ලන්ඩන් දොස්තර අගමැතින් පන්නයි

ලන්ඩනයේ ප්‍රධාන පෙළේ මෙන්ම පැරණිම රෝහලක් වන ගයිස් සහ ශාන්ත තෝමස් රෝහලට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ දවැනියා වූ නික් ක්ලෙග් ඒවෙලාවේ රෝහලේ සේවය කරමින් සිටි ශල්‍ය වෛද්‍යවරයා විසින් පන්නා දැමිණි.

ඩේවිඩ් කැමරන් සහ නික් ක්ලෙග් රෝහලට ගියේ ලෙඩුන් බැලීමට නොවේ. ඉදිරියේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇති නව වැඩපිළිවෙළ පිලිබඳ මාධ්‍යය වෙත තොරතුරු සැපයීම සඳහා ප්‍රවෘත්ති වාර්තාවක් පටිගත කරගැනීම සඳහාය. ඔවුන් දෙදෙනා සමඟ  වැඩසටහන පටිගත කිරීම සඳහා මාධ්‍යවේදීහූ ද කැමරා කණ්ඩායමක්ද රෝහලට පැමිණ සිටියහ. ගයිස් ශාන්ත තෝමස් රෝහල පිහිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යාබද තේම්ස් නදී ඉවුරේ අනෙක් පැත්තේය. රෝහල ප්‍රවෘත්ති වාර්තාව පටිගත කිරීමට තොරා ගැනුණේ ඒ නිසාය.

වැඩසටහන පටිගත කිරීම ආරම්භ කෙරුනේ උකුළු ඇටය ආදේශනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් රෝහල් ගතකර සිටි 63 හැවිරිදි රෝගියකු සිටි ඇඳ අසලදිය.

රෝහලේ එම පටිගත කිරීම සඳහා අවශ්‍ය අවසර අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් කල්තියා ලබාගෙන තිබුණි. කෙසේවුවද අගමැති වරයාත් උප අගමැති වරයාත් රෝගියාගේ ගුණ දොස් විමසීම පටන් ගන්නවාත් සමඟම රෝගියාගේ ශල්‍යකර්මය බාරව සිටි විශේසඥ වෛද්‍යවරයා එතනට ආවේය. කණ්ඩායමට වහාම රෝහලෙන් පිටව යන ලෙසට අණ කළේය.

” මම තමා මෙතන වැඩ  බාරව ඉන්න ශල්‍ය වෛද්‍යවරයා. මෙතන වැඩ කෙරෙන්න ඕනෑ ලෙඩුන්ගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙමින්. මෙතන ඉන්න පත්තර කාරයන් සහ කැමරා කාරයන් කිසිකෙනකු රෝහලක දී සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් ගැන සැලකීමක් දක්වා නැහැ. රෝහලක එහෙම වෙන්න බෑ. ඔය වැඩේ දමල ගහල ඉක්මනින් යනවා යන්න” යයි ඔහු වේගවත්ව අගමැති වරයාටත් උප අගමැති වරයාටත් දැඩිව අන කළේය.

වෛද්‍ය වරයා පෙන්වා දුන්නේ රෝහලකට ඇතුළු වීමේදී එහිතබා ඇති අත් පිරිසිදු කිරීමේ ආලේපන පාවිච්චි නොකිරීම, රෝහලක අනවසර පරිදි ටයි පටි පැළඳගෙන සිටීම, කමිස හෝ කෝට්, අත් හකුලුවාගෙන නොසිටීම වැනි සරල එහෙත් රෝහලක සනීපාරක්ශාවට වැදගත් කරුණු පිළිනොපැදීම නිසා එම පිරිස එලවා දැමු බවයි.

දොස්තරවරයාගේ ක්ෂණික දෝෂාරෝපණය තුෂ්නිම්භූතව අසාසිටි අගමැති වරයාත් උප අගමැති වරයාත් ඔවුන් සමඟ පැමිණි කණ්ඩායමද කටුව වහාම රෝහලෙන් පිටව ගියහ.

1 2 4 5