බංග්ලාදේශ මහ බැංකු ගිණුමකට ඇතුළු වූ සයිබර් මංකොල්ලකරුවෝ

ලොව පුරා වූ විවිධ පරිගණක පද්ධතීන් වෙත වරින්වර එල්ල වූ සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් මෑත කාලයේදී නිරන්තරයෙන් අසන්නට ලැබුණි. තාක්ෂණික වශයෙන් ඉතාමත් ආරක්ෂා සහිත ලෙස සලකන ලද ලොව ප්‍රධානතම පරිගණක පද්ධතියක් වෙත එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක් මගින් සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය මංකොල්ලයක් පිළිබඳව වූ පුවතක් විදේශීය ජනමාධ්‍ය මගින් පසුගියදා හෙළිකර තිබුණි.
දකුණු ආසියාතික රටක් වන බංග්ලාදේශයේ මහ බැංකු පරිගණක පද්ධතියට එම පරිගණක ජාලය ඔස්සේ ඇතුළු වූ  පිරිසක් විසින් බැංකුවේ ප්‍රධාන නිලධාරීන්ගේ රහසිගත කේතයන් සම්බන්ධ තොරතුරු සොරකම් කර, බංග්ලාදේශ මහ බැංකුව විසින් ඇමෙරිකාවේ Federal Reserve බැංකුව සමග පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුමකින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට (ශ්‍රී ලංකා රුපියල් බිලියන 146) ආසන්න මුදලක් ඉලෙක්ටේ‍රානික මාධ්‍ය හරහා සොරකම් කිරීමට ගත් උත්සාහයක් පිළිබඳව විදේශීය ජනමාධ්‍ය මගින් අනාවරණය කොට ඇත. මෙහි විශේෂත්වය වනුයේ මෙම මංකොල්ලය පිළිබඳව අනාවරණය වී ඇත්තේ මංකොල්ලකරුවන් විසින් ශ්‍රී ලංකාවේ ඇති ගිණුමකට මුදල් ප්‍රේෂණය කිරීමට ගත් උත්සාහයකදී වීමයි.
විදේශීය ජනමාධ්‍ය පවසන ආකාරයට, පළමුව මෙම මංකොල්ලකරුවන් විසින් බංග්ලාදේශ මහ බැංකුවේ අභ්‍යන්තර ක්‍රමවේදයන් මනා ලෙස අධ්‍යයනය කර ඇත. මෙමගින් ඔවුන් සැලසුම්කර ඇත්තේ, මංකොල්ලය සිදු කරන අවස්ථාවේදී අනෙකුත් පාර්ශ්වයන්ට සැක නොසිතෙන ලෙස සැබෑ ලෙසම බංග්ලාදේශ මහ බැංකු නිලධාරීන් ලෙස පරිගණක ජාලය ඔස්සේ පෙනී සිටීමයි. ඉන්පසුව බංග්ලාදේශ මහ බැංකුව විසින් පරිගණක ජාලය ඔස්සේ ජාත්‍යන්තර ගනුදෙනු සිදුකිරීමට යොදා ගන්නා කේතයන් සොරකම් කර ඇත. ඉන්පසු ඔවුන් විසින් බංග්ලාදේශ මහ බැංකුව විසින් නිව්යෝර්ක්හි පිහිටි  Federal Reserve බැංකුව වෙත පවත්වාගෙන යන ගිණුමකින්, පරිගණක ජාලය ඔස්සේ පිලිපීනයේ සහ ශ්‍රී ලංකාවේ පිහිටි ආයතන කිහිපයකට මුදල් සම්ප්‍රේෂණය කිරීම සඳහා ක්‍රියාකර ඇත. මෙහිදී මෙම කණ්ඩායම මුදල් ප්‍රේෂණ සඳහා ඇණවුම් දුසිම් තුනක් පමණ සිදුකර ඇති බව පැවැසේ.

පිලිපීනයට මුදල් ප්‍රේෂණය කිරීම සඳහා කරන ලද ඇණවුම් හතරක (සමස්තයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 81ක මුදලක් සඳහා) මුදල් ප්‍රේෂණය ඔවුන් විසින් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. නමුත් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයකට මුදල් ප්‍රේෂණය කිරීමට යාමේදී සිදුවූ ප්‍රමාද දෝෂයක් නිසා මෙම මංකොල්ලය ව්‍යර්ථ වී ඇත.

මෙහිදී එම ආයතනයේ නම සටහන් කිරීමේදී සිදුවූ මුද්‍රණ දෝෂයක් හේතුවෙන් සැක පහල කළ ගනුදෙනුවේ සහයක බැංකුව ලෙස ක්‍රියා කළ ඩොයිෂ් බැංකුව විසින් බංග්ලාදේශ මහ බැංකුවෙන් ගනුදෙනුව පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත. එවිට බංග්ලාදේශ මහ බැංකුව විසින් එය සාවද්‍ය ගනුදෙනුවක් බව පවසා ගනුදෙනුව සිදුවීම වළක්වා ඇත. මේ වන විටත් ඇමෙරිකානු Federal Reserve බැංකුවද සැක සහිත ගනුදෙනු කිහිපයක් සිදුවන බවට බංග්ලාදේශ මහ බැංකුව දැනුවත් කොට ඇත. ගනුදෙනු සිදුවූයේ වෙනත් බැංකු වෙත නොව පුද්ගලික ගිණුම් සමග වූ නිසා ගනුදෙනු සිදුවන වාර ගණන වැඩිවීම නිසා, මෙම ගනුදෙනු සැකයට භාජනය වී ඇති බව පැවැසේ. මෙම සියලුම ගනුදෙනු ඒ ආකාරයෙන්ම සිදුවූයේ නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 950ක පමණ මුදලක් පහසුවෙන් මංකොල්ලකරුවන් සතුවන්නට ඉඩ තිබුණි.
මුදල් මංකොල්ලකරුවන් බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක ජාලය වෙත ඇතුළුවීම 2016 පෙබරවාරි මස 4-5 දිනවලදී සිදුවී ඇති බව වාර්තා වේ. මෙය ඉතිහාසයේ සිදුවූ විශාලතම බැංකු සොරකමක් වන අතර මෙහිදී සොරකම් කරන ලද මුදල් ලබා ගැනීම සඳහා බංග්ලාදේශ මහ බැංකුව විසින් වැඩ කටයුතු ආරම්භ කර ඇත. මෙම සැක සහිත ගනුදෙනු කල්තියා හඳුනා නොගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ බැංකුව විසින් ඇමෙරිකානු Federal Reserve බැංකුව වෙත ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කර ඇති අතර, බංග්ලාදේශ මුදල් අමාත්‍ය අබුල් මාල් අබ්දුල් මුහිත් විසින් පවසා ඇත්තේ සිදුවූ අලාභය වෙනුවෙන් ඇමෙරිකානු Federal Reserve  බැංකුවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මෙහි වගකීම Federal Reserve බැංකුව විසින් ගත යුතු බවත්, ඔහු විසින් පවසා ඇත. මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් Federal Reserve බැංකු නිලධාරියකු විසින් පවසා ඇත්තේ ඔවුන්ගේ පරිගණක පද්ධතීන්වලට කිසිවකුත් සොරෙන් ඇතුළුවී ඇති බවට වාර්තා වී නොමැති බවත්, සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට බංග්ලාදේශ මහ බැංකුවට සහයෝගය ලබාදෙන බවත්ය. මෙම ක්‍ෂේත්‍රයේ ආරක්ෂණ පද්ධති සහ පර්යේෂණ සම්බන්ධ ආයතනයක් වන මැන්ඩියන්ට් ආයතනයද මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම සඳහා බංග්ලාදේශ මහ බැංකුවට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී ඇති බව පැවැසේ.
පරිගණක ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ලෝ ප්‍රකට ආයතනයක් වන රුසියනු Kaspersky Lab ආයතනය විසින් පසුගිය වසරේදී ප්‍රකාශ කොට තිබුණේ ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් පසුගිය වසර දෙක තුළ ලොව වටා පිහිටි මූල්‍ය ආයතන 100කින් පමණ ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් සොරකම් කර ඇති බවයි.
මෙම සයිබර් ප්‍රහාරය බංග්ලාදේශයෙන් පිට සිට සිදුකරන ලද්දක් බවට හෙළිවී ඇති අතර එය සිදුකළ ආකාරය සෙවීමට අභ්‍යන්තර
පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතී. මෙහිදී පිලිපීනයට ප්‍රේෂණය කරන ලද මුදල්, එරට කැසිනෝ ශාලාවලට යොමු වන්නට ඇති බවට සැලකෙන අතර පිලිපීනයේ කැසිනෝ ආයතන අධීක්ෂණය කරනු ලබන Philippine Amusement  and Gaming ආයතනය සහ ඒAnti-money Laundering Cooperation ආයතනය විසින්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පැවැසේ.
ලොව පුරා රටවල්වල මහ බැංකු සහ වෙනත් ආයතන 250ක් පමණ ඇමෙරිකානු Federal Reserve  බැංකුව සමග විදේශීය ගිණුම් පවත්වාගෙන යන බව පැවැසේ. මීට පෙර 2014දී එහි  පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එහි අභ්‍යන්තර තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටද චෝදනා එල්ල විය.

re

මංජුල දීපාල් ද සිල්වා