ජර්මානු-ඕස්ටි්‍රයා සංචාරය GSP+ වෙනුවෙන් වන අඩිතාලමකි..

ජනාධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා ධුත පිරිසේ ජර්මානු සහ ඕස්ටි්‍රයානු සංචාරය ජී.එස්.පී. ප්ලස් සහනය මෙරටට ලබා ගැනීමේ අඩිතාලමක් වූ බව ධූත මණ්ඩල සාමාජික, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු කියා සිටියේ, ඉදිරි සති කිහිපය තුළ ඊට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ හා රාජ්‍ය ප්‍රතිපත්තිවල සිදු වූ වෙනස හේතුවෙන් යුරෝපීය රටවල් ශ්‍රී ලංකාව වෙත අනුග්‍රාහ කිරීමට කැමැත්ත දක්වා තිබේ.

ජර්මනිය හා ඕස්ටි්‍රයාව යනු පැවති රජයේ අසංවිධානාත්මක හා අදූරදර්ශී විදේශ හා රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ විරසකව සිටි රාජ්‍යයන් දෙකකි. නමුත්, වත්මන් ජනාධිපති සහ අගමැතිගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක සම්මුති ආණ්ඩුවේ වැඩපිළිවල පිළිබඳ පැහැදී ඇති මෙම රාජ්‍යයන්, අද වන විට නම්‍යශිලී හා මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කරන බව ද දයා ගමගේ මහතා සඳහන් කළේය.

මේ අතර, මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවට අත්කර ගැනීමට හැකි වූ ප්‍රතිලාභයන් සම්බන්ධයෙන් ද අමාත්‍ය දයා ගමගේ මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් පැහැදිළි කළේය.

පසුගිය කාලයේ දී ජාත්‍යන්තර වශයෙන් කොන් වී සිටින රාජ්‍යයක් ලෙස සලකා තිබූ ශ්‍රී ලංකාව, අද වන විට ඔවුනගේ ඉහළම ගෞරවයට හා සම්භාවනාවට පාත්‍ර වන රාජ්‍යයක් බවට පත්ව තිඛෙන්නේ යැයි කියා සිටීමට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා කෙරෙහි දැක්වූ පිළිගැනීම හොඳම සාක්ෂියකි.

එසේම, මානව හිමිකම්- මාධ්‍ය නිදහස- තොරතුරු දැන ගැනීමේ පනත- දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ පනත ආදී මෑත කාලීන දේශපාලනික ප්‍රතිසංස්කරණයන් එම රටවල් දෙකේ දී ම ඉහළ ඇගයීමට ලක් විය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලනයක නිරත වූ පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම පළමුව විමතියට දෙවනුව ප්‍රශංසාවට ද ලක් විය.

මේ අතර, එහිදී පැවති ව්‍යාපාරික හමු දෙකක දී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත දක්වන ව්‍යවසායකයින් 300 ක් පමණ සමග සාකච්ඡා කිරීමට අවස්ථාව උදා විය. දකුණු ආසියානු වෙළඳපොළ ඉලක්ක කර ගත් නිෂ්පාදන කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වන බව එහිදී අදහස් දැක්වූ ආයෝජකයෝ සඳහන් කළහ.

කෙසේ නමුත්, පසුගිය රජය සමයේ හදිසි පනත් මගින් පුද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීම වැනි කටයුතු සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා කැමැත්තක් හා උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයින් හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් හිමි වූ බව ද එහි දී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සිත් තුළ තිබූ ඇතැම් සැක සංඛා දුරු කිරීමට හැකියාව ලැබූ බව ද අමාත්‍ය දයා ගමගේ මෙහිදී කියා සිටියේය.

මෙරට ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යාපෘති සකස් කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුග්‍රහායන් සහ ණය පහසුකම් ලබා දීමට ද මෙම රාජ්‍යයන් දෙක ම සිය කැමැත්ත දක්වා තිබේ.

අමාත්‍ය දයා ගමගේ වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව තාක්ෂණ අධ්‍යාපන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට ජර්මන් රජයේ අවධානය යොමු වී ඇති බවයි. ඒ වෙනුවෙන් නව තාක්ෂණ ආයතන දෙකක් ලබා දීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, වියානා හා කොළඹ අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීම, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම රාජ්‍යයන් දෙකෙහි සහාය ලබා ගැනීම, මෙරට රැකියා දස ලක්ෂයේ ව්‍යාපෘතිය සඳහා දායකත්ව ලබා ගැනීම හා වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් අනුග්‍රාහක මැදිහත්වීම ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේය.

xxx

– භාරත තෙන්නකෝන්