43 කණ්ඩායමේ අවසන් ගිනිසිළුවත් නිවී යයි

43   කණ්ඩායමට අයත් වූ චිත්‍ර ශිල්පීන් 9 දෙනා අතුරෙන් ජීවත් වූ අවසාන චිත්‍ර ශිල්පියා වූ රිචර්ඩ් ගේබ්‍රියෙල්ද 2016 පෙබරවාරි 19 දින ඕස්ට්‍රේලියාවේදී මිය ගියේය. දෙවෝපගත සිද්ධියක් සේ සැලකිය හැකි ආකාරයට ඔහු මියගියේ ඔහුගේ 92 වන උපන් දිනයේදීය. එදින ඔහු පින්සලකටත්, වර්ණ ඵලකයටත්, කැන්වසයටත් සදහටම සමු දුන්නේය.ඔහුගේ ජීවිතය දෙවෝපගත සිද්ධීන්ගෙන් බහුලය. 1924 පෙබරවාරි 19 දා ලන්දේසි බලකොටු නගරයක් වූ මාතරදී උපදින වසරේම ඔහුගේ පියා මිය ගියේය. අසරණ වූ මව කොළඹට සංක්‍රමණය වූවාය.
1943 දී දක්ෂ ඡායාරූප ශිල්පියකු හා පියානෝ වාදකයකු වූ ලයනල් වෙන්ඩ්ට් (එනමින් වන කලාගාරයේ නිර්මාතෘ) 43 කණ්ඩායම පිහිටුවන විට එක්වූ මුල් චිත්‍ර ශිල්පීන් 9 දෙනා අතර සිටි ළාබාලම චිත්‍ර ශිල්පියා රිචර්ඩ් ගේබ්‍රියෙල්ය. ඔහු පුවත්පතකට ප්‍රකාශ කළ ලෙස පැරැන්නෝ ඔහුට ඊර්ෂ්‍යා නොකළහ. හොඳින් මග පෙන්වූහ. විශේෂයෙන් අයිවන් හා හැරී පීරිස් ගැන මෙහිලා ඔහු වෙසෙසින් සඳහන් කරයි. 43 කණ්ඩායමට ජෝර්ජ් කීට්, මංජු ශ්‍රී  හා ජස්ටින් දැරණියගලද අයත් වූහ.
උප්පැන්න සහතිකයේ සඳහන් පරිදි ඔහු පයාගල බදුගේ රිචර්ඩ් මනුසිටස් දොන් ගේබ්‍රියෙල්ය. ආගම රෝමානු කතෝලික විය. නම දිග වැඩි හෙයින් ඔහු රිචර්ඩ් ගේබ්‍රියෙල් ලෙස කෙටි කෙරිණි. එහෙත් ශ්‍රී ලංකා කලා කෙතේ ඔහුගේ සේවය කෙසේවත් ලඝු කොට සැලකිය නොහැක. ඔහුගේ භාර්යාව වූ චිත්‍ර ශිල්පිනියක හා චිත්‍රකර්ම ගුරුවරියක වූ සීතා කුලසේකර 2002 මියගිය පසු ඔහු තම දූ දරුවන් සමග ජීවත් වීමට ඕස්ට්‍රේලියාවට ගියේය. එහෙත් සිතින් තම මව්බිමේ ජීවත් වෙමින් එහි සොඳුරු මිනිසුන් සිත්තම් කළේය.
ඔහුගේ මූලික අධ්‍යාපනය මාතර කන්‍යාරාමයකදී සිදුවිය. කොළඹට පැමිණි පසු බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් විය. 2008 දී ඉරුදින ටයිම්ස් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ගණිතය අසමත් වීම නිසා එස්.එස්.සී. විභාගය අසමත් වූ ගේබ්‍රියෙල්ව ඔහුගේ මව විසින් ධෛර්යමත් කළ සැටි කියා තිබිණි.
“දෙවියන් වහන්සේ ඔබට තලෙන්තුවක් (චිත්‍ර ශිල්පය) දී ඇත. ඇයි ඔබ එය ප්‍රයෝජනයට නොගන්නේ?” යනුවෙනි.
මෙම අවධියේ එනම් 1944 ජපන්නු කොළඹට බෝම්බ හෙලුවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යුද්ධය පිළිබඳ පැවැත්වූ චිත්‍ර තරගයකට ගේබ්‍රියෙල්ද චිත්‍ර කීපයක් යැවීය. ඒ සියල්ල ජයග්‍රහණය කරන ලදී. ත්‍යාග මුදල   රු. 200/-කි. (දැන් නම් එය සොච්චමකි. එහෙත් එදා විශාල මුදලකි.) ශාන්ත ජෝශප් විද්‍යාලයේ විදුහල්පති පියතුම වූ දුර දක්නා ඥානයෙන් යුත් පීටර් පිල්‍ලේ පියතුමා 1944 දී ගේබ්‍රියෙල් පාස‍ලේ චිත්‍ර කර්ම ගුරුතුමා ලෙස පත් කළේය. එවිට ඔහු අවුරුදු 19ක පැඟිරි කොල්ලෙකි. ඊට අමතරව කෝරා ඒබ්‍රහම් කලා නිකේතනයේ ආධුනික චිත්‍ර ශිල්පීන් පුහුණු කිරීමේද යෙදිණි.
ඉන් අනතුරුව හෙතෙම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශිෂ්‍යත්වයක් මත බ්‍රිතාන්‍යයේ චෙල්සී කලා විදුහ‍ලේ ඉගෙනුම සඳහා පිටත්ව ගියේය. එහිදී ඔහු කැටයම් ක්‍රම, මූර්ති කලාව, නෙලීම හා බිතු සිතුවම් පිළිබඳ හසල දැනුමක් ලබා ගත්තේය. එම ශිල්පීය ඥානය යොදාගෙන 1967 දීද කේ‍රාස් (කුරුසිය) නම් මාහැඟි ග්‍රන්ථයක් සම්පාදනය කළේය. ඉතාලියේ ෆ්ලොරන්ස්හි පිහිටි මයිකල් ආන්ජලෝ ඇකඩමිය ඔහුව එහි ගරු සාමාජිකයකු ලෙස පිළිගත්තේය. ඔහුගේ නිර්මාණ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ 1952-1953 කාලයේ ප්‍රදර්ශනය විය. ඊට පසු වර්ෂයන්හි ඔහුගේ චිත්‍ර සාඕ‍පෝලෝ හා වෙනිසියේද ප්‍රදර්ශනය විය. පැරිසියේ  කෞතුකාගාරයේ ඔහුගේ චිත්‍ර එකතුවක් ස්ථීරව ප්‍රදර්ශනයට තබා ඇත.
කලා විචාරක මයිකල් ඇන්තනීස්, “රිචර්ඩ් ගේබ්‍රියෙල්ගේ සිතුවම් මා දකින්නේ අතිශයින් නැවුම් වෙනසක් ලෙසය. ඔහු වෙන කිසිවකුගේ ෙශෙලිය අත්හදා බැලුවේ නැත. ඔහුගේ පිවිතුරු රේඛා හදවතින්ම නැගුණේය. සිල්ලර ගැමියන් ඔහුගේ සෑම සිතුවමකම කැපී පෙනෙනවා” යනුවෙන් ලිවීය.
ඔහුගේ ජීවිත කතාව ලියූ යාවජීව මිතුරු නෙවිල් වීරරත්න මහතාද ඔහු ආදරය කළ ජනතාව ගොවීන්, ධීවරයන්, මව සහ ඇගේ දරුවාත් ස්වභාව සෞන්දර්යද දර්ශනත් ඔහුගේ චිත්‍රවලට පාදක වී ඇතැයි පවසයි. කාල වර්ණ රේඛාවලින් පැතලි රූප වෙන්ව පෙනෙන මධ්‍යකාලීන චිත්‍ර ශිල්ප ක්‍රම ඔහුට බලපාන්නට ඇතැයි පෙනේ.
තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව් මැදුරෙත්, බම්බලපිටියේ ජෙසුයිට් නිකායේ චැපල්හිදීත්, අම්පිටියේ ජාතික දෙව් සත්හ‍ලේත් ඔහුගේ ලකුණු ශේෂව පවතී. ඊට අමතරව ශාන්ත ඇලෝසියස් සෙමනේරියේ අන්තිම රාත්‍රී භෝජනය බිතු සිතුවම ඔහුගේ දක්ෂතා නිරූපණය වන කැටපතය. යන්න. ඒවා නරඹන්න. මියගියත් චිත්‍ර ශිල්පියාගේ හදගැස්ම ඔබට දැනෙනු ඇත. හරියට ගෝතමී විහාරයේ බිතු සිතුවම් අතර ජෝර්ජ් කීට්ගේ හද ගැස්ම ගැනෙන්නා සේ.

yyyyy

ක්ලෝඩ් පින්ටෝ

(අන්තර්ජාල ආශ්‍රයෙනි.)