ද්‍රවිඩ ජනයාගේ රන් කිලෝ 40කට වෙච්ච දෙයක් නෑ

එල්.ටී.ටී.ඊ. බැංකුවල තිබියදී ශ්‍රී ලංකා යුද හමුදාව සොයාගනු ලැබු දෙමළ ජනතාවගේ රන් භාණ්ඩ කිලෝග්‍රෑම් 150කින් කිලෝ 40කට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
යුද්ධය අවස්ථාවේ සිටි හමුදාපතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත්, උතුරු පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තුවේ සිටින නිසා මේ රන් භාණ්ඩවලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සභාව තුළින්ම සොයා ගැනීමට හැකිවන බවද අගමැතිවරයා කීවේය.
අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
දෙමළ ජනතාව තැන්පත් කර තිබියදී හා උකස් කර තිබියදී සොයාගත් රන් භාණ්ඩ අතර කරමාල, වළලු, කරාබු, පෙන්ඩන්ට්, බේ්‍රස්ලට්, මුදු හා තැලි යනාදි ස්වර්ණභරණ තිබූ බවද අගමැතිවරයා සඳහන් කළේය. මෙයින් රුපියල් කෝටි 13 ක් වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 30 කට අධික ප්‍රමාණයක් අවස්ථා 28කදී මැණික් හා ස්වර්ණභාරණ අධිකාරියට ලබාදී වටිනාකම් තක්සේරු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඉතිරි රන් භාණ්ඩ අතරින් මිල ගණනය නොකළ රන් භාණ්ඩ බහාලුම් 2319 ක් අවස්ථා දෙකකදී 2014 වසරේදී ජනතාව අතර බෙදා දුන් බව යුද හමුදාව ප්‍රකාශ කරන බවද අගමැතිවරයා කීවේය. රන් භාණ්ඩ ජනතාව අතර බෙදාදීම සම්බන්ධයෙන් හමුදාව කරන ඇති ප්‍රකාශයන්හී පරස්පරතාවයන් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
එසේම අයිතිකරුවන් හඳුනා නොගත් රන් භාණ්ඩ කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් හමුදාව සතුව පවතින බවත් ඉදිරියේදී ඒවා මහ බැංකුව වෙත භාර දෙන බවත් ඔවුන් ප්‍රකාශ කළ බවද අගමැතිවරයා කීවේය. “අනුන්ගේ රත්තරන් – අපි අරන් මක් කරන් “ කියන ප්‍රසිද්ධ කියමන අනුව ඉක්මණින් මේ රන් භාණ්ඩ ජනතාව අතර බෙදා දෙන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේ යුද හමුදාව රත්තරන් කිලෝ 150ක් සොයාගෙන තිබියදී ඉන් 30ක් මහ බැංකුවට බාරදී තවත් 80ක් ඔවුන් සතුව තිබේ නම් ඉතිරි කිලෝ 40ට කුමක්ද සිදුවූයේද යන්නයි.
අගමැතිවරයා එහිද කීවේ සංඛ්‍යා‍ලේඛනවලද අපහැදිලිකම් පවතින නිසා මේ ගැන නැවත සොයා බලා ඉක්මණින්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි. රන් භාණ්ඩ තැන්පත් කළ කුවින්තාසි පවතින්නේ නම් ඒවා ඉදිරිපත් කරනා ලෙසද අගමැතිවරයා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළේය.

ccc

(ලසන්ත විරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)