96 සමරමු..

ලෝක ක‍්‍රිකට් කිරුළ දිනා වසර 20ක් සැපිරීම නිමිත්තෙන් “96 සමරමු……” යන මැයෙන් වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩා ඒකකය සැලසුම් කරයි. එම වැඩසටහන් මාලාව ආරම්භ කිරීමේ මාධ්‍ය හමුව අද පෙ. ව. 11. 30ට වරාය සහ නාවික අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. 96 ජයග‍්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, එම කණ්ඩායමේ ක‍්‍රීඩකයින් වන රොෂාන් මහානාම, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද වාස්, උපුල් චන්දන මෙන්ම එවකට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා සහ එවකට සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණු අධ්‍යක්ෂ මැල්කම් පෙරේරා යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට එක් වේ. ලෝක ක‍්‍රිකට් කුසලානය දිනා ගැනීමේදී මුහුණදුන් අභියෝග සහ ලැබූ අත්දැකීම් මාධ්‍යවේදීන් සමග හුවමාරු කර ගැනීම මෙම මාධ්‍ය හමුව පැවැත්වීමේ අරමුණයි. මීට අමතරව වැඩසටහනේ ප‍්‍රධානතම අදියර වූ ”96 සමරමු – ක‍්‍රිකට් පුහුණු කඳවුර” 18වැනිදා සිකුරාදා දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද මහා විද්‍යාලයේදී පැවැත්වේ.

දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද මහා විද්‍යාලය අඩුපහසුකම් සහිත එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ජයග‍්‍රහණ රැසක් වාර්තා කළ පාසලකි. එම විද්‍යාලයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 96 සමරමු – ක‍්‍රිකට් පුහුණු කඳවුරට යාපනය දිස්ත‍්‍රික්කයෙන් තෝරාගත් මූල්‍ය අපහසුතාවයෙන් පීඩාවිඳින ක‍්‍රීඩකයින් 20දෙනෙකුත්, පස්යාල නාඹුලූව බාබුසලාම් මුස්ලිම් මහා විද්‍යාලයේ 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමත් එක්වේ. සියලූ ජාතීන් නියෝජනය වනපරිදි සහ ජාතික සමඟිය සංකේතවත් වනපරිදි පැවැත්වෙන මෙම පුහුණු කඳවුර මෙහෙයවන්නේ 96 ජයග‍්‍රාහී කණ්ඩායමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් වේ. මීට අමතරව යාපනය සහෝදරත්වයේ ක‍්‍රිකට් කණ්ඩායමේ කොළඹ සංචාරය, 96 සමරමු – අලුත් අත්දැකීමක්, 96 සමරමු – අනාගතය පැහැබරයි ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘතියද මෙම සමස්ත වැඩසටහනට අයත් වේ.

1996 වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ මාර්තු 17 වැනිදායි. එම ජයග‍්‍රහණය තරගාවලි ජයග‍්‍රහණයක් පමණක් නොවේ. එය මහා විප්ලවයක ප‍්‍රතිඵලයකි. එම පදනම මත 96 ජයග‍්‍රහණය අර්ථවත් ලෙස සැමරීම සේව් ද ස්පෝර්ට්ස් සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩා ඒකකයේ අපේක්ෂාවයි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නවෝදයක් ඇති කිරීම සහ කොළඹ අඩුපහසුකම් සහිත පාසල්වල ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුවට අතහිත දීමද 96 සමරමු වැඩසටහනේ දීර්ඝ කාලීන අරමුණකි. 96 කණ්ඩායම මෙන්ම ඔවුන්ගේ ජයග‍්‍රහණයට මහඟු මෙහෙයවරක් කළ සෙසු පුද්ගලයින් ඇගයීම සහ ඔවුන්ගේ අදහස් සමාජගත කිරීමද මෙම වැඩසටහනේ අපේක්ෂාවකි. වසර 20 යනතුරු තවත් ලෝක කුසලානයක් ශ‍්‍රී ලංකාවට දිනා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්නද මෙම වැඩසටහනේදී සමාජීය අවධානයට යොමු කෙරේ. සමස්ත වැඩසටහන පිළිබඳ විස්තර ඇතුළත් පත‍්‍රිකාවක්ද මේ සමඟ අමුණා එවමි.
“96 සමරමු…..” ලෝක ක‍්‍රිකට් කිරුළ දිනා වසර 20ක් සැපිරීම නිමිත්තෙන් සේව් ද ස්පෝර්ට්ස් ක‍්‍රීඩා සංවිධානය සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩා ඒකකය ඉදිරිපත් කරන ව්‍යාපෘතියකි.
සේව් ද ස්පොර්ට්ස් ක‍්‍රීඩා සංවිධානය ස්වේච්ඡා පදනම මත ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා ක‍්‍රියාත්මක වන සංවිධානයකි. දක්ෂතාවන්ගෙන් යුත් ග‍්‍රාමීය මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිගැන්වීම මෙන්ම ජාතික මට්ටමේ සංවේදී විෂයන්හිදී සාධනීය මැදිහත් වීමක් සිදුකිරීම සේව් ද ස්පෝර්ට්ස් සංවිධානයේ අරමුණයි.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩා ඒකකය, ගරු වරාය සහ නාවික අමාත්‍ය, හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් මත ඇති කරන ලද්දකි. දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අනුග‍්‍රහය දැක්වමින් ජාතික වගකීම් ඉටුකිරීම මෙම ඒකකයේ අරමුණයි.
සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව ඉදිරිපත් කරන ”96 සමරමු…..” වැඩසටහන මූලික වශයෙන් ප‍්‍රජාසත්කාරයකි. මූල්‍ය දුෂ්කරතා සහිත පාසල්වලට අවශ්‍ය ක‍්‍රිකට් දැනුම සහ දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව වේ. එය ප‍්‍රධාන වශයෙන් අදියර 05ක් යටතේ ක‍්‍රියාත්මක කෙරේ. එහි විස්තර පහත දැක්වේ.

01) 96 සමරමු – මාධ්‍ය සාකච්ඡාව
( 2016 මාර්තු 16 දින බදාදා පෙ. ව. 11. 30 )
මෙය මෙම වැඩසටහනේ පළමු අදියරයි. ඒ යටතේ 96 කණ්ඩායමේ සාමාජිකයින් සහ ඒ වනවිට සිටි පරිපාලකයින්ගේ අත්දැකීම් බෙදාගැනීම සිදුකෙරේ. මෙම මාධ්‍ය සාකච්ඡාවට එවකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා, 96 කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, 96 කණ්ඩායමේ රොෂාන් මහානාම, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද වාස්, උපුල් චන්දන මෙන්ම එවකට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු පුහුණු අධ්‍යක්ෂ මැල්කම් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වේ.

02) 96 සමරමු – පුහුණු කඳවුර
( 2016 මාර්තු 18 වැනිදින සිකුරාදා පෙ. ව. 08. 30)
කොළඹ දිස්ත‍්‍රික්කයේ මූල්‍ය දුෂ්කරතා සහිත අඩු පහසුකම් ඇති දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද නවෝද්‍යා මහා විද්‍යාලයීය පාසල් ක‍්‍රීඩාංගණයේදී මෙම පුහුණු කඳවුර පවත්වයි. 96 කණ්ඩායමේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම පුහුණු කඳවුර පැවැත්වේ. එමෙන්ම සියලූ ජාතීන් නියෝජනය වනපරිදි යාපනය දිස්ත‍්‍රික් කණ්ඩායම සහ පස්යාල නඹුළුව බාබුසලාම් මුස්ලිම් විද්‍යාලයීය කණ්ඩායමද මෙම පුහුණු කඳවුරට එක්වේ.
03) 96 සමරමු – අනාගතය පැහැබරයි ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘතිය
( 2016 මාර්තු 18 වැනි දින සිකුරාදා ප. ව. 01. 00 )
දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද විද්‍යාලයට ක‍්‍රිකට් ලණු පැදුරක් පිරිනැමීම සහ තෝරාගත් පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට ද්‍රව්‍යමය අධාර ලබාදීම මෙම අදියර යටතේ සිදුකරයි. මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද විද්‍යාලය මුල් කරගනිමින් ක‍්‍රියාත්මක වේ.

04) 96 සමරමු – අලූත් අත්දැකීමක්, පෞර්ෂ සංවර්ධන වැඩමුළුව
( 2016 මාර්තු 19 වැනි දින සෙනසුරාදා පෙ. ව. 08. 30)
යාපනය දිස්ත‍්‍රික් සහෝදරත්වයේ ක‍්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර පැවැත්වෙන පෞර්ෂ සංවර්ධන වැඩමුළුවකි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කෘත‍්‍රිම තණතිල්ලෙහි මෙම වැඩසහටන පැවැත්වේ. 96 කණ්ඩායමේ සාමාජිකයින් සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද මීට සහභාගි වේ.

05) 96 සමරමු – සහෝදරත්වයේ ක‍්‍රිකට් කණ්ඩායමේ කොළඹ සංචාරය
( 2016 මාර්තු 18 සහ 19 )
යාපනය දිස්ත‍්‍රික්කයෙන් තෝරාගත් ක‍්‍රිකට් කණ්ඩායමකට කොළඹ නගරයේ සංචාරයක් මීට ඇතුළත් වේ. කොළඹ වරාය නැරඹීම, සිරස මාධ්‍ය ආයතනය නැරඹීම, විශාල පරිමාණයේ නෞකාවක් නිරීක්ෂණය කිරීම සහ කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ක‍්‍රිකට් තරගය නැරඹීම මීට අයත් වේ. යාපනය ක‍්‍රීඩකයින් ක‍්‍රීඩා දැනුමින් සන්නද්ධ කිරීම සහ උතුර දකුණ මිත‍්‍රත්වය ගොඩනැගීම මෙහි අරමුණයි.

4

– තමීර මංජු