එලිසෙබෙත් රැජිනගේ කොන්දේ අමාරුවට වෙදකම් කරන දහම් රත්වත්තේ..

එංගලන්තයේ මහ රැජින ආසියාවේ ඉහළම කලාශිල්පීන් කිහිප දෙනෙකුට නයිට් පදවි ලබා දීමට තීරණය කරලා තිබෙනවා… ඒ සඳහා ලංකාවෙන් තෝරගෙන තිබෙන්නේ ඔබතුමාව…

නැටුම් ශිල්පය වෙනුවෙන් කරපු සේවය අගයලා තමයි මේක දෙන්නේ….’ මේ මෙරට ප‍්‍රකට නර්තනාචාර්යවරයකුට මීට වසර දෙකකට පෙර එංගලන්තයේ සිට ලැබුණු දුරකතන ඇමැතුමකි.

නර්තනාචාර්යවරයාට මෙය සිතා ගැනීමට අපහසු කරුණක් වූවද එහා කෙළවරේ සිට කතා කළ තැනැත්තා විසින් සති කිහිපයක් තිස්සේ කළ පැහැදිලි කිරීම නිසා සැකයෙන් වුවත් ඒ කී පරිදි ඉතුරු වැඩ කටයුතුවලට සූදානම් විය.

ඒ අනුව මෙම පදවිය ලබා ගැනීම සඳහා එංගලන්තයට යායුතු විය. ඒ, නිකම් නොවේ. තම නර්තන කණ්ඩායම සමඟය. ඒ එලිසෙබෙත් මහ රැජින ඉදිරියේ නටා තම හැකියා පෙන්වීමටය. ඒ වෙනුවෙන් 66 දෙනකුගේ කණ්ඩායමක් සූදානම් කිරීමට ද උපදෙස් ලැබිණි. ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයේ සිට අන් සියලූ පහසුකමක්ම නොමිලේය. රැජිනගේ තිබෙන අපල උපද්‍රව දුරුවෙන්න ගම්මඩු ශාන්තිකර්මයක් ද සිදු කළ යුතු බවටත් ඉල්ලීමක් ඉදිරි පත් විය. ඒ වෙනුවෙන් ද වෙනම කණ්ඩායමක් සූදානම් කෙරිණි. රැජින සමඟ වන භෝජන සංග‍්‍රහයට හා ඇය සමඟ වන ‘බ්‍රෙක්ෆස්ට් ෂෝ’ නැමැති රූපවාහිනී වැඩ සටහන වෙනුවෙන් සහභාගී වීම ද සිදු වන බවත් එංගලන්තයේ සිට කතා කළ පුද්ගලයා දැනුම් දුන්නේය. ඒ සඳහා වන ඇදුම් පැලැඳුම් වර්ණය පවා නියම විය. මාස කිහිපයක් තිස්සේ මේ කතා බහ යන අතරේ දි නර්තනාචාර්යවරයා නව නැටුම් පුහුණුව මෙන්ම ඒ සඳහා වන ඇඳුම් පැලඳුම් සකස් කිරීම ද සිදු කළේය. ඒ වෙනුවෙන් ලක්ෂ ගණනක් ඔහුට වැය විය. එමෙන්ම නැටුම් ශිල්පීන් ඇතුළු 66 දෙනාගේ පවුල්වල පිරිස් ද මේ ලැබුණු අවස්ථාව සලකා බලා ඒ වෙනුවෙන් විශේෂ වෙහෙසක් මෙන්ම වියදමක් ද දැරුහ.

මේ අතරතුරේ දී එංගලන්තයේ සිට කතා කළ පුද්ගලයා මේ නර්තනාචාර්යවරයා ලවා තොවිල් පවිල් යාග හෝම ආදිය සඳහා වන අඩුම කුඩුම ගෙන්වා ගත්තේය. ගිනි පෙට්ටියේ සිට හැම දෙයක්ම එංගලන්තයට යැවීය. බෙර හක්ගෙඩි නැටුම් ආභරණ ආදිය ද ඒ අතර විය. එපමණක් නොවේ වරෙක රත්තරං සුර දෙසීයක් යැවීම ද සිදු කර ඇත.

Daham Rathwatta 4මේ පුද්ගලයාගේ චතුර කතාවෙන් බහෙන් හා විෂයය පිළිබඳ වන මුහුකුරා ගිය දැනුම අනුව සුපිරි වැඩකරුවකු බව විශ්වාස කිරීමට නර්තන ආචාර්යවරයාට සිදු විය. ඒ නිසා ඔහු කියන කියන දේ සිදු කිරීමට ඔහු මැළි වූයේ නැත. එසේ ගෙවුණු මාස කිහිපයකින් පසුව ඇතැම් යාග හෝම කරන කියන හැටිද විමසන්නට පටන් ගත්තේය. මහා යක්ෂ බලවේග සමඟ කටයුතු කරනවා යැයි කී පුද්ගලයා තමන්ගෙන් යාග හෝම ශාන්ති කර්ම ආදිය කරන ආකාරය පිළිබඳ විමසීම අවුලක් බව නර්තනාචාර්යවරයාට වැටහිණි.

මේ අතරේ දී එංගලන්තයේ ගමන දිනෙන් දින කල් යවමින් තිබුණේය. ඊට දින නියම වූයේ 2015 ජුනි මාසයේදීය. ප‍්‍රමාද වීමට විවිධ හේතු ඉදිරිපත් විය. අවසානයේ රැජින විසින් එවනු ලැබූ ඊමේල් පණිවුඩය විවෘත කර ගැනීම සඳහා වන මුරපදය අමතක වී ඇතැයි කියමින් නැටුම් ගුරුවරයා සමඟ වන කතා බහ අවසන් විය. එංගලන්ත පුතයා තමාව රවටා වෙනත් ලාබ ප‍්‍රයෝජන ලබා ගෙන ඇති බව නැටුම් ගුරුවරයා ටක්කෙටම දැන් ගත්තේ ඉන් පසුවය.

මේ එංගලන්ත පුතයා කවුද යන්න සොයා බැලීමට ඔහු යොමු වූයේ ඉන් පසුවය. තමා විසින් ඒ කාලය තුළ දී මේ එංගලන්ත පුතයාට හඳුන්වා දුන් අයට සිදුව ඇත්තේ කුමක්ද යන්න සොයා බැලූවේය. ඒ වන විටත් මෙරට තව පුද්ගලයන් ගණනාවක්ම මේ එංගලන්ත පුතයා කවුරුන්දැයි සොයමින් සිටියහ. ඒ සියලූ දෙනාම මේ පුතයාගේ ගැටවලට අසුවී අවසන්ය. ඒ අතර මෙරට ප‍්‍රකට පුද්ගලයන් ගණනාවක් වූහ. එහෙත් කිසිවකුත් තමන්ට සිදු වූ අලකලංචිය ගැන කිසිවකුට පවසා තිබුණේ නැත. ඒ, තමන් ඉතා මෝඩ ලෙස මේ පුද්ගලයාට රැවටුණ බව තවත් කෙනකු හා බිනීමට ඇති ලැජ්ජාව නිසාය. ඔවුන් තවදුරටත් නිහඩව ම සිටියහ.

කාලෙන් කාලට මෙවැනි විවිධ හාස්කම් විජ්ජා පෙන්වන නූල් සූත්රකාරයෝ සහ පුද්ගලයෝ මෙරට මතුවෙති. වැව් පිටින් පිරිත් කර ඒවා ජනතාවට බෙදා හැරිය හාමුදුරුවෝ ගැන අප ඇසූහ. කොටදෙනියාවේ හාමුදුරුවන් ගැන කතන්දර බොහෝය, යහලතැන්නේ කට්ටඩියා ද එසේ මෙසේ පොරක් නෙවෙයි යැයි ද කියවෙයි, කාලයක් සුමනදාස අබේවික‍්‍රම ද ටක්කෙටම අනාවැකි කියා ලොව පසිඳු විය. දෑස් අඳ නමුත් ඉන්දික තොටවත්ත ද දැන් ටක්කෙටම අනාවැකි කියා සුමනදාස පමණක් නොව ඒ බජාර් එකම සැරන්ඩර් කර ඇත. තමන් මෙවැනි වශී ගුරුකම් අන වින කොඩි වින ආදියට සූර වීර කම් පාන්නන් ගැන ඇතැම් පුවත් පත්වල පිටු ගණන් සති පුරා විශේෂාංගද රචනා වෙයි. අද අපි මේ කියන්නෙත් මේ වන විට සිය ගණනක ජනතාවක් වශී කරගෙන සිටින අලූත් පුතයා ගැනය. නමුත් මිනිහා ඉන්නේ ලංකාවේ නොවේ. එංගලන්තයේ ය. පෙනී සිටින්නේ ‘දොස්තර දහම් රත්වත්තේ’ නමිනි. තවත් තැනක ඔහුගේ නම දහම් නිශානි රත්වත්තේ හෝ අනුහස්ය.

ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමීප ඥාතියකු බව කියයි. කොටින්ම ‘චන්ද්‍රිකා අක්කා’ ලෙස ඔහු ඇයව ආමන්ත‍්‍රණය කරන්නේ ලූ. ඒ දවස්වල නිතර රජ ගෙදර ගැවසුණේ ලූ.. මේ තක්කඩියාගේ ගොදුරක් බවට පත්ව සිටින කිත්සිරි ජයසේකර නම් ගායකයා කියන්නේ තමාට මොහුව හමුවූයේ චන්ද්‍රිකා යුගයේ දී රජගෙදර පැවැති උත්සවයක දී බවය. ඔහු බොහෝ දෙනකු හා පවසා තිබූ පරිදි චන්ද්‍රිකා යුගයේ දී ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකි. එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාව සිටියේ ඔහුගේ මාමා වන අනුරුද්ධ රත්වත්තේ ය. ඒ අනුව ඔහුගේ අම්මා මංගලිකා රත්වත්තේය. එම පවුලේ උදවිය ඔහු හඳුන් වන්නේ සුදු අප්පෝ නමිනි. එහෙත් ඔහුගේ නමට රත්වත්තේ කොටස එක් වුණේ ඔහුගේ පියාද රත්වත්තේ කෙනකු වන බැවින් විය යුතු නමුත් පියා ගැන ඔහු කිසිවකු හා පවසා ඇති බව දැන ගැනීමට නැත. එය දැනගන්නට මංගලිකා රත්වත්තේ මහත්මිය ද දැන් ජීවතුන් අතර නැත.

එපමණක් නොව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල ජ්‍යෙතිෂවේදියා ද තමන් බවත් ඔහුව ජනාධිපතිවරණයෙන් දිනෙව්වෙ වෙන කවුරුවත් නොව තමන්ගේ බලවේග විසින් බවත් ඔහු පවසයි. ජනාධිපතිවරයාගේ සියලූම ජ්‍යොතිෂ කටයුතු සිදු කරන්නේ තමා බවත් ජනාධිපතිවරයා සතියට තුන් හතර ගමනක් තමාව අමතන බවත් ඔහු පවසයි. ජනාධිපතිගේ යුරෝපා සංචාරවල දී අනිවාර්යෙන්ම ඔහුව මුණ ගැසීමට තමන් යන බවත් ඔහුගේ අනුගාමිකයන් හා පවසා ඇත.

Daham Rathwatta 1එංගලන්තයේ රජ පවුලේ ඉතා සමීපතමයකු බව කියන මොහු, එලිසෙබෙත් මහ රැජිනගේ කොන්දේ අමැරුවලට වාත අමාරුවලට තෙල් සාත්තු කරන්නේ ද ඔහු බව පවසයි. ඒ සමීපකම කෙතරම් ද කියතොත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවට ලංකාවට පැමිණි මහ රැජිනගේ පුත් චාල්ස් කුමාරයාට කොළඹ නවතින්නට තැනක් සොයා දුන්නේ ද ඔහු බව කියයි. ඒ දැනට හෝටලයක් බවට පත් කර ඇති කොළඹ රොස්මිඞ් පෙදෙසේ බණ්ඩාරනායක මහතා විසූ නිවසේ කාමරයකි.

කොහොම නමුත් මොහුගේ සමාජ සම්බන්ධතා ජාලය අති විශාලය. මෙරට ඇමැතිවරුන්ගේ සිට ෆේස්බුක් සමාජ ජාලවල රස්තියාදු ගහන යන එන මං නැති මිථ්‍යාදෘෂ්ටික හා මුග්ධ පිරිස් දක්වා වන ඇච්ච බැච්චෝද විශාල ප‍්‍රමාණයක් මොහුගේ සමාජ සම්බන්ධතා ජාලයෙහි වෙති. මොහු සියලූ සම්බන්ධතා දුරකතන ඇමතුම් හරහා ගොඩ නගා ගන්නා අතර පසුව ස්කයිප් තාක්ෂණය හරහා සියලූ ජාවාරම්කාර තක්කඩි කටයුතු කරයි. කොටින්ම එංගලන්තයේ සිට මෙරට පුද්ගලයන් වෙනුවෙන් කරනු ලබන ‘දෙහි කැපීම’ ද කරන්නේ ස්කයිප් විඩියෝ සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගෙනය. හිසට දෙහි ගෙඩිය කපන විට පරිගණක තිරයට ඔළුව ඇල්ලිය යුතුය. යටි පතුලට දෙහි කපන විට යටි පතුල් දෙක පරිගණක තිරයේ තැබිය යුතුය. මන්ත‍්‍ර ගුරුකම් ශාන්තිකර්ම සියල්ල සිදු වන්නේ ඒ ආකාරයෙනි.

කෙසේ නමුත් මේ කටයුතු ඇතැමුන්ට නොමිලයේම කර දීමත් සමහරුන්ගෙන් වෙනත් ආකාරයෙන් මුදල් එක්රැස් කර ගැනීමත් සිදු කර ඇත. ඊටත් වඩා අති භායානක කටයුත්ත වී තිබෙන්නේ විශේෂයෙන් ඔහු හා සම්බන්ධවන ප‍්‍රකට පුද්ගලයන් සමඟ තවත් ප‍්‍රකට පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු විමසා ඒවා පටි ගතකර පසුව ඒ අනෙක් පුද්ගලයාට ඇසෙන්නට සලස්වා එම කරුණු ප‍්‍රසිද්ධ කරවන බවට තර්ජනය කර මුදල් ගරා ගැනීමේ ජාවාරමකි. මෙසේ උගුලකට අසු වුණ ප‍්‍රකට ඇමැතිවරයකුගේ ඇමැති බිරිඳක් ද සිටී. ඇය ඇමැතිවරයාගේ අනියම් හැසිරීම පමණක් නොව සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු ද මේ හොර තක්කඩියාට පවසා ඇත්තේ ඔහු හරහා, අදෘශ්‍යමාන බලවේගයක පිහිටක් අපේක්ෂාවෙනි. එහෙත් සිදුව ඇත්තේ අනෙකකි.

Daham Rathwatta 2මෙසේ ම මේ හොර තක්කඩියා විසින් පිහිටුවා ගෙන තිබෙන ‘හෙළබිම සංස්කෘතික’ කවය නම් ව්‍යාජ සංවිධානයක් මගින් මෙරට සංස්කෘතික උරුමය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති කරන බවට විදේශ ගත මෙරට පුද්ගලයන්ගෙන් හා විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් මුදල් ගරාගෙන ඇති බවත් දැන ගැනීමට ඇත. මෙරට ප‍්‍රකට කලාකරුවන් සම්බන්ධ කර ගෙන විවිධ වැඩ සටහන් සංවිධානය කරන මුවාවෙන් මේ ජාවාරම සිදුව තිබේ. මෙරට සංස්කෘතික උරුමය වෙනුවෙන් කටයුතු කරන ප‍්‍රකට පුද්ගලයන් රවටමින් එංගලන්තයේ වැඩ සටහන්වලට ගෙන්වා ගන්නා බවට බොරු පොරොන්දු දී කර ඇත්තේ ඉහත කී ජාවාරමය. එමෙන්ම එම පුද්ගලයන් මෙරට සිදු කරනු ලබන ඇතැම් ක‍්‍රියාකාරකම් තමා සිදු කරන ඒවා බව පෙන්වා මුදල් ගරා ගැනීම ද සිදු කර ඇත.

තමන් බටහිර වෛද්‍යවරයෙක් (ස්නායු රෝග පිළිබඳ විශේෂඥයෙක්) ආයුර්වේද වෛද්‍යවරයෙක්, කට්ටඩියෙක්, සාන්තුවරයෙක් ලෙස පෙනී සිටින මොහු ගැන අපට අද හෙළිදරව් කරන්න වන්නේ මේකා නොම්මර එකේ හොර තක්කඩියකු වන බැවිනි. මොහු නිසා අමාරුවේ වැටුණ ශ‍්‍රීලාංකිකයන් ගණන අති විශාලය. ඇමැතිවරු, ඇමැති බිරින්දෑවරු ඇමති සහෝදරවරු, මෙරට ප‍්‍රකට මෙන්ම අප‍්‍රකට භික්ෂූන් වහන්සේලා, ප‍්‍රකට කලාකරුවන්, ආචාර්යවරු, මහාචාර්යවරු, සම්ප‍්‍රදායික උරුමය සම්බන්ධයෙන් කටයුතු කරන ශ‍්‍රාස්ත‍්‍රඥයන්, විද්වතුන්, අංගම්පොර කලා ශිල්පීන්, නැටුම් ශිල්පීන්, හමුදා හා පොලිස් ප‍්‍රධානින්, නළු නිළියන් මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල ප‍්‍රමාණයක් මොහුගේ උගුල්වල පැටලී ලක්ෂ ගණනින් මුදල් විනාශ කරගත්හ, පවුල් අවුල් කරගත්හ, කරමින් සිටි රැකියා අවුල් කරගත්හ, ණයකරුවන් වූහ, ලැජ්ජාවට පත් වූහ, නින්දාවට පත්වූහ. ඒ අතර තරුණියන් විශාල ප‍්‍රමාණයක්ද සිටින බව අපට දැනගැනීමට ලැබී ඇත.

මේ දහම් රත්වත්තේ නැමැත්තා සිදු කර ඇති විනාශය සුළු පටු නැත. පසුගිය කාලය මුළුල්ලේ අප විසින් සොයා ගත් තොරතුරු අති විශාල ප‍්‍රමාණයකි. බොහෝ දෙනක් තමන් මේ හොර තක්කඩියාගේ බස්වලට රැවැටුණ බව තව කෙනකු හා කීමට ඇති ලැජ්ජාව නිසා සියලූ පාඩු දරාගෙන සිටියහ. නැත්නම් දහම් රත්වත්තේ විසින් පිල්ලියක් එවා මරා දමන බවට කරන තර්ජන හමුවේ නිහඬ වූහ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීමට අප තීරණය කළේ මේ හොර තක්කඩියාට තවත් කවරකු හෝ බිලි ගැනීමට තිබෙන අවස්ථාව අවහිර කිරීමටත් මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවට වගකිව යුත්තන්ගේ ඇස් ඇරවීමටත්ය.

මෙම දොස්තර දහම් රත්වත්තේ යන අය ස්නායු රෝග වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිය ද අපගේ සොයා බැලීම අනුව ඔහු වෛද්‍යවරයකු නොවේ. ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයෙන් මුදලට ගත් දර්ශනය පිළිබඳ උපාධියක් ඇති අතර අජටාකාශ විද්‍යාව සම්බන්ධයෙන් හැදෑරීමක් කළ අයෙකි. ඒ, 2009 වසරේදීය. නමුත් කෙටි කාලයක් ෆාමසියක ඖෂධ කලවම් කරන්නකු ලෙස ජීවිකාව කරගත් අයෙකි. ඔහු තවමත් 38 වන වියේ පසුවන්නෙකි. ඔහු උපන්නේ එංගලන්තයේ බවත් මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යලයේ දී බවත් ඔහු ඇතැම් කෙනකු හා පවසා ඇත. බි‍්‍රතාන්‍ය පුරවැසියකු ලෙස එරට පුරවැසි බව ද ලබා ඇත. ඔහු පාවිච්චි කරන නාමය සහිත කිසිවකුත් ගැන මෙරටින් තොරතුරු වාර්තා නොවේ. ඔහු නමින් පුද්ගලයකු රත්වත්තේ පවුලේ හෝ බණ්ඩාරනායක පවුලේ නැත. එමෙන්ම එංගලන්තයේ පදිංචි ස්නායු සම්බන්ධ වෛද්‍යවරයකු එම පවුල්වල ඇත්තේ නැත. ඔහු එංගලන්තයේ රජ පවුලේ හෝ රජ පවුලේ සේවය කරන්නකුගේ සමීප සම්බන්ධතා ඇත්තෙකු ද නොවේ. ඒ තබා මොහු සිය දහස් ගණනක් සමඟ සම්බන්ධතා පැවැත් වුවද මොහු කවුරුන් ද යන්න මේ සටහන පළවන තෙක් ඔහු පැවසූ දේ හැර වෙනයම් කරුණු කාරණා කිසිවකුත් නොදනී. ඔහු නමින් වන ගූගල් ප්ලස් සමාජ ජාල ගිණුමෙහි ඔහුගේ බව කියැවෙන ඡායාරූපයක් පළ කර ඇතත් එය සත්‍යය ඡායාරූපය නොවේ. ස්කයිප් වීඩියෝ හරහා ඔහු සමඟ සම්බන්ධ වූවන් කිහිප දෙනා හැර අන් කිසිවකු ඔහුගේ රූපය දැක නැත. නමුත් අප වෙත ඔහුගේ නියම ඡායාරූපයක් ලැබී ඇත.

එමෙන්ම මොහු විසින් මේ තක්කඩිකම් කිරීම වෙනුවෙන් එංගලන්තයේ දැනට අප දන්නා පරිදි පෞද්ගලික සමාගම් දෙකක් ලියා පදිංචි කර ඇත. එකක් zheladiwa heritaje circal ltdZ h’ අනෙක ‘anuhas astrolojy ltdZ’ය.

Daham Rathwatta 32015 පෙබරවාරියේ දී ආරම්භ කළ හෙළදිව හෙරිටේජ් හි ඔහු හැරෙන්නට තවත් එක් අධ්‍යක්ෂවරයකු සිටී. එකම කොටස්කරුවා චතුර සූරියාරච්චි යන අය යි. සමාගම් ලේකම්වරයා ලෙස වරෙක අජිත් කුමාර වික‍්‍රමසිංහ යන අය කටයුතු කර ඇත. ඒ පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයට පෙරය. පසුව මෙම සමාගමේ නව අයිතිකරු තරංගා නිශානි සපුමල් බණ්ඩාර ලෙස වෙනස් කර ඇත. ඒ නමින් පෙනී සිටින්නේ ඔහුගේ බිරින්දෑය. වයස අවුරුදු 36 කි. ඇය ද බි‍්‍රතාන්‍ය පුරවැසියකු ලෙස එරට පුරවැසි බව ලබා ඇත. සමාගම් ලේකම්වරයා ලෙස අජිත් වලකඩගේ නැමැත්තා කටයුතු කර ඇත. ඔහු ගුවන් යානා ඉංජිනේරුවකු හෝ ඒ සම්බන්ධව රැකියාවක නිරත වූවෙකි. ඔහු කාලයක් මෙරට සිටි පුද්ගලයකු වන අතර වරෙක ස්වාධීන රුපවාහිනියේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනට සහභාගී වූවෙකි. ඔහු එම වැඩසටහනට සහභාගී කරවාගෙන තිබුණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්නය. අප මෙම සමාගම් තොරතුරු ලබා ගත්තේ ඒංගලන්තයේ සමාගම් ලියාපදිංචි කිරීමේ (Companies House) ආයතනයෙනි. ඔවුන් විසින් ලබා දුන් සම්පූර්ණ වාර්තා අනුව මේ සමාගම එංගලන්තයේ සිදු කරන්නේ මොනවාද යන්න හෝ එහි වත්කම් ගැන කිසිදු තොරතුරක් එම ආයතන සතුව නැත, මන්ද එම සමාගම ලියාපදිංචි කිරීම හැර පසුව කිසිදු කටයුත්තක් සිදු කර නොමැති බැවිනි. සමාගමේ වත්කම බි‍්‍රතාන්‍ය පවුම් 1 කි.

2010 සැප්තැම්බරයේ දී අනුහස් ඇස්ට‍්‍රලොජි පුද්ගලික සමාගම බිරිඳගේ නමින්ම ආරම්භ කර ඇති අතර අනෙක් කොටස්කරුවා ලෙස බි‍්‍රතාන්‍ය ජාතිකයකුගේ නමක් සටහන්ව ඇත. එමෙන්ම අනුහස් නමින් පෙනී සිටින ඇතැත්තකු ද මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී. අනුහස් යනු මොහුගේ කුඩා පුත‍්‍රයාගේ නමය. මෙම ආයතනයේ ද කිසිදු නිල ගනුදෙනුවක් සිදු වී නැති අතර එම සමාගමේ වත්කම ද පවුම් 1 කි. මෙම සමාගම් 2 වෙනුවෙන් වෙබ් අඩවි 2ක් සහ ෆේස්බුක් මිතුරු පිටු කිහිපයක්ම පවත්වාගෙන යයි.

කොහොම නමුත් මේ කණ්ඩායම සිදු කර ඇත්තේ එම සමාගමේ නම පෙන්වා වෙනත් ආකාරයෙන් මෙම හොර ජාවාරම පවත්වාගෙන ගොස් මුදල් ඉපැයීමය. ඒ වෙනුවෙන් ගිණුම් ගණනාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ, විවිධ නම්වලිනි. මේ පුද්ගලයා ව්‍යාජ ලිපි ලේඛන සැකසීමේ ශුරයකු බව ද ඔහුගේ උගුල්වලට හසුවූවන් පෙන්වා දෙයි. බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය ආයතනවල සහ මහ රුජිනගේ නිල නිවේදන ලෙස මෙරට පුද්ගලයන් වෙත ව්‍යාජ ලිපි ලේඛන යොමු කර ඇත. දහම් රත්වත්තේ නැමැති නම ද ව්‍යාජ බව ඇතැමුන් පෙන්වා දෙන අතර වැඩි දෙනෙක් ඔහුව හඳුනන්නේ අනුහස් යන නමින්ය. කෙසේ නමුත් මොවුන් මේ වන විටත් බි‍්‍රතාන්‍ය රජයටත් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර රවටා ඇති බව පැහැදිලිය.

එමෙන්ම මෙරට පොලිස්පතිවරයා ඇතුළු රජයේ ප‍්‍රධානීන් ගණනාවක්ම මොහුට රැවටී ඇත.

මෙරට පුද්ගලයන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වමින් ඔවුන් රත්වත්තගේ උගුලේ පැටලැවීම සිදු කර ඇත්තේ මේ සමාගම් ලේකම්වරයා වන අජිත් වලකඩගේ නැමැත්තා විසිනි. එංගලන්තයෙන් ලැබෙන තොරතුරු අනුව අජිත් වලකඩගේ නැමැත්තා මීට මාස 6කට පමණ පෙර මුදල් වංචාවක් හේතුවෙන් ඩුබායි හී සිර දඬුවම් විඳ මේ වන විට ඇප මත කල් ගෙවන්නෙකි.

ඒ කෙසේ නමුත් මෙම සමාගමේ උපදේශකයන් ලෙස ආචාර්ය ශිරාන් දැරණියගල මහතා කටයුතු කරන බව මොවුන් විසින් පවත්වාගෙන යන ෆේස්බුක් සමාජ ජාලා පිටුවක සඳහන්ය. ඊට අමතරව පරිසරවේදියකු වන තිලක් කන්දෙගම මහතා ද එම සමාගමේ උපදේශකයෙකි. එමෙන්ම මෙම ව්‍යාපාරයේ මාධ්‍ය ලේකම්වරයකු සේ පෙනී සිටියේ ප‍්‍රකට තරුණ ඇමැතිවරයකුගේ මාධ්‍ය අංශයේ සිටි අයෙකි. එහෙත් ඔහු ද මේ හොර තක්කඩියාගේ ගැටවලට හසු වී මුළු ජීවිතයම විනාශ කරගෙන රටට මුහුණ දීමට නොහැකිව සිටින්නකු බැවින් ඔහුගේ අනන්‍යතාව හෙළි නොකරමු.

වරක් දහම් රත්වත්තේ නමැත්තා මෙරටට පැමිණෙන බව මොහුට දන්වා එවා ඇත. තමන් සමඟ තම ආරක්ෂාවට වාහන හතරක ආරක්ෂකයන් ද පැමිණෙන බවත් තමන්ට එම අදාළ ගම් පෙදෙසේ නවාතැන් ගැනීමට සුදුසු නිවසක් සූදානම් කරන ලෙස ද දන්වා ඇත.

තමන් දේවත්වයෙහිලා සළකුනු ලබන තැනැත්තාට තම නිවසේම නවාතැන් දීමට ඉටා ගත් මාධ්‍ය ලේකම්වරයා ඒ වෙනුවෙන් ලක්ෂ ගණනාවක් වැය කර නිවස අලූත් වැඩියා කර තිබේ. අලූත් ගෘහභාණ්ඩ පමණක් නොව කෑම බීම පවා සූදානම් කළේ නිශ්චිතවම පැමිණෙන දිනය හා වෙලාව දන්වා තිබුණු බැවිනි. එහෙත් ඔහු ආවේ නැත. කකුල කැඩුණු බව පවසා ඒ ගමන කල් දැමීය. අපගේ මාධ්‍ය ලේකම්වරයා මේවන විට ලක්ෂ ගාණක ණයකරුවෙකි. තමන් මේ පුද්ගලයාට අසුවුණ බව දැන ගන්නා විට තමන්ට යළි සමාජයට මුහුණ දීමට ද නොහැකි තරමට අමාරුවේ වැටී සිටියේ ය. මන්ද ඔහු තවත් තරුණ තරුණියන් රැසක් මේ හොර තක්කඩියාට හඳුන්වා දී තිබුණු නිසාය.

එමෙන්ම මොහුගේ කටයුතු අගය කරමින් එක් එක් පුද්ගලයන් ලවා සිදුකර ගත් ප‍්‍රකාශ ගණනාවක් ද මේ තක්කඩියා ඔහුගේ වෙබ් අඩවිවල හා ෆේස්බුක් සමාජ ජාලාවල ප‍්‍රසිද්ධ කර ඇත. ඒ අතර ප‍්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධන ද, ප‍්‍රවීණ ගායක කිත්සිරි ජයසේකර ද වෙති. කිත්සිරි ජයසේකර යනු ඇමැති දයාසිරි ජයසේකරගේ සොහොයුරාය. රත්වත්තේ මෙම ප‍්‍රකාශ ලබා ගෙන තිබුණේ තමන්ගේ කටයුතු අගය කරන ප‍්‍රකාශ ෆෙස්බුක් හි ප‍්‍රසිද්ධ කළ විට තමන්ට තව තවත් සුබ ඵල ගෙනදෙනු ඇතැයි කියමිනි. සමහරුන් ලවා ඔහුට සෙත් පතා මෙරට බෝධි පූජා පිංකම් පවා පවත්වාගෙන ඇත.

අප තවදුරටත් සොයා ගත් තොරතුරු අනුව මේ දහම් රත්වත්තේ නමැත්තා මෙරට තවත් තරුණ තරුණියන් රැසකටම එංගලන්ත සිහින මවා සංචාරයට, රැකියාවක් සඳහා සහ පදිංචි වීමට සූදානම් වෙන ලෙස බලාපොරොත්තු දල්වා ඇත. තවත් ඇතැමකුට වාහන ලබා දෙන බවට ලැප්ටොප් සහ අයි පෝන් ආදිය ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත. එහෙත් කිසිවකුට කිසිවක් ලබා දී නැත. නමුත් මෙම තරුණ තරුණියන් වෙත අපල දුරුවන්න යැයි කියා ‘සුර’ ලබා දී ඇත. එහෙත් ඒවාහි තල තෙල් බිංදුවක් හෝ අඩංගු නොවූ බව පසුව හෙළි විය. සාමාන්‍යයෙන් මන්ත‍්‍රයක් තඹ පතක ලියා එතුළට දැමීම සිදු වුවත් එවැනි කිසිවක් මේ සුරවල තිබී නැත. නමුදු මොහුගේ කටයුතු මෙරට ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මොහුට භක්තිමත්ව සිටි කිහිප දෙනකුට රුපියල් දහ පහළොස්දහසක මුදල් ලබා දීම සිදු කර ඇත. එම මුදල් ද මෙරට සිටින තවත් පුද්ගලයන් හරහා බැංකු ගත කිරීම සිදු කර ඇත.

මොහු හා ස්කයිප් තාක්ෂණයෙන් සම්බන්ධ වූ කිහිප දෙනා පවසන්නේ මොහු ස්කයිප් හරහා සම්බන්ධ වන කාමරයේ විවිධ පුරා වස්තු ගණනාවක් ම තිබූ බවය. අති විශාල පුස්කොල පොත් තොගයක් ද, කඩු කිණිසි පමණක් නොව විශේෂයෙන්ම පුරාණ පිස්තෝල තුවක්කු ආදිය ද දහම් රත්වත්තේ විසින් පෙන්වනු ලබන බවත් ඔවුන් පවසයි. ඔහු බොහෝ දෙනකු හා, හිටපු ජනාධිපතිවරයා විසින් හොයපු ‘කඩුව’ තිබෙන්නේ තමා සතුව බවත් එය රාවණා රජුගේ කඩුව බවත් පවසා ඇත. එමෙන්ම රාවණා රජුගේ රස දිය ඇන්ජිම සහිත දඩු මොනර යානය ඇත්තේ ද ඔහු සතුව බව පවසා ඇත. එය දැන්ම එළියට නොගන්නේ බටහිර ජාතීන් තමාව ඝාතනය කර ඒ තාක්ෂණය සොරා ගැනීමට ඉඩ ඇතැයි පවසමිනි. කෙසේ නමුත් මොහුගේ රාවණා පේ‍්‍රමය නිසා ඔහුව මෙරට දී සම්මානයට ද පාත‍්‍ර විය. ඒ, ‘දිවයුරු පුත‍්‍රයා’ නම් සම්මානය යි. එය ප‍්‍රදානය කළේ වත්මන් ගරු කතානායක කරූ ජයසූරිය මහතාගේ සහ ඇමැති පාඨලී චම්පික රණවක මහතා ගේ ප‍්‍රධානත්වයෙන් වූ උළෙලකදීය. එම සම්මානය මෙරට සිටින දහම්ගේ අනුගාමිකයකු විසින් ලබා ගෙන ඇත.

කෙසේ නමුත් මේ කියන එංගලන්ත පුත‍්‍රයා එසේ මෙසේ සූත්තරකාරයකු නොවන බව පැහැදිලිය. ඔහු මෙරට ජනාධිපතිවරයා ද විකුණා කමින් ජීවත්වන්නෙකි. රත්වත්තේ පවුලේ හා බණ්ඩාරනායක පවුලේ කීර්ති නාමය විකුණා කමින් ජීවත් වන්නෙකි. මිථ්‍යාව වපුරවමින් ජීවිතය ගැටගසා ගන්නෙකි. ජාවාරම්කරුවෙකි; බොරුකාරයෙකි. ඇතැම් විට මානසික රෝගියකු ද විය හැකිය. මේ සියල්ලටම වඩා ඔහු විසින් සිදු කරමින් පවතින විනාශය ගැන බලධාරීන් සලකා බැලිය යුතුය. මන්ද මොහු මේ රටේ නමද විනාශ කරන ජාත්‍යන්තර තක්කඩියෙකි.

t

– සුභාෂ් ජයවර්ධන