මැලියම් කම්හලක් මුහුදේ

ලෝකයේ ඉතා ශක්තිමත් කාබනික මැලියම් වර්ගය නිපදවන්නේ බෙලිඇණය නමින් හැඳින්වෙන මුහුදු බෙල්ලන් බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ලෝකයේ මැලියම් ලෙස භාවිතා කළ සියළුම ශාක ශ්‍රාවයන්ට වඩා බෙලිඇණයන් විසින් නිකුත් කරන ශ්‍රාවය ඇළෙන සුළු ස්වභාවය වැඩි බව ඔවුහු පෙන්වාදෙති.

බොහෝ ශාක මැලියම් වර්ග ජලයට දැමූ විට දියවෙන අතර ඇලවූවාට පසු යළි ගැලවීමේ හෙවත් ප්‍රත්‍යාවර්තී බවකින් ද යුක්තය. එමෙන් ම ජලය තුළ දී කෘත්‍රීම මැලිම් වර්ග වලට ද ක්‍රියාත්මක වීමට හැකියාවක් නැත.

විද්‍යාඥයන් පවසන්නේ ජලයේ දී ඇලීමේ හැකියාව ඇති ස්වභාවික ද්‍රව්‍ය ද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් බවයි. රුධිරය ඊට නිදසුනකි. ජලයේ දී කැටි ගැසෙන රුධිරයට අමතරව ඒ හැකියාව ඇත්තේ බෙලිඇණයන්ගේ ශ්‍රාවයේය.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වූ ඩියුක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගැරී ඩිකින්සන් මහතා මෙසේ පවසයි.

‘‘ජලයේ ලේ කැටිගැසීමේ හැකියාව පැවතියත් පිටත පෘෂ්ඨයක දී ද්‍රව්‍ය අලවා තබන්නට නොහැකි බව අපට පෙනී යනවා. නමුත් ඉතා කෙටි කාලයක දී බෙලිඇණයන්ගේ ශ්‍රාවයන් සවිවර තත්වයට පත්වනවා. ඒවා ගලවන්නට සිමෙන්ති ගලවන්නට තරම් බලයක් යෙදිය යුතුයි. “

බෙලිඇණයන්ගේ ශ්‍රාවයේ ඇති සුවිශේෂී හැකියාව පිළිබඳ කාලයක සිට දැනගෙන සිටිය ද එහි යාන්ත්‍රණය ගැන පැහැදිලි කරන්නට කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැත. එහෙත් නිව්කාසල් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර පර්යේෂණ අංශයේ මහාචාර්ය නික් ඇල්ඩ්‍රෙඩ් ඒ ගැන පැවැත්වූ පර්යේෂණයෙන් පසු අපූරු පැහැදිලි කිරීමක් කර ඇත.

ඔහු පවසන්නේ බෙලිඇණයාගේ කීටයා විසින් පිටකරන තෛලමය ශ්‍රාවයක් මගින් පෘෂ්ඨයක පවතින ජලය ඉවත්වන බවයි. ඒ සමග ම පොස්පොප්‍රෝටීන ශ්‍රාවයන් මගින් ඇලීම සිදු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

‘‘අපි කලින් සිතා සිටියේ රසායන ද්‍රව්‍ය දෙකක් එකතුවෙලා මේ සවිවීම සිදුවනවා කියා. ඝන වීමට පෙර මේ ද්‍රව්‍යයන් දෙක ප්‍රතික්‍රියා කරනවා යැයි සිතා සිටියා. එහෙත් එය එසේ නොවන බව පැහැදිලියි. මුලින් සිදුවන්නේ තෛලමය ශ්‍රාමයක් මගින් ජලය ඉවත්කිරීම පුසුව තමයි සක්‍රීය ඇලීම සිදුවන්නේ.“

 

 

f