඒ ගැන දන්නේ නැහැ. නමුත් මේ කතාබහත් එක්‌ක ඔය කියන බංග්ලාදේශ ගීතය මම ඇහැව්වා. මට දැනුණු දෙයක්‌ තමයි මේ ගීත දෙක අතර ලොකු වෙනසක්‌ තියෙනවා. එකම දේ ගීත දෙකේම තනු තරමක දුරට සමානවෙලා තියෙනවා. ඒ හැරුණුකොට ඇත්තටම මම මේ කිසිම දෙයක්‌ ගැන දන්නේ නැහැ. මම කළේ ආරාධනාවකට අනුව ගීතයක්‌ ගායනා කළා පමණයි.

නමුත් බංග්ලාදේශ සංගීත අධ්‍යක්‍ෂවරයා සෘජුවම විරෝධය පළකරලා තියෙනවා?

ඒ චෝදනාව මට අදාළ නැහැ. ඒක භාරගන්න ඕනෑ තිලිණ. වර්තමානයේදී ගීතයක වැඩිපුර අයිතිය තියෙන්නේ එහි තනු නිර්මාණ ශිල්පියාටයි, පද රචකයාටයි. කලිනුත් කිව්වනේ මම කළේ ගීතයක්‌ ගායනා කිරීම පමණයි. ඒ නිසා ඔය කතා මට අදාළ නැහැ.

දක්‍ෂ ගායිකාවක්‌ වුණ ඔබ ඇයි මෙවැනි ගීතයක්‌ තෝරාගත්තේ ?

මේ කතාව කලින් දැනගත්තා නම් මේ ගීතය ගායනා කරන්න භාරගන්නේ නැහැ. මොකද මම කවදාවත් අනුන්ගේ ගීත ගායනා කරලා මුදල් උපයලා නැහැ. තුරුණු ශක්‌ති වේදිකාව තුළ තරගකාරියක්‌ හැටියටත් ඉන් පසුව කෙනෙක්‌ට උපහාරයක්‌ ලෙසට ගීතයක්‌ ගැයුවොත් ඇරෙන්න අද වෙනකම් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරලා මම ජනප්‍රිය වෙලා නැහැ.

ඒ කියන්නේ ඔබට මේ ක්‍ෂේත්‍රයේ තරහකාරයෝ නැතිද?

තරගකාරීත්වයත් එක්‌ක තරහකාරයෝ නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මම කාටවත් වැරදි කරලා නැහැ. හැමෝම එක්‌ක සුහදව වැඩකරන ගමන් උඩුගම් බලා පීනන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ.

මේ චෝදනාව ඔබේ ප්‍රතිරූපයට කැළලක්‌ නෙවෙයිද?

කොහෙත්ම නැහැ. මගේ ගායන ජීවිතයටවත් පෞද්ගලික ජීවිතයටවත් කිසිම කෙනෙකුට කැළලක්‌ කරන්න බැහැ. මම රසිකයන්ගෙන් ඉල්ලන්නේ මේ ගීත දෙකම අහන්න කියලයි.

තවදුරටත් මේ ගීතය ගයනවද නැද්ද කියලා තීරණයක්‌ ගත්තාද?

තිලිණ තමයි ඒ තීරණය ගන්න ඕනෑ. මෙලඩි එකේ රයිට්‌ස්‌ ඉල්ලගත්තොත් ගීතය ප්‍රචාරය කිරීමේදී ප්‍රශ්නයක්‌ මතුවන්නේ නැහැ. තවම මොනවගේ තීරණ අරන් තියෙනවාද කියලා මම දන්නේ නැහැ.

මේ ගීතයේ රූප රචනාවක්‌ තරමක්‌ සුවිශේෂීයි? විකුම් තමයි මේ ගීතයේ විෂුවල් එක කරලා තිබුණේ. ඇන්ටික්‌ වගේම විෂුවල්වලදී වැඩිපුර දැකපු නැති මුහුණු දෙකක්‌ ගන්න කියන ඉල්ලීම විතරක්‌ මම කළා.

විෂුවල් එකක්‌ නැතිව ගීතයක්‌ ජනප්‍රිය කරන්න බැරි රැල්ලක්‌ද අද තියෙන්නේ?

වර්තමානයේදී රූපවාහිනී මාධ්‍ය ඔස්‌සේ ගීත ප්‍රචාරය වන අවස්‌ථා වැඩියි. එවැනි වකවානුවකදී විෂුවල් එකක්‌ කළොත් ගීතයට හොඳ සාධාරණයක්‌ ඉටු කරන්න පුළුවන්. කාලයත් සමග එවැනි වෙනස්‌ වීනුත් තියෙන්න ඕනේ.

මේ චෝදනා ගැන පවුලේ උදවිය දක්‌වන අදහස්‌.

ගීතයක්‌ තෝරා ගැනීමේදී සිට ක්‍ෂේත්‍රයේ හැම කටයුත්තකදීම මගේ සැමියාගෙන් උපරිම සහයෝගයක්‌ ලැබෙනවා. අම්මා තාත්තාගෙනුත් ඒ වගේමයි. ඒ හැමෝම කියන්නේ ඕක සාමාන්‍ය දෙයක්‌ එච්චර ගණන් ගන්න එපා කියලා.

සමහරු කියනවා ශෂිකා ගොසිප් පතුරනවා කියලා?

ගොසිප් හදලා බලෙන් ජනප්‍රිය වෙන්න හදන කෙනෙක්‌ නෙමෙයි මට හොඳ නිර්මාණ කරලා ගායන ක්‍ෂේත්‍රයේ විශාල රසික පිරිසක්‌ මගෙන් එක්‌ක රැඳිලා ඉන්නවා.

shashika

ලක්‌මිණී අතුකෝරල
ඡායාරූප – ස්‌ටීව් ආන්ජලෝ