ලේඛිකාවකට පෙම්බැන්ද යසර් අර්පත්

අරගල කරුවන්, සටන් කාමීන්, කැරලි කරුවන්, ජාතික සටන් වලට උරදෙන විමුක්ති කාමීන් ආදී අය හදවත් නැති පුද්ගලයන්ද? නැත. ඔවුන්ද මෘදු හදවත් ඇති සාමාන්‍ය මනුෂ්‍යයන්ය. හිට්ලර්ද, නැපෝලියන් බොනපාට්ද, මහා ඇලෙක්සැන්ඩර් රජුද, ජුලියස් සීසර්ද, චේ ගුවේරාද ආදී මෙකී නොකී ප්‍රකට පුද්ගලයන් පිළිබඳ අප්‍රකට තොරතුරු හාරා ඇවිස්සීමේදී මේ බව සනාථ වේ. ලංකාවේ රෝහණ විජේවීරගේ නමද මේ ලැයිස්තුවට ඇතුළත් කළ හැකිය.
ආදරයට සීමා මායිම් නැත. විශේෂයෙන්ම වයස සීමාවක් බල නොපායි. රටක් රාජ්‍යයක් ජයගත් පුද්ගලයන් ආදරය හමුවෙහි දණ නැමූ අවස්ථාවක් ජයගත් කතා ඉතිහාසය පුරා ඇත.

 

20-Rasa-p2-BA
සතුරු සේනා වලට නිර්භීතව පපුව දෙමින්, තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා මහා බළකොටු තනා ගනිමින්, තර්ජන වලට මුහුණ දෙමින්, ඉදිරියට ගිය රණවිරුවන්ගෙන් බහුතරය සංවේදී පුද්ගලයෝය. ආදරය හා දයාව පිළිබඳව එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දක්වන ආකල්පය විදහා දැක්වීමට මෙවන් ගී පදයක් වඩාත් සුදුසු යයි මට සිතේ.
එය නම් මෙසේය. “ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබාගමී. එන හැම දේකට මම එඩිතරවී පපුව දෙමී”

 

යසර් අර්පත් කවුද?

“බලවතුන්ගේ ආදර කතා” ලිපිපෙළ තුළින් අද හඳුන්වාදෙන්නේ අමුතුම පුද්ගලයෙකි. මහත්මා ගාන්ධි, මාටින් ලූතර්කිං, නෙල්සන් මැන්ඩෙලා ආදී ශ්‍රේෂ්ඨයන් අවිහිංසාවාදයට මුල්තැන දුන් අයයි. තම වර්ගයා වෙනුවෙන් සාමකාමී විප්ලවයන්හී නිරත වූවන්ය. මා කියන මේ පුද්ගලයා අවිහිංසාවාදයට මුල්තැන නොදුන්නත් නොබෙල් සාම ත්‍යාගය පවා හිමිකරත්තේය. ඔහු අරාබියේ වීරයාය. ඔහු වෙන කවුරුවත් නොව පලස්තීනයේ හිටපු පාලක යසර් අර්පත්ය. දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඔහු මැද පෙරදිග ගෙන ගියේද විමුක්ති අරගලයකි.
යසර් අර්පත් ඇත්තෙන්ම විප්ලව වාදියෙකි. ගාසා තීරයෙහි අභීත සටනක් මෙහෙයවූ සෙන්පතියෙකි. අපරාජිත රණ ශූරයෙකි. තම වර්ගයාගේ අභිවෘද්ධි සහ උන්නතිය තකා මුළු දිවියම කැපකළ වීරයෙකි. මීට වසර 11කට පෙර එනම් 2004 නොවැම්බර් 11 දා 75 වැනි වියේදී සදහටම දෙනෙත් පියාගත් මේ ප්‍රතාපවත් පුද්ගලයාගේ නාමය ලෝක ඉතිහාසයේ පිටු අතර සදාකල්හිම සටහන්වී පවතිනු ඇත. ඔහුගේ මරණය අබිරහසක් බව ලෝක ජන මාධ්‍යයන් සඳහන් කර තිබුණි. එම මරණය පිළිබඳව තවමත් විවිධ කතා පැතිරෙයි.

1
පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ඇරඹුවේ ඔහුය. ඔහු ෆාටා (FATAH) දේශපාලන පක්ෂයේද සභාපතිය. පලස්තීනයේ කාන්තාරය මැද පිහිටි රාමල්ලා (Ramalla) බලකොටුවේ ගතකළ ඔහු ගාසා තීරය ඊශ්‍රායලයෙන් මුදවා ගැනීමට කළ සටන අද්විතීය මෙහෙයුමකි.
පැරිසියෙන් ඇරඹුන ආදරය.
මුළු දිවියම විමුක්ති කාමී විප්ලව වෙනුවෙන් ගතකළ යසර් අර්පත්ට තම ජීවිතයේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් කැප කිරීමට අවස්ථාවක් නොලැබුණි. 1990 වර්ෂයේදී පලස්තීනයේ සිට ප්‍රංශයේ පැරිස් පුරයට ගිය ගමන ඔහුගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයකි. එය ඔහුගේ පෞද්ගලික දිවිය අළුත්ම මඟකට යොමු කළ සංචාරයකි.
ස්ථානය පැරිස් නුවර පලස්තීන තානාපති කාර්යාලයයි. පලස්තීන නායකයා එහි සැපත් විය. පලස්තීන තානාපති වරයාගේ පවුලේ සාමාජිකාවක් වූ සුහා නැමති තරුණිය යසර් අර්පත්ගේ නෙත ගැටුණේ මෙහිදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 61 කි. ඇයගේ වයස අවුරුදු 26 කි. ඇය දුටු ඔහු ආදරයෙන් මෝහනයට පත්විය. සුහා මේ ප්‍රතාපවත් මහලු රාජ්‍ය නායකයා සමඟ පෙමින් වෙළුණේය. අති රමණීය සුන්දර පැරිස් පුරවරය මේ දෙදෙනාගේ ප්‍රේම පාරාදීසය බවට පත්විය. පලස්තීන විමුක්ති සටන මඳකට අමතක කළ අර්පත් නව යෞවන වියේ පසුවූ සුහා ගේ උණුසුමට ලොල් විය. ආදරයට වයස් සීමාවක් නැති බව මා මුලින්ම සඳහන් කළේ මේ නිසාය.

 

ලේඛිකාවට පෙම් බැඳි අරාබියේ වීරයා

(Suha Tawil) කවුරුන්ද මේ සුහා. ඇයගේ නම සුහා ටවිල්ය. 1963 ජූලි 17 දා ජෙරුසෙලමේදී ඇය උපත ලැබුවාය. ඇය උපතින්ම කතෝලික පවුලක සාමාජිකාවකි. ඇය කිවිඳියකි. එමෙන්ම ලේඛිකාවකි. (Poet And Writer) 18 හැවිරිදි වියේ පසුවෙද්දී ඇය වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැරිස් නුවරට යවන ලද්දේ ඇයගේ මව්පියන් විසිනි. ඉන් වසර කීපයකට පසු ඇයගේ දෛවය වෙනස් කළේ කොතරම් අරුම පුදුම ආකාරයටද?
මුළු ලොවම දන්නා මහලු යසර් අර්පත් (Yessar Arafat) මේ සුහා නැමති සුරූපි තරුණිය සමඟ විවාහ වුණේද 1990 වර්ෂයේදීමය. 1995 වර්ෂයේදී සුහා දියණියකගේ මවක් බවට පත්විය. එවිට අර්පත්ගේ වයස අවුරුදු 66 කි. අර්පත් තම එකම දියණියට තම මවගේ නම යෙදීමද විශේෂ සිද්ධියකි. එම දියණියගේ නම සහවාය. (Zahwa) කිවිඳියක් මෙන්ම ලේඛිකාවක් සමඟ විවාහ වූ යසර් අර්පත් ජීවිතයෙන් වැඩි කලක් ඇය සමඟ ගතකළේ රාමල්ලා හි පිහිටි තම බලකොටුව තුළය. සුහා කතෝලික ආගම අතහැර ඉස්ලාම් ආගම වැළඳ ගත්තාය. දස අතින් එල්ලවන වෙඩි වරුසා මධ්‍යයේ මේ පුංචි පවුල ගාසා තීරයෙහි ගිනිගෙන දැවෙන වැලි කතරේ ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයකි. අවස්ථා කීපයකදීම මිසයිල ප්‍රහාර වලින් ඔවුන්ගේ දිවි ගැලවුණේ අනූ නවයෙනි.
යසර් අර්පත් කීපවරක්ම බෝම්බ ප්‍රහාර වලින් බරපතළ තුවාල ලැබුවේය. කාන්තාරයේ යුද ගිනිදැල් මැද ආදරයේ පහන් දැලුවූ යසර් අර්පත් අපූරු පුද්ගලයෙකි. ඊජිප්තුවේ කයිරෝ නුවර ඉපදුනු පුද්ගලයකු වූවත් 1948 අරාබි ඊශ්‍රායල් යුද්ධයේදී අරාබි සොල්දාදුවෙක් වශයෙන් පෙරමුණ ගත් සෙබළෙකි. අරාබියේ කොන්වී, පීඩාවට පත්ව, කතරක අතරමං වී සිටි ජාතියක් වෙනුවෙන් පලස්තීනය නැමති දේශය නිර්මාණය කිරීම ඔහුගේ මූලික අරමුණ විය.

 

සටනක අවසානය

අර්පත් සුහාට සියලු සැප සම්පත් ලබා දුන්නේය. කතෝලික ආගමික තරුණියක සමඟ පෙම් සබඳතා පැවැත්වීම, පසුව ඇය විවාහ කර ගැනීම ආදිය පිළිබඳ ඉස්ලාම් සමාජය තුළින්ම ඔහුට විවේචන එල්ල විය. ඉස්ලාම් ආගමට එරෙහිවූ ආගමක් අදහන තැනැත්තියක් සමඟ විවාහ වී ඔහු ඉස්ලාම් වර්ගයා වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ගොඩනංවන්නේ කෙසේදැයි විරුද්ධ වාදීන් ඔහුගෙන් ප්‍රශ්න කළහ. මේ සියළු අභියෝග හමුවෙහි යසර් අර්පත් නැමති වියපත් දේශපාලකයා නැතහොත් සටන් කාමියා නිසැලව සිටියේය. ඒ ආදරයේ, සෙනෙහසේ නැතහොත් දයාවේ නාමයෙනි. ඔහු අරාබි කාන්තාවක සමඟ විවාහ නොවීම ඉමහත් ප්‍රහේලිකාවකි. සුදු ජාතික කාන්තාවකගේ විලාසය ගන්නා සුහාට ඔහුගේ සිත ඇදී ගියේ ඇයි?
යසර් අර්පත් මරණාසන්නව රෝගාතුරව සිටියදී ප්‍රතිකාර ලබාදීම සඳහා ඇතුළත් කළේ ප්‍රංශයේ පැරිස් නුවර රෝහලකටය. පැරිස් නුවරදී හමුවූ අර්පත්-සුහා යුවළ පැරිස් නුවරදීම වෙන්වීම කොතරම් අනුවේදනීය සිද්ධියක්ද? අර්පත් සදහටම දෙනෙත් පියා ගත්තේ සුහා දෙස බලාගෙනය. මෙහිදී සුහාගේ හදවතට දැනුණ ශෝකය මෙවැනි ගී පද දෙකකින් හුවා දැක්වීමට සුදුසු යැයි මට සිතේ.
“ආවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැණුම්. එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කළින්”

m22