මෙතරම් ආබාධයක් තිබිලත් මාව තෝරා ගත්තේ ඇයි? – ලසිත් මාලිංග

ශ‍්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වන ප‍්‍රථම තරගය ලෙස අනිද්දා (17දා* කොල්කටාහි ඊඞ්න්ගාඞ්න් ක‍්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නකු මෙන්ම හිටපු ශ‍්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද ඊයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්විය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ කොල්කටා නුවර දක්වා ගුවන් ගමන අතරතුරදී අදහස් දැක්වූ මාලිංග කියා සිටියේ නව ශ‍්‍රී ලංකා සංචිතයේ 15 වැනියා ලෙස වුවද තමන් නම්කර සිටියද දින දෙකක පුහුණුව අවසන් වන තෙක් තරගයකට සහභාගි වනවාද නැද්ද යන්න ස්ථිර වශයෙන්ම කිව නොහැකි බවයි.

තවද කෙසේ හෝ 17දා මෙම ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගයට සහභාගි වීම තමාගේ පළමු ඉලක්කය බව පැවැසූ මාලිංග තවදුරටත් පැවැසුවේ පළමු තරගයේදී තමන්ගේ වම් දණහිසේ ආබාධය යළි උත්සන්න වුවහොත් තමන් වෙනුවට ආදේශකයකු යොදා ගන්නැයි ඉල්ලීම් කරමින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වී නැවත ලංකාවට පැමිණෙන බවයි.

මෙතරම් ආබාධයකට ලක්වී සිටියදීත් තමන් යළිත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගත්තේ ඇයිද? යන්න මාලිංගගේ අදහසයි.

තම පාදයේ ආබාධය සම්පූර්ණයෙන්ම සුවවී නොමැති බැවින් කණ්ඩායමට තෝරා නොගන්නා ලෙස නව තේරීම් කම්ටුවෙන් පවා ඉල්ලීමක් කළද එම ඉල්ලීමද නොසලකා හරිමින් තමන් තෝරා ගෙන ඇති බව කී මාලිංග, පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගය ක‍්‍රීඩා කිරීමේදී ආබාධිත තත්ත්වය යළි මතුවීමෙන් පසුව වුවද තමන් වෙනුවට වෙනත් පන්දු යවන්නකු ආදේශ කරන ලෙස එවකට සිටි තේරීම් කමිටුවෙන්ද ඉල්ලීමක් කළ බවද පැවැසීය.

තවද වත්මන් කණ්ඩායම තෝරා ගැනීම දෙස බැලීමේදී පසුගිය තරග පරාජය වන විට සහභාගි වූ සියලූ‍ම දෙනා වාගේ යළි ඇතුළත් කිරීමත් එම තරගවලට ක‍්‍රීඩා නොකළ ක‍්‍රීඩකයන් ඉවත්කර තිබීමත් අනුමත කළ නොහැකි බවද සඳහන් කළේය.

ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ රාජකාරිය නිසි ලෙස කරන්නේ නම් ඔවුන් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන ආකාරය දැක බලා හරි අධ්‍යයනයක යෙදිය යුතු බවත් එසේ නොකර පැය 24ක් ඇතුළත ක‍්‍රීඩකයන් ගැන තීරණ ගන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නාර්ථයක් යැයි පැවැසූ ශ‍්‍රී ලංකා සුපිරි වේග පන්දුයවන්නා, මෙම තරගාවලිය සම්පූර්ණ කිරීමට තමන්ට නොහැකි වුවහොත් ඉදිරි අයි,පී.එල්, තරඟාවලියේ අවසන් අදියර තෙක් ඊට සහභාගි වීමට නොහැකි වනු ඇති බවටද අනුමාන කරමින් කියා සිටියේය.

එසේම තම පාදයේ දණහිසේ ඇට මිදුලූ‍ ආශ‍්‍රිත ඇති ආබාධයෙන් දිගින් දිගටම ක‍්‍රීඩාවට බාධා පැමිණුනහොත් මෙම විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බවද කීය. තවද තමන් කුමන යහපත් දේ කළත් එය බොහෝ දෙනෙකු සෑම විටම වැරැුදි ලෙස අර්ථකථනය කිරීමට පෙලඹී සිටීම අවාසනාවන්ත සිදුවීමක් ලෙසද මාලිංග පෙන්වා දුන්නේය.

r