ගොවිසෙත ලොතරැයියේ කෝටි 13 හිමිකරුවා

ස්විප් ටිකට් පතක් මිලදී ගන්නා බොහෝ දෙනකු කවදා හෝ තමන්ට ජයග්‍රහණයක් හිමිවේ යැයි බලා‍පොරොත්තු තැබිම සාමාන්‍ය දෙයකි. ටිකට් පතකට දිනුමක් ඇදුනත් නැතත් යන එන ගමනේදී යළිත් ටිකට් පතක් මිලදී ගැනීම අපි කරන්නේ පුරුද්දටය. කීර්ති ද නගරයට යන එන ගමනේදී ස්විප් ටිකට් පතක් මිලදී ගන්නේ කිසියම් ත්‍යාගයක් ලැබුණොත් හොඳයි යන සිතිවිල්ලෙනි. ස්නායු ආබාධිත රෝගී නැගනියන් දෙදෙනා මෙන්ම අවිවාහක සොයුරියද, මව්පියන් ද සැපවත් කිරීමට එකම පිරිමි දරුවා ලෙස ඔහු සිහින මැව්වේ අද ඊයෙක නොවේ.
දුප්පත්කමේ අගහිඟකම් මැද්දේ ජීවිතය ගෙවූ ඔහුට දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙන්නා සේ හදිසියේම වාසනාව පහල විය. ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැනට බිහි වූ විශාලතම කෝටිපතියා වීමේ භාග්‍යය ඔහුට හිමිවූයේ එලෙසිනි.
දැන් කීර්ති කෝටිපතියෙකි. නිකම් කෝටිපතියෙකු නොව කෝටි දහතුනකම අයිතිකාරයෙකි. කීර්තිගේ නම කීර්තිමත්ව ඇත. මේ කීර්තිමත් කෝටිපතියා සමග කතාබහ කිරීමට ‘ඉරිදා ලක්බිමට’ ලැබුණු විශේෂ අවස්ථෘව මෙසේ සනිටුහන් කළෙමි.

කෝටි දහතුන ඇදුනා කියලා දැනගත්තාම දැනුණ හැඟීම මොකක්ද..?
ඒක වචනවලින් කියන්න අමාරුයි.

ටිකට් පත ඇදුනා කියලා දැනගත්තේ කොහොමද…?
අපේ ගෙදර තිබුණු පුංචි ටීවී එකෙන්

ඊළඟට ඔබ මොකද කළේ..?
මට මුකුත් හිතා ගන්න බැරි වුණා.

ඔබ මේ ගැන මුලින්ම කිව්වේ කාටද…?
ඒ වෙලාවේ වැඩසටහන බලමින් සිටි මගේ සහෝදරියට.

ඇය මොකද කිව්වේ..?
ඇයටත් විශ්වාස කරගන්න බැරි වුණා.

ගෙදර හිටියේ ඔබ දෙන්නා විතරද..?
අම්මයි තාත්තයි වගේම ආබාධිත පුංචි සහෝදරියොත් නිදාගෙන හිටියේ.

අම්මට කතා කරන්න හිතුනේ නැද්ද..?
හිතුණා. ඒත් මං පැයක් දෙකක් පැත්තකට වෙලා කල්පනා කළා.

ඇයි එහෙම කල්පනා කරන්න පටන් ගත්තේ..?
මොනවද කරන්නෙ කියල මට හිතාගන්න බැරි වුණා. ඒකයි.

ඔබේ සහෝදරියවත් අම්මා ගාවට දුවගෙන ගියේ නැද්ද…?
නැහැ. ඇයත් නිහඬව මගේ දිහා බලාගෙන වාඩිවෙලා හිටියා.

අම්මාට සුබ ආරංචිය කිව්වේ කොයි වෙලාවෙද..?
පැයක් දෙකක් ගියාට පස්සේ මං ගිහින් අම්මාව ඇහැරෙව්වා. ඊට පස්සේ මේ ගැන අම්මාට කිව්වා.

අම්මා මොකද කළේ..?
අම්මා ඉකිගහ ගහ අඬන්න පටන් ගත්තා. අපේ අම්මා උදේ වෙනකම්ම කළේ අඬපු එක.

වටපිටාවේ අය දැනගත්තාද ඔබ කෝටිපතියෙක් කියලා.
එහෙම දෙයක් ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ.

පහුවදා පත්තරවල කෝටි දහතුනේ ජයමල්ල ඇඹිලිපිටියට ඇදුනා කියලා පළවුණා නේද..?
ඔව් ටිකට්පත විකුණුවේ ඇඹිලිපිටියේ නියෝජිතයා නිසා එහෙම පළවුණා.

ජයග්‍රාහකයාවූ ඔබ ඉන්නෙ ඇඹිලිපිටියෙ නමෛයිද ..?
ඇඹිලිපිටියෙ ඉඳලා හුඟක් දුරින්.

හැමදාම ටිකට් ගන්න ඇඹිලිපිටියෙ යනවද..?
එහෙම යන්නෙ නැහැ. අවශ්‍යතාවයකට ටවුන් එකට ගියාම ස්විප් එක්ක ගන්නවා.

ඒ කියන්නේ ඔබ පුරුද්දට ස්විප් ගන්න කෙනේක නමෛයි කියලද..?
දිනපතාම ස්විප් ගන්න තරම්වත් ලොකු වත්කමක් අපට නැහැ. ගෙදර තිබුණු ප්‍රශ්නත් එක්ක අපි මුදල් වියදම් කරන්නෙ බොහොම පරිස්සමට.

ඔබට වැඩියෙන්ම ඇති ප්‍රශ්න මොනවද..?
මගේ බාල සහෝදරියො දෙන්නම ආබාධිතයි. එක්කෙනෙක්ට අවුරුදු දහයයි. අනිත් එක්කෙනාට අවුරුදු 14යි. දෙන්නාම ඉපදිලා මාස තුනේ ඉඳලා ස්නායු ආබාධයකින් පෙළෙනවා. උපන්දා ඉඳන්ම ඉන්නෙ ඇඳේ. එයාලව සනීප කරගන්න අපි ගොඩක් දුක් විඳිනවා.

ගෙදර වෙන රැකියා කරන අය කවුද…?
මායි මගේ සහෝදරියයි ගුරුවරු. අපි තමයි දැනට ගෙදර උපයන අය.

තාත්තා මොකද කරන්නේ…?
තාත්තා ගොවිතැන් වැඩ වගේම මේසන් වැඩත් කරනවා. එහෙම දුක් විඳලා තමයි අපිට ඉගැන්නුවේ. දැන් තාත්තාට තනිවම මේ දේවල් කරන්න අමාරුයි. අපි තාත්තාට උදව් කරනවා. එහෙම තමයි අපි අපේ ජීවිත බලා ගන්නේ.

ස්විප් ටිකට් පත ජයග්‍රහණය කළ බව දැනගත්තාම එකපාරටම ඉදිරිපත් නොවුණේ ඇයි…?
හදිස්සි වෙන්න ඕන නැහැ කියලා හිතුණා.

ජයග්‍රාහී ටිකට් පත ආරක්ෂා කරගන්න විශේෂ උපක්‍රම භාවිතා කළාද..?
ඒක පුරුදු විදියටම මගේ පර්ස් එකේ තිබුණා.

ආරක්ෂිතයි කියලා හිතුවද..?
මං ගැන කව්රුත් දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා ටිකට් පත හැම මොහොතෙම මා ළඟ තියාගන්න පරිස්සම් වුණා.

ලොතරැයි මණ්ඩලයට ගිහින් ටිකට් එක ඉදිරිපත් කරන කොට මොකද හිතුණෙ…?
ඔවුන් මාව උණුසුම විදියට පිළිගත්තා. ඒත් ටිකට්පත රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කර ස්ථීරවම තහවුරු කර ගන්නා තුරු ඉන්න ඕන කිව්වාම නම්, හිත ටිකක් ගැස්සුණා.

ඇයි ඒ…?
මං අරන් තියෙන්නෙ ඇත්ත ටිකට් පතක්ද බොරු එකක්ද කියලා හිතාගන්න බැරිවුණ නිසා. බැරි වෙලාවත් මගේ ටිකට් එක හොර එකක් වුණොත්..

ලොතරැයි මණ්ඩලයෙන් ඔබේ ටිකට් පත සත්‍ය බව තහවුරු වුණාම මොකද හිතුණෙ..?
ටිකට් පත ඇදුන මොහොතටත් වඩා මහා අමුත්තක් හිතට දැනුණා. ඒක මොනවගේ හැඟීමක්ද කියනන්න මට තේරෙන්නෙ නැහැ.

මේ මහා ධනස්කන්ධයෙන් ඉස්සෙල්ලාම කරන්න හිතුනෙ මොකක්ද..?
මොන තරම් වියදම් ගියත් නංගිලා දෙන්නව සනීප කර ගන්න ඕන කියලා හිතුණා.
මගේ නංගිලා මාස තුනේ ඉඳන්ම ඇඳේ ඉන්න හැටි මම දැකල තිබුණා. කතා කරන්න බැරි. ඇවිදින්න බැරි මගේ නංගිලා කොහොම හරි නැගිට්ටවා ගන්න ඕන ඒක තමයි මගේ එකම හීනය වෙලා තිබුණෙ..

දැන් අලුත් නෑදෑයෝ එහෙම ගොඩක් ඇති නේද..?
අපිට නෑයෝ නම් කොහොමත් හිටියා. නෑයින්ට වැඩිය දැන් අපිව හොයාගෙන එන්නේ නන්නාඳුනන අය.

ඒ කියන්නේ..?
ලංකාවේ හැම තැනින්ම උදව් ඉල්ලාගෙන මිනිස්සු එනවා. දවසකට අඩුම ගානේ හත් අට දෙනෙක්වත් අපිව බලන්න එනවා.

මොනවගේ උදව් ද ඉල්ලන්නේ..?
එක එක විදියේ උදව් ඉල්ලනවා.

උදාහරණයක් කියන්න පුළුවන්ද…?
ගෙවල් හදන්න සල්ලි ඉල්ලනවා. මෝටර් සයිකල් වගේම ත්‍රීවීල් අරන් දෙන්නත් කියනවා. ඒ වගේම සල්ලිත් ඉල්ලනවා.

අඩුම ලන්සුව කීයද..?
රුපියල් විසිපන්දාහට වැඩි මිසක් අඩු නැහැ.

චිත්‍රපට හදන්න, ටෙලි නාට්‍ය හදන්න එහෙම ඉල්ලීමක් නැද්ද..?
තවම නම් ටෙලිනාට්‍ය හා චිත්‍රපට හදන්න නම් කවුරුවත්  කතා කළේ නැහැ.

එහෙම කෙනෙක් ආවොත් කැමැති වෙනවද…?
අ‍පෝ නැහැ.

මුදල් කළමනාකරණය ගැන කියලා දෙන්න උපදෙස් දෙන්න ආවෙ නැද්ද..?
එනවා. හැබැයි උපදෙස් දෙන්න නමෛයි. තමන්ගෙ බැංකුවෙ, ආයතනයේ මුදල් ආයෝජනය කරන්න කියලා තමයි ඒ අය ඉල්ලා හිටින්නේ.

වැඩියෙන්ම ආවේ මොන බැංකුවෙන්ද..?
ලංකාවෙ හැම තැනම බැංකුවලින් එනවා. කොළඹ බැංකුවලිනුත් ආවා.

වෙන කව්ද උපදෙස් දෙන්න ආවෙ..?
රක්ෂණ සමාගම්වලිනුත් එනවා. ජීවිත රක්ෂණ ලබා ගන්න කියලා තමයි ඔවුන් කියන්නේ…?

මේ ධනස්කන්ධය හිමි වුණාට පස්සේ මොකද දැන් හිතෙන්නේ…?
තිබුණු නිදහස නැතිවුණු බව දැනෙනවා. ලොකු වෙහෙසක් දැනෙනවා. අපේ සාමාන්‍ය ජීවිතේ ඉස්සර වගේ තිබුණා නම් හොඳයි කියලත් හිතෙනවා.

ලැබුණු සල්ලිවලින් තවම මුකුත්ම කළේ නැද්ද..?
අපේ ගමේ පන්සල් දෙකකට මුදල් දුන්නා. විදුලි බල්බ ලබා දීමකුත් කළා.

ඒ ගැන විස්තර කරන්න කැමැතිද..?
දීපු දේවල් ගැන විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඒවා සතුටින් කරපු දේවල්. එච්චරයි.

ඔබ ජයග්‍රහණය ලබන්න පෙර මිලදී  ගත්ත විශේෂ ලොතරැයියක් තිබුණද..?
ඒ වෙලාවට මිලදී ගන්න හිතුණු ටිකට් එකක් ගත්තා. විශේෂත්වයක් තිබුණේ නැහැ.

ඒ සඳහා නිශ්චිත අකුරු හෝ ඉලක්කම් තිබුණද..?
නෑ එහෙම නැහැ. අහඹු ලෙස ඒ වෙලාවට හිතුණු ඉලක්කමක් අකුරක් තෝරා ගන්නවා.

ගොවිසෙත ටිකට්පත ගත්තෙත් එහෙමද..?
ටිකට්පත එදා රෑ අදින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමයි ටිකට් එක ඇඹිලිපිටියෙදි ගත්තේ. එහෙම හිතුණෙත් ලොකු මුදලක් ටිකට් එකට එකතුවෙලා තියෙනවා කියලා ප්‍රචාරය වුණු හින්දා.

ඔබේ කේන්දරයේ මෙවැනි මහා ධනස්කන්ධයක් හිමිවන බව කව්රුන් හෝ කවදා හෝ කියලා තිබෙනවද..?
එහෙම දෙයක් ගැන කව්රුත් කියලා නැහැ.

ඔබේ හඳහන බලලාම නැද්ද…?
අපේ ජීවිතවලට හැමදාම තිබුණෙ දුක විතරයි. ඒක නිසා හඳහන් බැලුවෙ නැහැ. ඒ නිසා හඳහන් බලන්න යන්න උවමනාවක් තිබුණෙ නැහැ.

ඔබේ ලග්නය මොකක්ද..?
මට මතක නැහැ.

ඔබට විශේෂ අනාගත සැලසුමක් තියෙනවාද..?
දරුවෙක් විදියට දෙමව්පියන්ව සතුටින් තියන්න කැමැතියි. දුක් විඳපු මගේ පවුල හැමදාටම සැපවත් කරන්න ඕන. මගේ චූටි නංගිලා දෙන්නා ඇවිදින හැටි බලන්න ඕන. මේවා තමයි මගේ ලොකුම හීන. ඒ වෙනුවෙන් කෝටි දහතුනම වියදම් වුණත් කමක් නැහැ.

mn

ධර්මා මොහොට්ටාල