මහා රැජිනගේ රාජකීය සුනඛ හුටපටේ

රජ ගෙදර බල්ලන්ටත් රජ සැප යනුවෙන් වන කියමන සනාථ වන තොරතුරක් පසුගියදා වාර්තා වූයේ ලොව වඩාත් ජනප්‍රියම රාජ මාලිගාවේ වෙසෙන සුනඛ සුරතලුන් පිළිබඳව පළවූ ලිපියකින් පසුවය. . මේ සුරතලුන් වෙන කිසිවකුගේවත් නොව එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ සුනඛ සුරතලුන්ය. රජ ගෙදරක සුනඛයකු ලෙස ඉපදීමටත් වාසනාවක් තිබිය යුතුය යන්න ඒ තොරතුරු කියවීමේදී සිතේ. එංගලන්තයේ බකිංහැම් මාලිගාවේ සුනඛයන්ගේ මානසික සෞඛ්‍ය හා විනය පිළිබඳ වගකිව යුතු විශේෂ වෛද්‍ය රොජර් මග්ෆෝඩ් මෑතකදී රැජනගේ සුනඛ සුරතලුන් පිළිබඳව පළ කළ අදහස් ඇසුරෙන් එම ලිපිය සැකසිණ. ඔහු රැජනගේ සුනඛයන් ගේ භාරකාරත්වයට පත්ව වසර 20කටත් වැඩිය.

එංගලන්ත මහ රැජන සුනඛයන්ට මෙන්ම අශ්වයන්ට ද විශේෂ ළැදියාවක් දක්වන්නියක බව කවුරුත් දනිති. සුනඛයන් වුව උන්ගේ නුවණක්කාරකම උන් රාජකීයයන් ඉදිරියේ සහ සාමාන්‍ය පුද්ගලයන් ඉදිරියේ පෙන්වන වෙනස්ම වූ ගති ලක්ෂණවලින් පෙනී යයි. රාජකීයයන් ඉදිරියේ දී උන් ඉතා සංවර ඉවසීමෙන් යුතු හික්මුණු සතුන්ය. එහෙත් රජ ගෙදර සේවකයන් වැනි සාමාන්‍ය ජනතාව ඉදිරියේ උහු එකිනෙකා පොරකා ගන්නා පිටින් එන සුනඛයන් නොඉවසන සාමාන්‍ය සුනඛයෝය.

රජ ගෙදර සුනඛයෝ එසේ මෙසේ සුනඛයෝ නොවෙති. උන් රජ පවුල වෙනුවෙන්ම වි‍ශේෂයෙන් මුහුන් කර අභිජනනය කළ සත්තු වෙති. මේ අතරින් වැඩි දෙනෙක් කුරු බලු ගණයට අයත් වෙති. අතැම් සත්තු ඩෑෂ්හවුන්ඩ් වර්ගයේ සහ corgi නම් වන සුනඛ විශේෂය මුහුන් කර අභිජනනය කළවුන් වෙති. මහ රැජන වෙනුවෙන් මේ දක්වා අභිජනනය කළ සුනඛ සංඛ්‍යාව ද අති විශාලය.

දෙවැනි එලිසබත් කුමරියට corgi වර්ගයේ සුනඛයකු ත්‍යාග ලෙස ලැබුණේ ඇගේ 18 වැනි උපන් දිනයේදීය. ඈ ඒ බැල්ල සුසාන් ලෙසින් නම් කළාය. එදා සිට මේ දක්වා රැජන කිසි දිනෙක බලු සුරතලුන්ගෙන් වෙන් නොවූ අතරම සුසාන් වසර 15ක් තිස්සේ මහ රැජනගේ බලු සුරතලා ලෙස සිටියාය. 1947 දී එලිසබෙත් කුමරිය විවාහ වී මධු සමය ගත කිරීමට යද්දී සුසාන් ද කැටිව ගියාය. ඔටුනු පැලැඳි දින සිට මේ දක්වා ඇය සතුව සුනඛයෝ තිස් දෙනෙක් පමණ වූහ. වරක් ඇය සතු වූ බලු සුරතලුන් සංඛ්‍යාව 13කි. එහෙත් දැන් ඇය සතුව ඇත්තේ සුනඛයන් සිවු දෙනෙකු පමණි. සිවු වසරක පමණ සිට රැජනගේ සුරතලුන් වී සිටින විලෝ, හෝලි, කැන්ඩි සහ වල්කන් නම් වන ඒ සත්තු සුසාන්ගෙන් පැවත එන 14 වැනි පරම්පරාවට අයත් සුනඛයෝ වෙති.

බකිංහැම් මාලිගයේ සුනඛ සුරතලුන්ට මුලින්ම විනය පුහුණු කරමින් නීති මාලාවක් පැනවූයේ දැන් සිටින මහ රැජනගේ මවු බිසව වූ එලිසබත් රැජනය. ඒ සෑම සුනඛයකුටම නිදා ගැනීම සඳහා වේවැල් කූඩා වෙන් කර තිබූ අතර ඒවා පොළොව මට්ටමට වඩා උසින් තබා තිබිණි. සෑම සුනඛයකුටම වෙන් වූ ආහාර බඳුන් ද තිබිය යුතු බව මවු බිසවගේ නියමය විය. ඒ සෑම සුනඛයකුටම පශු වෛද්‍යවරයකු නියම කළ ආහාර වේල් මිස රාජකීය කෑම මේසයෙන් ඉතිරි වූ කෑම දීම තහනම්ය. සුනඛයන් ගේ ආහාර වේල් ද නිසි පරිදි නියමිත වේලාවට දීම රාජකීය නියමය විය. මවු රැජන එදා සුනඛයන් වෙනුවෙන් පැනවූ නීති රීති අද ද රජ මාලිගයේ එලෙසම ක්‍රියාත්මක වේ.

වර්තමානයේ සිටින බලු සුරතල්ලු මහ රැජන යන යන සැම තැනම යෑමට පුරුදුව සිටිති. රැජනගේ මාලිගා මන්දිර හා වතුයාය සියල්ල උන්ට හුරුපුරුදු තැන්ය. ඒ යන ගමන්වලදී බල්ලන් වෙනුවෙන් වෙනම රියැදුරකු සමඟ ලිමොසින් රථයක් වෙන්වේ. එසේත් නොමැතිනම් පෞද්ගලික ගුවන් යානයක් හෝ හෙලිකොප්ටර් යානාවකි. සුනඛයන්ගේ දිනය ආරම්භ වෙනුයේ සේවකයකු සමඟ උදෑසන රාජකීය උද්‍යාන සවාරියකිනි. ඉන්පසු රැජන අවදිවීමත් සමඟ සුනඛ සුරතලුන් ඇය වෙත යැවේ. රැජන උදෑසන කෑම මේසයට යන්නේ සිය සුරතලුන් ද සමගිනි. ඇතැම් අවස්ථාවල මහ රැජන සිය කෑම මේසයෙන් මාමලේඩ් හා බටර් තැවරූ පාන් පෙති සිය සුරතලුන්ට දෙන්නීය.

මේ සුනඛ සුරතලුන්ට එකිනෙකාට වෙන් වෙන් වශයෙන් වෙනස් වූ ආහාර වට්ටෝරු වෙයි. එම ආහාර වට්ටෝරුද දිනපතා වෙනස් වේ. දිනයට අදාළ ආහාර වට්ටෝරුව රාජකීය මුළුතැන්ගෙයි දැන්වීම් පුවරුවේ දැක්වේ.

බකිංහැම් මාලිගයේ වසර 11ක් පමණ රාජකීය සූපවේදියා ලෙසින් සේවය කළ ඩැරන්ට අනුව මේ සුනඛයන්ට උන් ප්‍රිය කරන කෑම සමඟ රාත්‍රී කෑමට ස්ටුවක් හා හොඳින් කපා සැකසූ ගෝවා සුදු බත් සමඟ සැකසේ. මෙය දිනපතා කුකුළු මස්, ලිවර් සහ හා මස් යනාදී ලෙසින් විවිධ මස් වර්ග මුසු කර දෙයි. චාල්ස් කුමරා මෙන් මහ රැජන ද හෝමියෝපති ඖෂධ අගය කරන්නීය. මෙනිසා සුනඛ සුරතලුන් සඳහා ආහාර වට්ටෝරු සැකසීමේදී බොහෝවිට බෙහෙත් පැළෑටි සංයෝග මුසු කිරීමට නියම කර ඇතැයි රාජකීය සූප වේදියා සඳහන් කරයි. විශේෂයෙන්ම සුනඛයන්ගේ සම වියළි හෝ සමේ රෝග පෙන්නුම් කරයි නම් මේ පැළෑටි සංයෝග ආහාර වේලට ඇතුළත් කිරීම අනිවාර්ය වෙයි.

සුනඛයන්ට ආහාර දීම සඳහා රිදී හා සෙරමික් බඳුන් ‍වෙන් කර ඇති අතර සාමාන්‍යයෙන් නිතරම උන්ගේ ආහාර වේල ලැබෙනුයේ මහ රැජන අතිනි. සේවකයකු විසින් රැගෙන එන ආහාර බඳුන් සුනඛයන්ගේ වැඩිහිටි අනු පිළිවෙළට ලබා දෙයි.

“මේ බල්ලන් රැජන ආහාර දෙන වෙලාවට හැසිරෙන අන්දම හරිම පුදුමයි. ඇය අගේ මේ සුනඛ සුරතලුන් පාලනය කරන හැටි බලන්න ලස්සනයි. ඉස්සෙල්ලාම එතුමිය උන් ඇය ඉදිරියේ කවාකාරව වාඩි කරවා ගන්නවා. ඉන් පස්සේ වැඩිමල්ම බල්ලාට ඉස්සෙල්ලාම කන්න දෙනවා. ඒ බල්ලා කාලා ඉවර වෙලා තමන්ගේ වාරය එනතුරු අනෙක් බල්ලන් කීකරුව ඉන්න හැටි බලා ඉන්න පුදුමයි. බල්ලන් පවා මේ අප ඉදිරියෙන් ඉන්නේ මහ රැජන බව දන්නවා වගේ තමන්ගේ වාරය එනකම් නිහඬව බලා ඉන්නවා. ඒ වගේම උන් මහ රැජනගේ අණට හරිම කීකරුයි. එතුමියට ගරු කරනවා. කොච්චර සැර පරුෂ ශක්තිමත් වර්ගයක බල්ලෙක් වුණත් රැජන ඉදිරියේ හරිම ගරුසරුයි.“යනුවෙන් මාලිගයේ සුනඛ වවෛද්‍යවරයා පවසයි.

මාලිගයේ සේවකයන් සිය සුරතලුන්ට අකරුණාවෙන් සලකනවා තබා ඇඟිල්ලක් හෝ උස්සනවාට මහ රැජන අකැමැති බව සියල්ලෝම දනිති. ඇය සිය සුරතලුන්ට කතා කරනුයේ ආදරයෙනි. සලකනුයේ කරුණාවෙනි. නත්තල් උත්සවය වෙනුවෙන් සිය සුරතලුන්ට වෙනමම තෑගි දීමට ද එතුමිය හුරුවී සිටී. ඒ උන් ප්‍රිය කරන බිස්කට් වර්ග, කේක් සහ සෙල්ලම් බඩුය.

‘ බල්ලන් සුරතල් කරද්දී ඇය වෙනම තැනැත්තියක්. වසර ගණනාවටම එතුමිය මා ගෙන් වූයේ අවස්ථා දෙකකදී පමණයි. ඒ උන්ගේ හැසිරීමේ වරදක් දැන ගත් අවස්ථාවලයි. උන් දරුණු ලෙස පොරකා ගනිද්දී හෝ නරකට හැසිරෙද්දී එතුමිය මා කැඳවනවා. වරක් බ්‍රියට්‍රිස් කුමරිය ඇගේ ටෙරියර් වර්ගයේ මැක්ස් සමඟ මාලිගයට පැමිණියා. එවිට මේ බල්ලන් ඌට කඩා පැන්නා. තවත් වරක් කාර්ය මණ්ඩලයේ කෙනකු සපා කෑ අවස්ථාවකත් උන්ගේ හැසිරීම් පාලනය කිරීමට මා ගෙන්වූවා. ඒ අවස්ථාවේ දී භාවිතා කිරීමට විශේෂ නළාවක් මා එතුමියට ලබා දුන්නා’ යැයි ද වෛද්‍යවරයා පවසා තිබිණි.

රැජනගේ ජීවිත කාලයටම සිටින අවසන් සුනඛ සුරතලුන් වන්නේ මේ සුනඛයන් සිවු දෙනාය. රාජකීයයන් සඳහා සුනඛයන් අභිජනනය කරන්නා පසුගිය වසරේ දී තවත් සුරතලුන් ඇති කිරීමට විමසද්දී මහ රැජන පවසා ඇත්තේ තමාට තවත් සුරතලුන් අවශ්‍ය නොවන බවය.

“බකිංහැම් මාලිගය වෙනුවෙන් තවත් සුනඛ සුරතලුන් අනවශ්‍යයි. මගෙන් පසු උන් තනි වෙනවා බලන්න මට බෑ“ යනුවෙන් එතුමිය පවසා ඇත. කෙසේ වෙතත් මේ තීරණයත් සමඟ සතුටට පත් පිරිසක් මාලිගයේ වෙති. ඒ එහි සේවකයන්ය. ඔවුන්ට නම් මේ රාජකීය සුනඛයන් මහත්ම හිසරදයකි.

“වරක් උන් නිසා මගේ කොන්ද නොකැඩී බේරුණේ අනූ නවයෙන්“ යනුවෙන් එහි සේවකයෙක් පවසා ඇත්තේ මහ රැජනගේ තීරණයත් සමඟ සැනසුම් සුසුම් හෙළමිනි.

රාජකීය සුනඛයන් මිය ගිය විට උන් මිහිදන් කෙරෙන්නේ ද රාජකීය වතුයායවලය. රාජකීය සුනඛයන් මිය ගිය විට රාජකීය මාලිගයක් පිහිටි නෝර්ෆෝක් හි සැන්ඩ්‍රිම්හැම් වතුයායේ උන් මිහිදන් කිරීම මුලින්ම ආරම්භ කළේ 1887 දී වික්ටෝරියා මහ රැජනය. එහෙත් පසුව බැල්මොරල් වතුයායේ ද උන් මිහිදන් කෙරිණි.

xxxx