බලය, බලය සඳහා නොව ‍යහපත සඳහාය

සමාජය තුළ බො‍හෝ ප්‍රශ්න ඇතිවන්නේ තමන් නොමැරෙන බව සිතමින් කටයුතු කරන ඇතැමුන් නිසා බවත්, බලයට පත්වන සියලු දෙනා බලය ඕනෑම මොහොතක තමන්ගෙන් ගිලිහී යාමට අවස්ථාව තිබෙන බව සිතමින් කටයුතු කළ යුතු බවත් බලය, බලය සඳහා නොව ‍ජනතාවගේ යහපත සඳහා භාවිතා කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කෙළේ ඊයේ (25) ගාලු මුවදොර හෝටලයේ පැවති මෛත්‍රී මිතුරෝ සංවිධානයේ වාර්ෂික රැස්වීමට සහභාගි වෙමිනි.

2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් මැතිවරණ ප්‍රකාශයේ සඳහන් දින 100 වැඩපිළිවෙළ මීට වඩා සාර්ථක විය හැකි බව ද ජනාධිපතිතුමා එහිදී පැවැසීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැතිව බලයට පත්වූ තමන් මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරුන්ට වඩා අසීරුම කාර්යය සිදුකරන අතර තුනෙන් දෙකක බලයක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කළ එකම රට ශ්‍රී ලංකාව බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

‍ ආණ්ඩුව දීර්ඝ ගමනක අසීරු ආරම්භයක් සාර්ථකව අවසන් කරමින් සිටින බවත්, පසුගිය වසර කිහිපය පුරා අපට අහිමිව තිබූ ජාත්‍යන්තර සහය ලබාගෙන රට සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කෙළේය. තම ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධනය, රටක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් දිනාගැනීමක් වන බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය මෙරට දේශපාලන ඛේදවාචකයක් වූ බව ද ප්‍රකාශ කෙළේය.

මෙම අවස්ථාවට මෛත්‍රී මිතුරෝ සංවිධානයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය ද සාමාජිකයෝ ද රැස්ව සිටියහ.

ee

dinamina