නිකන් ට්‍රිප් එකක් නොවිය යුතු උතුම් වන්දනා ගමන

වන්දනා ගමන් සහ විනෝද ගමන් ඕනෑම ජන සමාජයක දක්නට ලැබෙන්නකි. නමුත් මූලික සංකල්පයේ සිට ක්‍රියාත්මක භාවය දක්වා විමසා බලන විට මේ එකකට එකක් ඉඳුරාම වෙනස්ය.

අද සමාජයේ බොහෝ දෙනකු මේ වන්දනා සහ විනෝද ගමන් ‍පොදුවේ හඳුන්වන නමක් තිබේ. ඒ ‘ට්‍රිප්’ එක යනුවෙනි. වසරකට වරක් දෙකක් වශයෙන් වසරක් පාසාම ට්‍රිප් යන අයත් සිටිති.
“අපි ට්‍රිප් එකක් ගියානේ” යැයි ඔබේ හිතවතකු කීවොත් ඔබ නොවැරදීම අසන පැනය කොහෙටද ගියේ? යන්නයි. “අපි සිරිපාදේ ට්‍රිප් එකක් ගියා, අනුරාධපුරයේ ට්‍රිප් එකක් ගියා. අටමස්ථානෙ ට්‍රිප් එකක් ගියා” ආදී වශයෙන් එවිට ඔවුන් පිළිතුරු දෙනු ඇත. ඒ අනුව දැන් වන්දනා ගමන් පවා ඒවායේ ආධ්‍යාත්මික සමාජමය හා සංස්කෘතික හරයන් අකාමකා දමන ට්‍රිප් බවට පත්ව තිබේ.
නමුත් වන්දනා ගමන් යනු නිකම්ම නිකම් ට්‍රිප් නොවේ. මේ දෙක අතර පවතින වෙනස වර්තමානයේ බොහෝ දෙනෙක් නොදනිති. නොහඳුනති.
ලොව වන්දනා ගමන්   මොනතරම් පැරණි දැයි කිවහොත් එය මිනිස් ශිෂ්ටාචාරයේ ඇරඹුම තෙක් අතීතයට දිව යන්නකි. ශාසන ඉතිහාසය අනුව බලන විට බුදු රජාණන් වහන්සේගේ කාලයේත් මිනිසුන් වන්දනා ගමන්වල යෙදී තිබේ. ඒ බව ධර්ම සාහිත්‍යයෙහි සඳහන්ය.
සැවැත්නුවර ජේතවනාරාමයට ඉතා දුර බැහැර සිට බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට එන මිනිසුන් බුදුරදුන් එහි නොසිටින විට බොහෝ දුකින් පසුතැවිල්ලෙන් යුතුව ආපසු යන්නේ යැයි අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට දිනක් පැමිණිලි කොට තිබේ. ඒ අනුව බුදුරදුන් නොමැති විටෙක ජනතාවට දැක බලා ගෙන සිත් පහදවා ගන්නට යම් පූජනීය වස්තුවක් අනුදැන වදාරන්නැයි අනේපිඬු සිටුවරයා ඉල්ලීමක් කොට තිබේ.
ජය ශ්‍රී මහා බෝධියේ ඵලයක් රැගෙන එය ජේතවනාරාමයේ රෝපණය කොට තමන් වෙනුවට වඳින පුදන ලෙස මෙහිදී බුදුරජාණන් වහන්සේ උපදෙස් ලබා දුන්හ. ආනන්ද හිමියන් විසින් ගෙනවුත් රෝපණය කරන ලද එම බෝධිය ආනන්ද බෝධිය නමින් අදත් ජේතවනාරාමයේ වැඩ සිටියි.
ලංකාව යනු බුදුරදුන් තුන්වරක් වැඩිය රටකි. බුදු සිරිපා පහසින් තුන් වරක් පිවිතුරු බවට පත් මේ පින් බිමෙහි පිහිටා තිබෙන අටමස්ථාන, සොළොස්මස්ථාන යන පූජනීය ස්ථාන ඈත අතීතයේ පටන් අද දක්වාමත් බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර විය. ජීවිතයේ එක්වරක් හෝ දැක බලා ගත යුතු වන්දනාමාන කළ යුතු ස්ථාන ලෙස මේවා සැලකුණි. වට වන්දනාව නමින් අපේ වන්දනා සංස්කෘතිය තුළ උප සංස්කෘතියක් ගොඩනැගුණේ ඒ නිසාය.
ශ්‍රද්ධාව ඇති කර ගැනීමට තමන්ගේ අධ්‍යාත්මය තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කර ගැනීමට වන්දනාව උපකාරී වන බව පැරැන්නෝ සැලකූහ. එනිසාම වන්දනා ගමන යනු පේවී (පෙහෙවී හෙවත් පිරිසිදු වී) සිදු කළ යුතු ක්‍රියාවක් ලෙස ඔවුහු සැලකූහ. මේ පෙහෙවීම වන්දනා ගමනට මසකට දෙකකට කලින් සිටම සිදු කිරීමට ඔවුන් උත්සුක වූ අතර පේවීම ක්‍රම දෙකකින් සිදු වූ බව පෙනේ. එනම් ආධ්‍යාත්මික වශයෙන් පේවීම සහ ලෞකික වශයෙන් පේවීමෙනි. ආධ්‍යාත්මික පේවීමේදී ශීලා දී ගුණධර්ම වර්ධනය කර ගැනීම ඇතුළු සදාචාර සංවිධාන කටයුතුවලට මුල්තැනක් ලැබිණි. ලෞකික වශයෙන් පේවීමේදී ආහාර රටා සරල කරගැනීමේ සිට වන්දනා ගමනට අවශ්‍ය කළමනා සැකසීම දක්වා වන පියවර රැසක් සැලකිල්ලට ගැනුණු බවක් පෙනේ. අතීතයේ වන්දනා ගමනක් සංවිධානය කිරීම අද මෙන් ක්ෂණිකව ගනු ලබන තීරණයක ප්‍රතිඵලයක් නොවීය. එය ඉතා මැනවින් අනාගතය දෙස බලා කාල කළමනාකරණය මැනවින් සිදු කොට කරන ලද ක්‍රියාවලියකි. ඒ අනුව අතීත සමාජයේ වන්දනා ගමනක නූතන සමාජයේ “ට්‍රිප්” එකක දක්නට ලැබෙන, කලබලය, කඩිමුඩිය දක්නට නොලැබුණි.
සැබෑ වන්දනා ගමනකදී මානසික සැහැල්ලුව අතිශය වැදගත්ය. ඒ සැහැල්ලුව කොතෙක් ද යත් ගෘහමය බැඳීම්වලින් තාවකාලිකව මිදීමක්ද මෙම වන්දනා ගමන්වලදී සිදුවිය. පැරණි ජනතාව ශ්‍රී පාද වන්දනාවේ යෙදුණේ තමාගේ ගේ දොර ඉඩකඩම් පවා දූ දරුවන්ට උරුම කිරීමෙන් පසුව බව බොහෝ දෙනෙක් දනිති. ඒ ඔවුන් එසේ කළේ ආපසු පැමිණීම පිළිබඳ විශ්වාසයක් නොමැති නිසා යැයි සමහරෙක් කියති. ඒ කාරියේ මතුපිට අරුත එය වුව ද බුදු දහමේ පරමාදර්ශ අතරට එක්වන අතහැරීම හෙවත් නෙක්ඛම්ම සංකල්පය මෙහිදී ප්‍රායෝගික වශයෙන් කදිමට ක්‍රියාත්මක විය. ඒ අනුව අතීත ගැමියන් එවන් වන්දනා ගමන්වලට එක්වූයේ තෘෂ්ණාව  අවම කර ගනිමිනි. සාර්ථක දිවි පවෛතක් සඳහා සැහැල්ලුව අතිශය වැදගත්ය. එම සැහැල්ලුව පිළිබඳ ආධ්‍යාත්මික අත්හදා බැලීමට වන්දනා ගමන කදිම අවස්ථාවකි.
නූතනයේ රිය පදවන්නෙකුට තමන්ගේ ගමන කෙසේ සිදු කළ යුතු ද යන ආකාරය පැහැදිලි කරමින් දෙන උපදෙස් තුනක් වේ.
එනම්, කල් ඇතිව ගමන ආරම්භ කරන්න. සමෛන් රිය පදවන්න. ආරක්ෂාකාරීව ගමනාන්තයට ළඟා වන්න” යනුවෙනි. නමුත් නූතන ට්‍රිප් සංකල්පයේදී කල් ඇතිව සූදානම් වීමක් සිදු නොවන බැවින් ඉහත කී පළමු උපදෙසම ඔවුන්ට අතහැරෙයි. අමතර බරකින් තොරව වන්දනා ගමනක් යාමට කල් ඇතිව සූදානම් වීමේදී අවකාශය ලැබෙන මුත් හදිසියේ යන ට්‍රිප්ස් නිසා ඒ සැහැල්ලුව නොලැබෙයි. මෙකල බොහෝ දෙනා යා යුතු තැන් තීරණය කරන්නේ ට්‍රිප් එක යාමට වාහනයට නැග ගත්තාටත් පසුවය. ඒ නිසා ගමන අතරමග අපහසුතාවයකට පත් වීමක් සිදු වෙයි.
වන්දනාකරුවකු සතු දෙවන ලක්ෂණය නම් අප ඉහත සඳහන් කළ පරිදි ඉතා සෙමින් සංවර ලෙස එම චාරිකාවේ යෙදීමය. එමෙන්ම තමන්ගේ වන්දනා ගමන අනුපිළිවෙළින් සමෛන් සිදු කිරීමය.  ඔවුන් සිදු කරනුයේ නෙක්ඛම්මයක් හෙවත් නික්මීමක් නිසා අනවශ්‍ය හදිසියක් ඔවුනට නැත.
නමුදු භෞතික සම්පත් කෙරෙහි බැඳී කටයුතු කරන්නවුන්ට එසේ අතහැරීම පහසු දෙයක් නොවේ. එනිසා ‘ට්‍රිප්’ එකකදී තෘෂ්ණාව ඉවත් කර ගැනීමට ඔවුහු සූදානම් නොවෙති. කොහේ ගියත් ජංගම දුරකථන මගින් තමන්ගේ මිල මුදල් ගේ දොර ආදිය පිළිබඳ තතු විමසමින්, ව්‍යාපාරික කටයුතු ආදිය මෙහෙයවමින් එවන් ගමන් සිදු කරන බව පෙනේ. එබඳු ගමනක් යන අයකුට කිසිදු මානසික සුවයක් නොදැනේ. වන්දනා ගමනකදී අත්විඳිය හැකි නිරාමිස සුවය පිළිබඳව බොහෝ දෙනකු තුළ නිසි වැටහීමක් නැත. එනිසා මීට පෙර කිසිදා අසන්නට නොලැබෙන සුඛෝපභෝගී වන්දනා ගමන් සම්ප්‍රදායක් පිළිබඳව ද අසන්නට ලැබේ. සුඛෝපභෝගීත්වය යනු ඉඳුරන් සංතර්පණය කර ගැනීමය. නැතහොත් පංචකාම සම්පත් භුක්ති විඳීමකි. ගමනේදී නවාතැන් ගැනීමේදී සේම ආහාර ගැනීමේදීද චාම් සරල ලෙස සිදු විය යුතු වන්දනා ගමනක් සඳහා සුඛෝපභෝගී යන වදන කෙසේ ආදේශ කර ගත හැකි දැයි අපට නම් නොවැටහේ. කරදරයකින් තොර සැනසුම්දායක වන්දනා ගමන සහ සුඛෝපභෝගී චාරිකාව දෙකක් මිස එකක් වන්නේ නැත.
වන්දනාකරුවන් පූජනීය ස්ථානයකින් තවත් පූජනීය ස්ථානයකට අනුපිළිවෙළින් ගමන් කරන්නේ සංසුන් මනසිනි. නිවුණු සිතකිනි. එය සැනසුම් සහගත සිතකි. වන්දනා ගමන අපගේ සංසාර ගමන සංකේතවත් කරන්නකි. සැබෑ වන්දනා ගමනක පවත්නා මෙම ගති ස්වභාවය කෙබඳුද යත් වන්දනා ගමනක් පිටත් වීමේදී යළි ආපසු පැමිණෙන දිනයක් සහ වේලාවක් නිශ්චය නොකිරීමද විශේෂ සංසිද්ධියකි. වන්දනා ගමන්වලදී සැර, උෂ්ණ ආහාර අනුභවය අතරමගදී විවිධ රෝගාබාධයන්ට හේතුවකි. අපේ පැරැන්නන්ට සුවසේ වන්දනා ගමන කෙළවර කිරීමට ඉහත සඳහන් සියලු කරුණු මුල් විය. නමුදු ඉතා සංවේගයෙන් කිව යුත්තේ වත්මන් සමාජයේ ‘ට්‍රිප්’ දුමින් සහ මත්වතුරින් ද පිරී පවතින බවය.
පැරණි වන්දනාකරුවා වන්දනා ගමන් ගියේ සද්ධාශීලාධී ගුණධර්ම දියුණු කර ගැනීමේ අව්‍යාජ ච්ෙතනා පෙරදැරිවය. නමුත් මෙකල ට්‍රිප් යන බොහෝ දෙනා වන්දනා කරන්නන් වා‍ලේ වන්දනා කරන මුත් කුසල් සිතිවිලි වැඩි දියුණු කර ගන්නා බවක් නොපෙනේ. වන්දනා ගමනකදී දැහැමි විනෝදයක් ලැබිමට බාධාවක් නැත. නමුදු, හුදු විනෝදයටම බරව කටයුතු කරන්නවුන්ට තමන් සැබෑ වන්දනා ගමනක් ගිය බව සිහිකර ගනිමින් සිතට එකඟව සිතා සතුටු විය නොහැක. ඇත්තේ තමන් සිදු කළ නොමනාකම් ගැන පසුතැවිල්ලකි. වන්දනාවේ සැබෑ අරුත නොදැන ට්‍රිප් යන අය එබඳු පූජනීය ස්ථානවලටද ගොස් උත්සාහ කරන්නේ විනෝද වීමටය. නමුත් සැබෑ වන්දනාකරුවා තුළ මුළු වන්දනා ගමන තුළම සතුට සැනසීම රැඳී පවතියි. ජීවිතයේ සැඳෑ සමයේ වුව යළි යළිත් මෙනෙහි කර සතුටු වීමට හැකි කුසල් සිත් දියුණු වීමට ඔවුන් කළ වන්දනා ගමන මනා පිටිවහලක් වෙයි.

 

b

 ඉන්දු පෙරේරා