ඒ නිලධාරීන් මාව දැඩි ලැජ්ජාවට පත්කළා

මොකක්ද සනෝජා මේ සිදුවුණා කියන සිදුවීම?
ඕනෑම කාන්තාවකට ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා. ඕනෑම කාන්තාවකට ආත්ම ගෞරවය කියලා දෙයක් තියෙනවා. පහුගිය දවසක එක්තරා ‍පොලිස් නිලධාරීන් කිහිප දෙනකු හින්දා මම දැඩි අපහසුතාවකට පත්වුණා.
සිද්ධිය පැහැදිලි කළොත්?
මෙන්න මේකයි වුණේ. එදා මාර්තු 7 වැනිදා වේලාව රෑ 8.30 ට විතර ඇති. මම රූපගත කිරීමකට ගිහින් ආයෙම ගෙදර එනවා. වාහනේ හිටියේ මමයි, මගේ රියැදුරයි විතරයි. අතරමග එක්තරා තැනකදී ‍පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් වාහනය නතර කරලා චෙක් කරන්න අවශ්‍ය බව කිව්වා.
ඒක ‍පොලිස් නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක්නේ සනෝජා?
මම ඒක පිළිගන්නවා. ඒ හින්දයි මම ඒ අයගේ රාජකාරියට ඉඩ දුන්නේ. ඒ අය වාහනය පරීක්ෂා කරලා ඊට පස්සේ මගේ බෑග් පරීක්ෂා කළා.
එතකොට ඔබ ලැජ්ජාවට, අපහසුතාවට පත්වුණා කියලා කිව්වේ?
මගේ බෑග්ස්, ලැප්ටොප් චෙක් කරලා හෑන්ඩ් බෑග් එක පවා චෙක් කළා. මම ඒ හැමදේටම ඉඩ දුන්නා. ඊට පස්සේ මගේ ඇඳුම්  බෑග් එක චෙක් කරන්න හැදුවේ. ඒ වෙලාවේ තමයි මම අපහසුතාවට පත්වුණේ.
ඇයි ඒ?
මම දවස පුරා ෂූටින් කරද්දී ඇඳපු කිළිටි ඇඳුම් එහි තිබුණා. කාන්තා ඇඳුම් වගේම ප්‍රසිද්ධ මාධ්‍යයන් තුළ කියන්න බැරි පෞද්ගලිකව මට අදාළ දේවල් එහි තිබුණා.
ඔබ එම බෑගය පරීක්ෂා කිරීමට එරෙහි වීම නිසා ‍පොලිස් නිලධාරීන් හා ගැටුණාද?
නැහැ. මම ඒ බෑගය ඒ අයට දුන්නා. එහෙම නොකළා නම් මම බෑග් එක පරීක්ෂා කරන්න දුන්නේ නැහැ කියලා ඒ අය චෝදනා කරාවි. අන්න ඒ හින්දයි මම ඔවුන්ට මගේ බෑගය පරීක්ෂා කරන්න දුන්නේ. ඒ අය බෑගය පරීක්ෂා කළා. මම දැඩි ලැජ්ජාවෙන් ඒ අවස්ථාවට මුහුණ දුන්නා.
පොලීසියේ හා හමුදාවේ නිලධාරීන් මෙවැනි පරීක්ෂාවන් කරන්නේ මහජන ආරක්ෂාවට. ජනතාව වශයෙන් ඊට සහය දීම අපේ යුතුකම නේද?
ඔයා කියන දේ මම පිළිගන්නවා. ඒත් කාන්තාවකට ආත්ම ගෞරවයක් තියෙනවා නේද? කාන්තාවක් පරීක්ෂා කරන්න තමයි කාන්තා ‍පොලිස් නිලධාරිනියන් ඉන්නේ. මම අදාළ සිද්ධිය වුණු වෙලාවෙත් ඒ නිලධාරීන්ට ඒ ගැන කිව්වා. කාන්තා නිලධාරිනියක් මගේ බෑගය පරීක්ෂා කළා නම් කමක් නෑ කියලා මම කිව්වා. ඒත් ඒ අය මා කී දේ ගණන් ගත්තේ නැහැ.
ඔය සිද්ධිය සිදුවන විට ඔය ස්ථානයේ කාන්තා ‍පොලිස් නිලධාරිනියන් සිටියේ   නැති නිසා නේද පිරිමි නිලධාරීන් ඔබේ බෑගය පරීක්ෂා කළේ?
ඔව්. මමත් ඒ අයට මගේ බෑගය පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ මම රටේ නීතියට ගරු කරන කෙනෙක් හින්දා. දේශපාලන ක්ෂේත්‍රයේ බලවතුන් යන ස්ථානවලට කාන්තා නිලධාරිනියන් යොදවනවා. ඒ කාන්තාවන් පරීක්ෂා කරන්න. ඇයි ඉතින් සාමාන්‍ය තැන්වලට එහෙම කරන්න බැරි කියන එකයි මගේ ප්‍රශ්නය. කාන්තාවන් තමන්ගේ පුද්ගලිකත්වයට අදාළ දේවල් තම බෑග්වල දමාගෙන යනවා. පිරිමින්ට ඒවා පෙන්වන්න කාන්තාවෝ කැමැති නැහැ. මම මේ ගැන කතා කළාට සමහර කාන්තාවෝ ලැජ්ජාවට හා බයට නිහඬව ඉන්නවා. මේ වගේ තැන්වලදී ඒ අය මොනතරම් ලැජ්ජාවට, අපහසුතාවට පත්වනවාද කියලා ටිකක් මානුෂිකව හිතලා බලන්න.
සිදුවූ දෙයට එරෙහිව කටයුතු කරන බව සනෝජා අන්තර්ජාල මාධ්‍යයකට පවසා තිබුණා?
ඔව්. මම මේ ගැන මට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.

y

ආරියවංශ කුලතිලක