තායිලන්ත උප අගමැති මහනුවර සහ අනුරාධපුරයේ..

නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටි තායිලන්ත උප අග්‍රාමාත්‍ය ආචාර්ය සොම්කිද් ජටුස්‍රිපිටැක් සිය සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යාමට පෙර පසුගියදා (11) මහනුවර සහ අනුරාධපුරයේ සංචාරයකට එක් විය.

මහනුවරට පැමිණි ධූත පිරිස පිළිගනු ලැබූයේ පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසිනි.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේප්‍රමුඛ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත පිරිසක් සහ තායිලන්ත විශේෂ ධූත පිරිස පළමුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශීර්වාද ලබා ගත්හ.

එහිදී, දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මෙම ධූත පිරිස පිළිගනු ලැබුවේය.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදාගත් එම පිරිස ඉන් පසු මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජනීය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියෝ බැහැ දැක ආශීර්වාද ලබා ගත්හ. තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ හා ශක්තිමත් කිරීමේ වැදගත්කම, එහි දී මහ නා හිමියෝ පෙන්වා දුන්හ.

ඉන් අනතුරුව, තායි – ශ්‍රී ලංකා ධූත පිරිස ගුවන් මගින් පස්වරුව වන විට අනුරාධපුරයට ලඟා වූහ.

අනුරාධපුරයට පැමිණි ධූත පිරිස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා විසින් පිළිගැනීමෙන් පසු ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වන්දනා කළහ. අනතුරුව එම ධූත පිරිස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස මහා නා හිමියෝ බැහැ දැක ආශීර්වාද ලබා ගත්හ.

gsgg sa

– භාරත තෙන්නකෝන්