නිරෝගී සමාජයක් ඇති කිරීමට එක්සත්ව කැපවෙමු

රෝගී සමාජයක් නිරෝගී කිරීම සඳහා අධිෂ්ඨානශීලීව ක්‍රියාකිරීම අසීරු නොවන බවත් ඒ සඳහා අවබෝධයෙන් එක්සත්ව හා එකමුතුව ක්‍රියාකිරීමට ඇප කැප විය යුතු යැයි ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

තිහේ දශක‍ෙය්දී රජරට ඇතුළු වියළි කලාපීය ජන ජීවිතයම වෙලාගත් මැලේරියා වසංගතය මේ මිහිමතින් උපුටා දැමූ අපි අද අලුත්ම මාරයකු අබියසට ළංවී සිටිමු. ඒ වකුගඩු මාරයායි.

විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු කෙරෙහි අපේ ගොවිබිම්වල ජනතාව අද වකුගුඩු මාරයා අබියස අසරණව දුක්බරව බලා සිටිති. රජරට කේන්ද්‍ර කරගත් මේ වකුගඩු රෝගය අනුරාධපුර, පොළොන්නරුව සීමාවලින් ද ඔබ්බට යමින් දැන් පුළුල් වසංගතයක් සේ ව්‍යාප්ත වෙමින් තිබෙන බව නොරහසකි.

සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මේ බරපතළ සමාජ ඛේදවාචකයෙන් ජනතාව මුදාගැනීම මගේ පරම අභිලාෂය විය. මා ඒ වෙනුවෙන් දරන ලද ප්‍රයත්නයන් ද බොහෝ විය.

ජනාධිපතිවරයා ලෙසින් පත් වූ විගස, මාගේ එක් ප්‍රමුඛතාවයක් වූයේ ද අහිංසක ජනතාව, මෙකී ව්‍යසනයක් මුදාගනු පිණිස, හැකි සෑම උත්සාහයක්ම ගැනීමය. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය ස්ථාපිත කරමින්, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණ අතර රෝගය බහුල ලෙස ව්‍යාප්තව ඇති දිස්ත්‍රික්කයන්හි මූලික ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීම ද, රුධිර කාන්දුකරණ ඒකක ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම ද සුරක්ෂිත පානීය ජල ව්‍යාපෘති ස්ථාපිත කිරීම මෙන්ම කෘෂි සහ කෘමිනාශක භාවිතය අවම කිරීම සඳහා ජනතාව පෙළගැස්වීම ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

එසේම අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කයන් තුළ වෙසෙන රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා ගත හැකි අයුරින් පොළොන්නරුව මහ රෝහල තුළ වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන්හි ජල ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

lo