බේබදු තාත්තා නිසා ජීවිතය තිත්ත වුණු දියණිය

මීට මාස ගණනාවකට ඉහතදී සිතන්න තියා, අහන්නවත් නොසිතන අහස පොළොවවත් උහුලන්නේ නැති අනුවේදනීය සිදුවීමක් අපට අසන්නට ලැබුණා. ඒ තිරිසන් පියෙක් තම ලෙයින් උපන් දියණියන් දෙදෙනා දූෂණයට ලක් කළ අමානුෂික සිදුවීමක්.

3
නිශානිත් ඇගේ නැගණියත් ජීවත් වුණේ අනුරාධපුර ප්‍රදේශයට අයත් පළාතක. අගහිඟකම්වලින් පිරිච්ච ඉරි තලා ගිය මැටි පොළොව, උපතින්ම උරුම වෙච්ච දුප්පත්කම පොල් අතු සෙවිළි කළ මේ සෙවණ තමයි මේ දරුවන්ගේ රාජ මාලිගය වුණේ. කොයි තරම් අගහිඟකම් තිබුණත් මේ පැල්පත ඇතුළේ දෝරේ ගලා ගියපු මොකද්දෝ සතුටක් තිබුණා. හැබැයි ඒ සතුට තිබුණේ බොහොම ටික කාලයයි. නිශානිගේ අම්මා ගෙදර අගහිඟකම් දරා ගන්න බැරි නිසාම විදේශගත වෙන්න ගත්ත තීරණය එක්ක නිශානිට සහ ඇගේ නැගණියව භාර වුණේ මිත්තණියගේ කර මතට.
දවසින් දවස වයසින් වැඩෙන ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ වගකීමක් කියන්නේ මිත්තණියකට දරන්න පුළුවන් වගකීමක් නෙමෙයි. ඒත් මිනිපිරියන් දෙන්නා වෙනුවෙන් වාරු නැති දෙපයට ඇය ශක්තිය ගත්තේ හිතේ ධෛර්යයට මිසක ගතේ පුළුවන්කමකට නෙමෙයි.
“අම්මා රට යනකොට මට අවුරුදු දොළහයි. නංගිට අවුරුදු අටක් විතර ඇති. තාත්තා රැකියාවක් විදිහට කළේ රියැදුරු රස්සාව. ඒත් ගෙදර අපි ජීවත් වුණේ ගොඩාක් අගහිඟකම් මැද්දේ. තාත්තට ලැබෙන පඩියත් එක්ක ගෙයක් හදාගන්නවා කියන්නේ හරියට හීනයක් වගේ. අම්මා හීන දැක්කේ නංගිටයි, මටයි හොඳට උගන්වන්න. තාත්තා ගන්න පඩියෙන් භාගයක්ම වියදම් කළේ මත්පැන්වලට. අම්මා කුලී වැඩ කරලා අපිට උගන්වන්න ගොඩක් දුක් වින්දා. නංගිට තේරෙන්නේ නැහැ. නංගි පොඩියි. ඒත් අපි වෙනුවෙන් අම්මා විඳපු දුක මම හොඳට දැක්කා.

sdg
කටු මැටි ගෙදර ගඩොල් බිත්තියෙන් හදන්නේ කවදද කියලා අම්මා නිතරම හිතෙන් විඳෙව්වා. ඔහොම ඉන්නකොට අම්මම රට යන්න කියලා තීරණය කළා. ඒත් තාත්තා කැමති වුණේ නැහැ. මගේ අම්මා ගොඩක් ලස්සනයි. අම්මා රට යන්න ඇහුවම තාත්තා අම්මාට නොසෑහෙන්න බැන්නා. ගියොත් ආයෙම ගෙදර එන්න එපා කිව්වා. ඒත් අම්මගේ ගමන නතර කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. ආත්තම්මට අපිව බලාගන්න කියලා අම්මා රට ගියා. එදා මං ගොඩක් ඇඬුවා. මම ඇඬුවේ මහා ලොකු බරක්පතළක් තේරිලා නෙමේ. නංගි මාව තුරුලු කරගෙන රෑ එළිවෙනකම්ම ඇඬුවා. ඔය විදිහට අම්මා නැති සාංකාව සතියක්, දෙකක් දැනුණත් ටික ටික ඒ දුක මඟ ඇරිලා ගියා. තාත්තත් මුලදී අම්මට බැන්නත් අම්මා එවන සල්ලිවලට තාත්තාගේ සැර බාල වුණා.
අම්මා කථා කරපු හැම වෙලාවකම කථා කළේ අඬ අඬ. අම්මා හැමදාම කිව්වේ ගෙවල්වල වැඩකාරකම් කරලා දුක් විඳින්නේ ගෙයක් හදාගෙන අපි දෙන්නට හොඳට උගන්වන්න ඕන නිසා කියලා. ඒත් තාත්තා අම්මා දුක් විඳලා එවන සල්ලිවලින් මත්පැන් බිව්වා මිසක් අපි ගැන සෙව්වේ බැලුවේ නැහැ. අම්මා කථා කරත් තාත්තා කරන්නේ අම්මා එක්ක රණ්ඩු කරන එක. සමහර දවසට තාත්තා අම්මට සල්ලි එවන්න කියලා කරදර කළා. තාත්තා බීලා ඇවිල්ලා මුළු ගමටම ඇහෙන්න අම්මා වෙන මිනිහෙක් එක්ක ගිහින් කියලා බොරුවට විවිධ කථා හැදුවා. ඒ දේවල් අම්මා දැනගෙන හිටියා. ඒත් අම්මා රට රස්සාව දාලා ලංකාවට ආවේ නැහැ. තාත්තා රණ්ඩු වෙන වෙලාවට අම්මා නිතරම කිව්වේ ආයෙම ලංකාවට එන්නේ නැහැ කියලා. ඔය විදිහට අම්මා රට ගිය දවසේ ඉඳලම තාත්තා බීලා ඇවිල්ලා ගෙදර රණ්ඩු කළා. අම්මා එක්ක තියෙන තරහ පිට කළේ අපෙන්.
මේ ප්‍රශ්න නිසා මටයි නංගිටයි ඉස්කෝලේ ගමනක් එපා වුණා. ඉස්කෝලේ ළමයි අපි දෙන්නට හිනා වෙන්න ගත්තා. ඒත් ගෙදර ප්‍රශ්න ගුරුවරු දැනගෙන හිටියා. ඉස්කෝලේ ගුරුවරු අපිට ඉගෙන ගන්නත් ගොඩක් උදව් කළා. තාත්තා කිහිප සැරයක්ම පාසලට ගෙන්නලා අවවාද කළා. ඒත් තාත්තා හවසට ගෙදර එන්නේ රාක්‍ෂ වෙස් ගත්ත යක්‍ෂයෙක් වගේ.
ඔහොම ඉන්න කොට දවසක්…. තාත්තා හොඳටම බීලා ගෙදර ආවා. එදා තමයි මගේ ජීවිතේ මූසලම දවස…. ඇය නිහඬ වුණේ නැහැ. ඒත් ඇගේ හඬින් ඒ කථාව ඔබට කියන්න ඇයට ශක්තියක් නැහැ. තම මිත්තණියට තුරුළු වෙලා ඒ උණුසුමේ නිදා සිටි නිශානිට ඇගේ පුංචි නැගණිය වෙනුවෙන් තාත්තගේ දරදඬු අතපයවලට හිරවෙන්න සිදුවුණා. ඇය මේ ආකාරයට ඇගේ පියා විසින් දූෂණයට ලක් කළේ දවසක් දෙකක් නොවෙයි. මාස නවයකට වඩා වැඩි කාලයක් මේ දරදඬු දෑත්වලට ගොදුරු වෙන්න සිදුවුණා.
විදේශගත වුණ නිශානිගේ මවගෙන් ඉටුවිය යුතු ඕනෑ එපාකම් දිගටම ඉටු කරන්න සිදු වුණේ මේ හයක් හතරක් නොදන්න පුංචි නිශානිට. මේ හැම අවස්ථාවකදීම ඇය ඉවසා දරාගෙන සිටියේ යම් හෙයකින් මේ අපරාධයම තම නැගණියටත් සිදුවේවි යැයි කියන බය නිසා.
මිත්තණිය නිවසේ සිටියදීම තම ලෙයින් ජනිත වුණ දියණිය විවිධ අවස්ථාවලදී නිවස තුළම දූෂණයට ලක් කෙරුණා. නිශානි මේ මුහුණ දෙන්න සිදුවුණු ඉරණම ගැන කාටවත්ම කිව්වේ නැහැ.
එහෙත් නිශානිටත් නොදැනීම ඇගේ පුංචි නැගණියටත් තම පියාගේම අතවරයන්ට ලක්වෙන්න සිදුවුණේ මේ නිවස තුළමයි. ඇය තම පියාගේ දරදඬු දෑතට සිරවෙන හැම මොහොතකම පියා ඉදිරියේ අසරණ වී වැඳ වැටුණා. ඒත් මේ තිරිසන් පියාට මේ මගේ ලෙයින් ජනිත වුණු දියණියන් දෙදෙනෙක් නේද කියලා හැඟුනේ නැහැ.
පුංචි වයසට ජීවිතේ දරාගන්න බැරි පීඩනයත් එක්ක නිශානි විවිධ අවස්ථාවල ජීවිතය නැති කරගන්න උත්සාහ කළා.
“මම තුන් වතාවක් ජීවිතේ නැති කර ගන්න උත්සාහ කළා. ඒත් මම මැරුණේ නැහැ. මම ජීවිතේ දැක්කේ කරුමයක් විදිහට. ජීවිතේ මට තිත්ත වුණා. මේ වෙන දේවල් කෙනෙකුට කියන්න මම ගොඩක් බය වුණා. ඔය අතරතුර තාත්තා බීලා ඇවිල්ලා අපිට බණිනවා ගහනවා කියලා කවුද නිර්ණාමිකව පොලිසියට දැන්වූවා කියලා දවසක් පොලිසියේ නෝනලා දෙන්නෙක් අපේ ගෙදරට ආවා. එදා තාත්තත් ගෙදර හිටියා. මම එදා ගොඩක් බයවුණා. මට මේ අපායෙන් ගැලවිලා යන්න ඕන වුණත් ඒ වෙලාවේදී මට මේ දේවල් ගැන කියන්න ශක්තියක් තිබුණේ නැහැ. තාත්තා එදා ඒ පොලිසියේ නෝනලා ඉදිරියේ අමුතුම රඟපෑමක් කළා. එදා නිශානිගේ තාත්තා නිවසට පැමිණි පොලිස් නිලධාරිණියන් දෙපළ ඉදිරියේ මේ ලෝකේ උතුම්ම තාත්තා ඔහු විදිහට කළ රංගනය පොලිස් නිලධාරිනියන් ඉහටත් මුදුනින් පිළිගත්තා.”
“දරුවන්ගේ අම්මා රට තමයි ඉන්නේ. අම්මා රට ගිය දවසේ ඉඳලා දරුවො දෙන්නට මම කවදාවත් ගහලා බැණලා නැහැ නෝනා.
මම හවසට පොඞ්ඩක් ඇඟ රත්කර ගන්නවා තමයි. ඒත් දරුවෝ දෙන්නව ආදරෙන් බලා ගන්නවා. මේ කියන කතා අපි හොඳින් ඉන්නවා බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාරයෝ ගොතන කතා නෝනා. ඕනෙ නම් දරුවන්ගෙන් අහන්න. මම එයාලට අඩුවක් කරලා තියෙනවද කියලා.”
ඒත් පුංචි නිශානිට පියා ඉදිරියේ මේ සිදුවන දේවල් කියන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. තාත්තාගේ සැර පරුෂ මුහුණ, නිශානිව ඒ අවස්ථාවේදී ගොළු කළා. මේ විදිහට මාස ගණනාවක් තිස්සේම දියණිවරුන් දෙදෙනා පියාගේ දූෂණයට ලක් වුණ බොහෝ අවස්ථාවල පියා විසින්ම නිශානිගේ නිරුවත් ඡායාරූප තම ජංගම දුරකථනයෙන් ලබාගෙන මේ තිරිසන් පියාගේ මානසික විකෘතිතාවය සිංසිඳුවා ගන්න උත්සාහ කළා.
ඔය අතරතුර එක් අවස්ථාවකදී පාසලේ ලිංගිකත්වය පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. එදා නිශානිත් ඇයගේ නැගණියත් මේ වැඩසටහනට කන් දුන්නා. එහිදී පැවසූ සමහර දේවල් එක්ක නිශානිගේ නැගණිය තම පන්තිභාර ගුරුවරිය වෙත ඇය මුහුණ දුන් සියල්ල හෙළිදරව් කළේ හරියට පුංචි ගිරවියක් වගේ.
එලෙසින් ක්‍රියාත්මක වුණ පාසල මේ පුංචි මල් කැකුළු තලා පෙලා දැමූ පියා නීතිය හමුවට ගේන්න කටයුතු තළා. එදා පාසලේ ලිංගිකත්වය පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන නොතිබුණා නම් අදටත් මේ පුංචි මල් පියා අතින් පොඩිවෙලා යන්න ඉඩ තිබුණා.
● ඊට පස්සේ නිශානිලගේ ජීවිතවලට මොකද වුණේ?
ආත්තම්මා අම්මාව රට යවපු අයට කියවලා අම්මා ලංකාවට ගෙන්න ගත්තා. අම්මා ලංකාවට එනකොට අපට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.
පුංචි වයසට දරාගන්න බැරි තරම් වධ හිංසා, මානසික පීඩන මේ දේවල්වලින් සිර වෙච්ච ඇගේ කඳුළු මේ මුළු මහත් සමාජයටම සාප කරනවා. පුංචි පැටවුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. කවුරු වුණත් ඔයාට යම් විදිහකින් පෙළඹවීමක් හෝ ඇඟට අතක් තියන්නවත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එවැනි සිදුවීමකට ඔයාට මුහුණ දෙන්න සිදු වුණොත් ඔයාගේ සමීපතම කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒ ගැන කියන්න. කෙනෙකුට පැවසීම තමයි ජීවිතේට තියෙන එකම ආරක්ෂාව.
මේ සිදුවීම මේ සමාජයේ සිදුවන පළමු සිදුවීමවත් අවසාන සිදුවීමවත් නොවෙයි. මෙවැනි සිදුවීම් දහස් ගණන් අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා. ඒ අතුරින් අපි දන්නා දේට වඩා නොදන්නා දේ විශාලයි. තමන්ගේ ලෙයින් උපන් දරුවන් අඹුව කරගන්න තරම් මේ සමාජය අමානුෂික වෙලා තියෙන්නේ ඇයි කියන්න ඔබවත් මමවත් දන්නේ නැහැ. කාටවත් වරදක් කරලා නැති නිශානිවයි, නිශානිගෙ නංගිවයි අද දෙලොවක් අතර තනිවෙලා සෝසුසුම් හෙළනවා.

තාත්තා තමන්ගේ ලෙයින් උපන් දරුවා අඹුකමට ගන්න සමාජයේ මේ පුංචි පැටවුන්ට ආරක්ෂිත හෙටක් ගැන මීට වඩා සිතිය යුතුයි නේද? පියපදවියේ ගරුත්වය තියෙන්නේ නමේ නෙමෙයි තාත්තෙකුගේ හදවතේ තියෙන දරු සෙනෙහසේ. මේ විදිහට පුංචි පැටව් තලලා පොඩි කරලා දාන්න එපා. මහ එවුන්ගේ ප්‍රශ්නවලට හයක් හතරක් නොදන්නා දරුවො පළි නැහැ. තාත්තෙක් කියන්නේ දරුවෙකුට රජෙක් වගේ. ඒ දරු පැටවුන්ගේ හීන ලොකේ බිඳලා දාලා පිය පදවියට අගෞරව කරන්න එපා. මේ ලෝකේ හැම තාත්තෙක්ම නරකයි කියනවා නෙමෙයි. හැබැයි හැම තාත්තෙකුටම හොඳ තාත්තෙක් වෙන්නත් බැහැ කියලා මතක තියා ගන්න.

m