කාන්තාවකට ලැබුණු නිවුන් දරුවන් එකම තාත්තා කෙනෙක්ගේ නෙමෙයි ලූ‍

වියට්නාමයේ ගැහැණු නිවුන් දරුවන් දෙදෙනෙකුට අයත් ඞී.එන්.ඒ. හෙවත් ජාන පරීක්ෂාවක් සිදු කරද්දී එම දරුවන් යුගල එකම පිය පරම්පරාවකට අයත් නොවන බව සොයා ගෙන තිබේ.

මෙවැනි දුර්ලභ සිදුවීමක් වියට්නාමයෙන් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය බව එරට හනෝයි නගරයේ පිහිටි ජාන පරීක්ෂණ සමාගමේ සභාපති, මහාචාර්ය ලී ඩින් ලූ ඕන්ග් ප‍‍්‍රකාශ කරයි.නමුත් 2011 වසරේදී ලෝකයේ වෙනත් රටවලින් මෙවැනි සිදුවීම් 07ක් පමණ වාර්තා වුණු බව ඔහු සඳහන් කර තිබේ.

මහාචාර්ය ලූ ඕන්ග් පවසන පරිදි වියට්නාමයේ උතුරුදිග පළාතේ ජීවත් වන 34 හැවිරිදි පියෙකු විසින් තම නිවුන් දරුවන් දෙදෙනා තුළ පවතින බාහිර පෙනුමේ අසමානකම් හේතුවෙන් මෙම ජාන පරීක්ෂාව සඳහා යොමු වී ඇත.

මෙම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිස් කෙස් ඉතා ඝන කැරලි සහිත වන අතර අනෙකාගේ හිසකේ සිනිඳු දිගැති ස්වභාවයකින් වැඞී තිබේ.මේ වන විට දෙහැවිරිදි වියේ පසු වන මෙම නිවුන් දරුවන් දෙදෙනාගේ හිසකේ වෙනස පිළිබඳව පියාගේ සැකයට බඳුන් වී ඇත.

ඔවුන් උපන් අවස්ථාවේදී රෝහලේදී සිදුවුණු කිසියම් මඟහැරීමකින් මාරුවන්නට ඇති බව පියා විසින් සැක කර තිබේ.නමුත් නිවුන් දරුවන් දෙදෙනාගේ සහ ඔවුන්ගේ මවගේ ඞී.එන්.ඒ. සමාන බව පරීක්ෂණයේදී තහවුරු වීමෙන් එම සැකය දුරු විය.

නිවුන් දරුවන් යුගල පිය පරම්පරා දෙකකට අයත් බව ඞී.එන්.ඒ. පරීක්ෂණවලදී හොඳින් තහවුරු වී තිබේ.

එමෙන්ම මෙම පරීක්ෂාව සඳහා යොමු වුණු නීත්‍යානුකූල පියාගේ ජාන සමඟද නිවුන් දරුවන් දෙදෙනාගේ ජාන සමාන නොවන බව මහාචාර්්‍යවරයා පවසයි.එයින් එක් දරුවෙකුගේ ජාන පරීක්ෂාවේදී නීත්‍යානුකූල පියාගේ ජානවලට වඩා වෙනස් ජාන මූලිකාංග නවයක් තිබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තම සේවාදායකයාගේ රහස්‍ය භාවය සුරැුකීමට තමන් බැඳී සිටින බැවින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව මහාචාර්්‍ය ලූ ඕන්ග් පවසයි.

කාන්තාවක් සිය උපරිම සරු කාලයේදී පිරිමින් දෙදෙනෙකු සමඟ දින දෙක, තුනක් ලිංගිකව එකතු වීමෙන් මෙසේ පිය පාර්ශ්වයන් දෙකකට අයත් නිවුන් දරුවන් ලැබීමේ දුර්ලභ අවස්ථාව උදා වීමට ඉඩ තිබෙන බව මහාචාර්යවරයා වැඩිදුරටත් ප‍‍්‍රකාශ කර සිටියි.