යුරෝපා සංගමයෙන් ඉවත්වීම බ්‍රිතාන්‍යය වැට උඩ !

බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටීමෙන් එරට ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන බව ඊට පක්ෂව සිටින්නන්ගේ අදහසය. සිය අපනයනවලට යුරෝපා රටවල වෙළෙඳපොළ පහසුකම් ඉන් පහසුවෙන්ම සැලසෙන බව ඔවුහු පෙන්වා දෙති. ආර්ථික වර්ධනයට තල්ලුවක් වනවාට අමතරව එවැනි එකතුවක සිටීමෙන් බ්‍රිතාන්‍යයට වැඩි සුරක්ෂිත බවක් ද ලැබෙන බව ඔවුන්ගේ අදහසය.

බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් 55% ක් කියා සිටින්නේ යුරෝපා සංගමය තුළ ප්‍රතිසංස්කරණ විය යුතු බවය. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඊට පක්ෂ මතයක පිහිටා සිටී. එවැනි ප්‍රතිසංස්කරණ සිදු නොවන්නේ නම් බ්‍රිතාන්‍යය ඉන් ඉවත්විය යුතුය යන්න ඔවුන්ගේ මතය වේ.

බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය තුළ රැඳී සිටින්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා වන ජනමත විචාරණය මේ වසරේ ජූනි 23 වැනිදා පැවැත්වෙන බව අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කළේය.

මෙය ආසන්න මාස ගණනාවක් තිස්සේ සංවාදයට ලක්වූ මාතෘකාවක් බවට ද පත්විය. කොන්සර්වටිව් පක්ෂය යළිත් බලයට ගෙන ආ ඉකුත් මැතිවරණයේදී අගමැති කැමරන්ගේ මැතිවරණ පොරොන්දුවක් ලෙස ද මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම ඇතුළත් විය. ඉදිරි ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සිය තීරණය “ඔව්” හෝ “නැත” යනුවෙන් ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. වයස අවුරුදු 18 ට වැඩි සියලු බ්‍රිතාන්‍ය, අයිරිෂ් හා පොදු රාජ්‍ය මණ්ඩල පුරවැසිභාවය හිමි තැනැත්තන් මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබයි.

ඉකුත් වසර 15 ක් තිස්සේ මැතිවරණ ලේඛනයේ ලියාපදිංචිව සිටින රටින් පිටත ගතකරන බ්‍රිතාන්‍ය පුරවැසියනට ද මේ අවස්ථාව හිමිය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී මෙන් නොව ජිබ්‍රෝල්ටාවේ මැතිවරණ කොට්ඨාස 23000 කට ද මෙම ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබී ඇත්තේ පාර්ලිමේන්තුව ඇතිකළ නීතිමය වෙනස්කම් හේතුවෙනි.

බ්‍රිතාන්‍යය පසුව යුරෝපා සංගමය (EU) බවට පත් යුරෝපා ආර්ථික ප්‍රජාව (EEC) නම් එකතුවේ සාමාජිකත්වය ලබාගත්තේ 1973 දීය. ඒ සඳහා 1975 දී ජනමත විචාරණයක් පැවැත්වුණු අතර 67% ක ඡන්ද ප්‍රතිශතයකින් ඊට බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ අනුමැතිය ලැබිණි. කෙසේ වෙතත් එම ආරම්භක වකවානුවේ පටන්ම එක්සත් රාජධානිය යුරෝපා සංගමය තුළ කටයුතු කිරීම මතභේදයට තුඩු දුන් මාතෘකාවක් විය.

මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනා සම්මත කළේ ඉකුත් වසරේදී ය. එය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේ කොන්සර්වෙටිව් මන්ත්‍රීවරයෙකු වන ජේම්ස් වෝර්ටස් ය. පාලක කොන්සර්වෙටිව් පක්ෂයේ කැබිනට් ඇමැතිවරු 5 දෙනකු පමණ දැනටමත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරය දරයි. ඇමැති මණ්ඩලයේ වැඩි පිරිස හා අගමැති කැමරන් දරන්නේ තවදුරටත් එහි රැඳී සිටිය යුතුය යන ස්ථාවරයයි. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතය දරන අය ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් වන්නේ තවදුරටත් එහි රැඳී සිටීම යනු එරට ස්වෛරීභාවයට බලවත් තර්ජනයක් බවය. ඊට ප්‍රතිපක්ෂ මතයේ සිටින අය පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වුනහොත් එය එරට සමෘද්ධිමත් භාවයට සහ ආරක්ෂාවට ද තර්ජනයක් ඇති කරනු ඇති බවයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට හඬක් නඟමින් තිබියදී අගමැති කැමරන් ඊට පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වූයේ මීට දෙවසරකට ඉහතදී ය. 2013 ජනවාරියේදී ඔහු අවධාරණය කළේ 2015 මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය යළි බලයට පත්වුණහොත් බ්‍රිතාන්‍යයේ යුරෝපා සංගම් සාමාජිකත්වය පෙරට ගෙන යාම සඳහා සතුටුදායක ලෙස අවශ්‍ය විධිවිධාන යොදන බවය. එම පියවර ජනමත විචාරණයක් පැවැත්වීමට පෙර ගනු ඇතැයි ද ඔහු පවසා තිබිණි.

ජර්මන් හා ප්‍රංශ නායකයන් ද අගමැති කැමරන්ට පක්ෂ මතයක පිහිටියේය. කෙසේ වුවද ප්‍රංශයේ හා ජර්මනියේ පැවැති ඇතැම් මත විමසුම්වලින් පළවූයේ බ්‍රිතාන්‍ය ඉන් ඉවත්විය යුතු බවය. අමෙරිකාවේ මතය වූයේ බ්‍රිතාන්‍ය තවදුරටත් එහි සිටිය යුතු බවය. යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය හඬ තරමක් බාල කළ යුතුය යන අදහසට ද අමෙරිකාව එරෙහි විය. ප්‍රංශය, ජර්මනිය හා අමෙරිකාවට අමතරව ඕස්ට්‍රේලියාව හා ජපානය ද දැඩි ලෙස කියා සිටියේ බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ සක්‍රීය සාමාජිකයකු විය යුතුය යනුවෙනි.

අගමැති කැමරන් මුලදී මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට එරෙහි විය. එහෙත් පසුව වර්ධනය වූ දේශපාලන තත්ත්ව යටතේ ඔහුගේ තීරණය වෙනස් විය. ඉකුත් මහ මැතිවරණයේදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ස්ථාවරය වූයේ බ්‍රිතාන්‍යය එවැනි ජනමත විචාරණයකට යා යුත්තේ එරට, යුරෝපා සංගමයත් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම්වල වෙනසක් සිදුවන්නේ නම් පමණක් බවය. මෙය එම මැතිවරණ ප්‍රකාශනයේම සඳහන් වූ කාරණයකි. එක්සත් රාජධානි ස්වාධීන පක්ෂය, බ්‍රිතාන්‍ය ජාතික පක්ෂය, හරිත පක්ෂය හා රෙස්පෙක්ට් පක්ෂය ජනමත විචාරණයකට පක්ෂ බව පවසා සිටියහ.

කොන්සර්වෙටිව් පක්ෂ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වූයේ මේ පිළිබඳ ජනමත විචාරණයක් 2017 වසර අවසන් වීමට පෙර පවත්වන බවය. මහ මැතිවරණයේදී යළිත් ඔවුන්ට අනපේක්ෂිත ජයග්‍රහණයක් ලැබීමත් සමඟ අගමැති කැමරන් එය මේ වර්ෂය තුළදීම පවත්වා අවසන් කරන බව කියා සිටියේය. මෙලෙස ඉටුවන්නේ එම පොරොන්දුවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, 2017 ට පෙර මෙම ජනමත විචාරණය පැවැත්වීමට විරුද්ධය. බ්‍රිතාන්‍යයේ පැවැති මත විමසුම්වලදී පක්ෂ, විපක්ෂ මත වරින්වර ඉදිරියට පැමිණ තිබේ. 2015 දී වැඩි පිරිසක් බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය යන මතයට පක්ෂ වී ඇත. එරට තරුණ ප්‍රජාවගෙන් බහුතරය ද මේ මතය දරන බව පෙනෙන්නට තිබේ. මහා පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරිකයන් ද සිටින්නේ ද එම මතයේමය. ඉකුත් මහ මැතිවරණයේදී කොන්සර්වෙටිව් පක්ෂය යළි ජයග්‍රහණය කිරීමෙන් ද මේ මතයට අනුකූලතාවක් ලැබී ඇතැයි ගම්‍ය වේ. ඒ අනුව ජනමත විචාරණයේදී ද ඊට වැඩි පිරිසක් පක්ෂ වනු ඇතැයි උපකල්පනය කිරීමේ හැකියාවක් පවතී.

බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටීමෙන් එරට ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන බව ඊට පක්ෂව සිටින්නන්ගේ අදහසය. සිය අපනයනවලට යුරෝපා රටවල වෙළෙඳපොළ පහසුකම් ඉන් පහසුවෙන්ම සැලසෙන බව ඔවුහු පෙන්වා දෙති. ආර්ථික වර්ධනයට තල්ලුවක් වනවාට අමතරව එවැනි එකතුවක සිටීමෙන් බ්‍රිතාන්‍යයට වැඩි සුරක්ෂිත බවක් ද ලැබෙන බව ඔවුන්ගේ අදහසය. කෙසේ වුවද බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් 55% ක් කියා සිටින්නේ යුරෝපා සංගමය තුළ ප්‍රතිසංස්කරණ විය යුතු බවය. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඊට පක්ෂ මතයක පිහිටා සිටී. එවැනි ප්‍රතිසංස්කරණ සිදු නොවන්නේ නම් බ්‍රිතාන්‍ය ඉන් ඉවත්විය යුතුය යන්න ඔවුන්ගේ මතයයි.

යුරෝපා සංගමයේ වත්මන් සාමාජික රටවල් සංඛ්‍යාව 28 කි. එය අයවැයෙන් වැඩි බරක් උසුලන සාමාජික රටවල් 10 ට එක්සත් රාජධානිය ද අයත්ය. යම් හෙයකින් ඔවුන් ඉන් ඉවත්වීමට තීරණය වුවහොත් ප්‍රංශයට හා ජර්මනියට එම අමතර බර ද දරාගැනීමට සිදුවනු ඇත. අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව 2014/15 වර්ෂ සඳහා එක්සත් රාජධානියේ එම දායක මුදල පවුම් බිලියන 8.8 කි. එය 2009/10 වර්ෂ සඳහා වූ එම මුදල මෙන් දෙගුණයකට ආසන්නය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළහොත් එය එරට රැකියා වෙළඳපොළට බලපෑමක් ඇතිවනු ඇතැයි මුල් පෙළේ ව්‍යාපාර වන බී. ටී. මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, වොඩෆෝන් වැනි සමාගම් විසින් පෙන්වා දී තිබේ. එය රැකියා අවදානමට ලක්කරන තීරණයක් වනු ඇතැයි ඔවුහු පවසති. එක්සත් රාජධානියේ මුල් පෙළේ සමාගම් එක්ව පළකළ ලිපියක් ඉකුත්දා “ටයිම්ස්” පුවත්පතේ පලව තිබිණි. මෙවැනි ලිපි ඉදිරිපත් වෙමින් ඇත්තේ බ්‍රිතාන්‍ය රජයේ ස්ථාවරයට පක්ෂවය.

ලන්ඩන් පුරපති බොරිස් ජොන්සන්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින ප්‍රමුඛයෙකි. ඔහු එරට පළමු පෙළ දේශපාලනඥයකු ද වෙයි. එම ස්ථාවරයේ සිටින සමාගම් හා ව්‍යවසායකයන් ගණනාවක් ද සිටී. බොරිස් ජොන්සන්ගේ තීරණය ගැන අගමැති කැමරන් ප්‍රතිචාර දක්වා තිබුණේ ඔහුට බ්‍රිතාන්‍ය දේශපාලනයේ විශිෂ්ට අනාගතයක් ඇති නමුත් මේ තීරණයේදී වැරැදී ඇතැයි පවසමිනි. බ්‍රිතාන්‍යයේ දැවැන්ත සමාගම් මෙහිදී වැඩි අවධානය යොමුකරන්නේ බිලියන 500 ක විශාල ජනගහනයකින් යුතු යුරෝපා වෙළෙඳපොළ දෙස බව පැහැදිලි කාරණයකි. එය අහිමිකර ගැනීමට ඔවුහු කිසි ලෙසකින් හෝ නොකැමැති වෙති. තව තවත් වෙළෙඳපොළ පුළුල් කිරීම හා විවෘත කිරීම ඔවුන්ගේ අපේක්ෂාවය.

යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටීම එක්සත් රාජධානියේ ආරක්ෂාවට ද වඩාත් හිතකර බව හිටපු හමුදා ප්‍රධානී බ්‍රැමල් සාමිවරයා පෙන්වා දෙයි. ඔහු ඇතුළු ඉහළ පෙළේ හමුදා ප්‍රබලයන්ව සිටි 12 දෙනකු රජයේ ස්ථාවරයට පක්ෂව ලිපියක් ඉදිරිපත් කර තිබේ. මීට අමතරව අවම වශයෙන් හිටපු ආරක්ෂක ඇමැතිවරු දෙදෙනෙකු‍වත් ඊට සහාය පළකරයි. හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගේ අත්සන් සහිත ලියැවිල්ල ප්‍රසිද්ධියට පත් කෙරුණේ අගමැති කාර්යාලයෙනි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය වැදගත් උපස්ථම්භකයක් බව ද ඉන් පෙන්වා දී ඇත. එහි සාමාජිකයකු වුවද ‍ෙනාවුණද බ්‍රිතාන්‍යයට ඇති අභියෝග එලෙසම පවත්වනු ඇතැයි පවසන එම ලියවිල්ලේ සංගමයේ සාමාජිකයකු වීම මඟින් ඒවාට මුහුණදීමට හැකි ශක්තිය වැඩිකරන බව අවධාරණය කර තිබිණි.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමක් සිදුවුවහොත් එය අවාසිදායක වනු ඇතැයි පෙන්වා දී තිබේ. කෙසේ වුවද හිටපු ආරක්ෂක ප්‍රධානීන් හා ප්‍රබලයන්ගේ ලිපියට බ්‍රිතාන්‍යයේ හිටපු විශේෂ බලකා ප්‍රධානී ශ්‍රීමත් මයිකල් රෝස් අත්සන් තබා නොතිබිණි. තවදුරටත් යුරෝපා සංගමයේ සිටීමෙන් බ්‍රිතාන්‍යයට රුසියාවෙන් හා අයි. එස්. වැනි ත්‍රස්තවාදී සංවිධානවලින් ද ඇති තර්ජනය ඉහළ යන බව ඔහුගේ අදහසයි.

බ්‍රිතාන්‍ය අගමැති කැමරන් “ජාතික ආරක්ෂාව” මේ ජනමත විචාරණ ව්‍යාපාරයේ හදවත තරම් ප්‍රබල ලෙස මතුකරමින් සිටී. ජූනි 23 වැනිදා තීරණය කුමක් වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. පක්ෂ – විපක්ෂ දෙපසටම ඉදිරිපත් කරන්නට තර්ක ගණනාවක්ම තිබේ. අවසානයේදී එය තීරණය වනු ඇත්තේ බ්‍රිතාන්‍යයට බලවත් රාජ්‍යයක් ලෙස සිය ලෝක ආධිපත්‍ය තවත් වැඩි පරාසයකින් හැසිරවීමට හැකි ද යන කාරණය අනුවය.‍

 

dinamina