මහින්ද අමරවීරගේ ලේකම්ගේ අමුතු සෙනේ මාට්ටු

ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ජී.ජී.කේ. ගාමිණි නැමැත්තා විසින් අමාත්‍යාංශයට තම හිතවතුන් හා හිතවතියන් 13 දෙනකු නීති විරෝධී ලෙස
අනුයුක්ත කර ගනිමින් වැඩි සැලකිලි ලබා දෙන බව ධීවර අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සේවයෙහි නිරතව සිටි මෙම පිරිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙලෙස අනුයුක්ත කරගෙන ඇත. 2015 වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස කටයුතු කර තිබේ. මොවුන්ගේ වැටුප් අතිකාල ගෙවීම ධීවර වරාය නීතිගත සංස්ථාව මඟින් ගෙවීම සිදු කරනු ලබන නමුත් මේ සේවක සේවිකාවන් අමාත්‍යාංශයෙහි සේවය කරන බවට පැමිණීමේ නාම ලේඛනයක් ද පවත්වාගෙන නොයයි. එහෙත් පෞද්ගලික ලේකම්වරයා විසින් නිතිපතා අතිකාල ලකුණු කර ඒවා ගෙවන ලෙසට අනුමත කර ඇත.

මෙහි දී මෙම සේවක සේවිකාවන් වෙත වැටුපට අමතරව අතිකාල විශාල ප‍්‍රමාණයක් ලබා දීම මෙම ලේකම්වරයා සිදු කර ඇත. ඇතැම් සේවිකාවකට මාසයකට අතිකාල පැය 170කට වඩා ඉහළ ප‍්‍රමාණයක් ලබා දී ඇති අතර සෙනසුරාදා හා ඉරිදා දිනයන් ද ඇතුළුව පොහොය දිනවල රාජකාරි කළ බව ද මේ අතිකාල සටහන්වල සඳහන්ය.

කෙසේ නමුත් මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් තිබේ. මහින්ද අමරවීර ඇමැතිවරයා යහපාලනය උදා කර දීම සඳහා දැඩි දේශපාලන සටනක නිරතව සිටිය දි ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා මෙලෙස ඇමැති බලතල පාවිච්චි කරමින් නීති විරෝධී ලෙස කටයුතු කිරීමෙන් වන්නේ ඇමැතිවරයා ද අවසානයේ දී දූෂිතයකු ලෙස කළු පැල්ලමක් දා ගැනීම පමණය.

mm

– සුභාෂ් ජයවර්ධන