රුසියාව හා චීනය අතර සබඳතාවයට බාහිර බලපෑම් අදාළ නෑ

රුසියාව සහ චීනය අතර පවතින සබඳතාවන්ට ජාත්‍යන්තර දේශපාලනයේ වෙනස්කම් හේතුවෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බව චීන අග‍්‍රමාත්‍ය ලී කෙකියෑං පවසා ඇත.

පුවත්පත් සාකච්ඡුාවක් අමතමින් ඔහු පවසා ඇත්තේ චීනය රුසියාව සමග සබඳතා ගොඩනගා ගනු ලබන්නේ අන්‍යොන්‍ය ගෞරවය හා ප‍්‍රතිලාභ යන මූලධර්ම මත වන බවයි.

දෙරටේ ජනාධිපතිවරුන් වන ෂී ජින්පින් සහ ව්ලැදිමීර් පුටින් අතර නිරන්තරයෙන් සිදුවන හමුවීම් හේතුවෙන් රුසියාව හා චීනය අතර දේශපාලන හා ආර්ථික සහයෝගිතාවය වඩාත් ශක්තිමත් කෙරෙන බවද කෙකියෑං පවසා තිබේ.

චීනය හා රුසියාව අතර සබඳතාවන්ට තෙවන පාර්ශ්වයකින් කිසිදු බලපෑමක් එල්ල නොවන බව පවසා ඇති චීන අගමැතිවරයා දෙරට අතර සබඳතාවන් කිසිදු පාර්ශ්වයක් ඉලක්ක නොකරන බවද සඳහන් කර ඇත.

මොස්කව් හා බෙයිජිං අතර සහයෝගිතාවය පසුගිය කාලය තුළ වඩාත් තීව‍්‍රවී ඇති අතර ඩොලර් බිලියන සියගණනක් වටිනා ඒකාබද්ධ ව්‍යාපෘති මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

පසුගිය දෙසැම්බර් මසදී ඩොලර් බිලියන 5ක ගිවිසුම් අත්සන් තැබුණු අතර නව බලශක්ති මූලාශ‍්‍රයන් හා නව වෙළඳපොළ හා බැඳුණු ව්‍යාපෘතිද දෙරට අතර පවතින බව රුසියානු අගමැති ද්මිත‍්‍රි මෙද්වෙදෙව් පවසා තිබේ.

රුසියාවේ ප‍්‍රධානතම වාණිජ සහකරුවා චීනය වන අතර මේ වන විට ඩොලර් බිලියන 88.4ක් වන දෙරට අතර වෙළඳාම 2020 වන විට බිලියන 200 දක්වා වර්ධනය කිරීමට ඉලක්ක කර ඇතැයි පැවසේ.

l