කප්පම්කාර වැඩසටහනක් පළමු වරට මැක් ආරක්‍ෂණය විනිවිද යයි

ඇපල් පාරිභෝගිකයින් පලමු වරට කප්පම්කාර වැඩසටහනකට ගොදුරුවී ඇතැයි වාර්තා වේ.  ප‍්‍රසිද්ධ බිට් ටොරන්ට් යෙදවුමක් වන ට‍්‍රාන්ස්මිෂන් මෘදුකාංගය තුළ සගවා තිබූ නම් KeRanger කප්පම්කාර වැඩසටහන මැක් ආරක්‍ෂණ පද්ධතිය විනිවිද යාමට සමත්වීම සමග මෙය සිදුව තිබේ.

යමෙක් අපරීක්‍ෂාකාරීව මෘදුකාංගයක් බාගත කරන විට එහි සැගවී සිටින මෙවැනි ප‍්‍රහාරක වැඩසටහන්ද පරිඝනකයට ඇතුළු වන අතර පරිඝනකයේ ගොණු කේතනය කර ඒවා යළි විවෘත කිරීමට නම් කප්පමක් ගෙවන ලෙස එම වැඩසටහන් මගින් දැනුම් දෙනු ලබයි.

එම කප්පම ඩිජිටල් මුදල් වලින් ගෙවිය යුතු අතර එමගින් කප්පම්කරුවන් ලූහුබැඳීම වඩාත් දුෂ්කර වන බව පැවසේ.

මෑතකදී හොලිවුඞ්හි ඇමරිකානු රෝහලක පරිඝනක පද්ධතියකට මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවූ අතර යළි එය නිදහස් කරගැනීමට ඩොලර් 17000ක කප්පමක් ගෙවීමට රෝහල් බලධාරීන්ට සිදුවූ බව වාර්තා විය.

ට‍්‍රාන්ස්මිෂන් 2.90 මෘදුකාංගය බාගත කළ ඇපල් පාරිභෝගිකයින් KeRanger හි ගොදුරු වී ඇති අතර ඉන් නිදහස් වීම සඳහා බිට්කොයින් ඒකකයකට සමාන ඩොලර් 400ක මුදලක් ගෙවිය යුතු බව පැවසේ.

ඇපල් සමාගම පවසා ඇත්තේ වලංගු මැක් යෙදවුම් වර්ධන සහතිකයක් මගින් KeRanger වැඩසටහන වලංගු කරගෙන ඇති හෙයින් එය ඇපල් ආරක්‍ෂණ පද්ධතිය තුළින් ඇතුළුවීමට සමත්ව ඇති බවයි.

අදාළ කප්පම නොගෙවන්නේ නම් පාරිභෝගික දත්ත අහිමිවිය හැකි බවද ඔවුන් අනතුරු හගවා ඇතැයි වාර්තා වේ.

vf

cnews