තුර්කි-සිරියා දේශසීමාව වසා දමන්නැයි රුසියාව කියයි

තුර්කිය හා සිරියාව අතර දේශසීමාව වහාම ක‍්‍රියාත්මක වන පරිදි වසා දැමිය යුතු බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඔහු පවසා ඇත්තේ මෙම දේශසීමා කලාපය හරහා සටන්කාමී කණ්ඩායම්වලට අවි සැපයෙන බවයි.

ඇතැම් අවි මානුෂීය ආධාර රැගෙන යන ට‍්‍රක් රථ තුළද ප‍්‍රවාහනය කෙරෙන බව ලැව්රොව් පවසා තිබේ.

මේ අතර ඔහු අවධාරණය කර ඇත්තේ ISIS හා අල් නුස්රා ත‍්‍රස්තවාදීන් මුළුමනින්ම පරදවනු ලැබීම දිගු කලක් පීඩා විඳිමින් සිටින සිරියානු ජනතාවගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් වන බවයි.

සිරියාව තුළ ක‍්‍රියාත්මක සටන්කාමී කණ්ඩායම්වල ප‍්‍රමුඛ පෙළේ අනුග‍්‍රාහකයෙකු වන තුර්කිය සිය රට තුළ ත‍්‍රස්තවාදීන් පුහුණු කරන බවත් ඔවුන් ආරක්‍ෂිතව සිරියාව තුළට ප‍්‍රවාහනය කරන බවටත් වාර්තා පළවී තිබේ.

තුර්කිය හා ISIS සංවිධානය අතර සිදුවන ඛනිජ තෙල් ජාවාරම පිළිබඳවද චෝදනා එල්ලවී ඇති අතර ISIS පාලන ප‍්‍රදේශවල සිට තුර්කිය දෙසට බවුසර ගමන් කරනු දැක්වෙන ඡයාරූපද රුසියාව විසින් ප‍්‍රසිද්ධියට පත්කරන ලදී.

සිරියානු සටන් විරාමය ආරම්භවූ විගස කුර්දිවරුන් බලය හොබවන ටාල් අබ්යාද් නගරයට එල්ලවූ ISIS ප‍්‍රහාරය සඳහා තුර්කියෙන් සටන්කාමීන් පැමිණි බවට පළවන වාර්තා පිළිබඳ අවධානය දක්වමින් සිටින බව රුසියානු සටන් විරාම නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසා ඇත.

 

fd

cnews