සැප වැඩිකරගත් මනිත්‍රීවරුන්ගේ කෙරුවාව මෙන්න…

රට බරපතල ආර්ථික අර්බුදයක තිබෙන නිසා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට නව බදු සංශෝධන රැසක්‌ හඳුන්වා දී තිබිණි. අපට තේරෙන පරිදි මේ බදු වැඩි කිරීමේ අර්බුදය වැඩියෙන්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටය. ඒ නිසාම බදු සංශෝධන ගෙන ඒමෙන් පසු ඉතාම කෙටි කාලයක්‌ තුළ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාට මේ වන විට ලැබෙන වරප්‍රසාද හා දීමනා වැඩි කිරීමට වත්මන් රජය තීන්දුවක්‌ ගෙන තිබිණි.

මේ වැදගත් යෝජනාවට අනුමැතිය දී ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ කාරක කමිටුවය. කාගෙ කාගෙත් දැනගැනීම පිණිස මේ වැඩිකර ඇතැයි කියන සුළු දීමනා පහත දක්‌වමු. දුරකථන දීමනා සඳහා රුපියල් පනස්‌දාහකි. මන්ත්‍රී කොට්‌ඨාසයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යැම සඳහා රුපියල් හැත්තෑපන්දාහකි. (රුපියල් 75,000) කොළඹින් කිලෝමීටර් 25 කට වඩා දුරින් පදිංචි මන්ත්‍රීවරයකුට රුපියල් පනස්‌දාහකි. පාර්ලිමේන්තු සහභාගිත්වය සඳහා දීමනාව රුපියල් 2500 කි. මීට පෙර ඒ සඳහා ගෙවන ලද්දේ රුපියල් පන්සියයක මුදලකි. ආංශික කාරක සභා රැස්‌වීමක්‌ සඳහා රුපියල් හාරදහසකි.

මේ අපූරු දීමනා, වැඩිවීම් හිමි වන්නේ මැතිවරණ වේදිකාවලදී “උගුර ලේ රහ වන තුරු ජනතා සේවය වෙනුවෙන් කැපවෙමු” යි කෑගැසූ දේශපාලනඥයන්ටය. තමා බලයට පත්වූ පසු මන්ත්‍රී වැටුප ඇමැති වැටුප ජනතාවටම ලබා දෙන්නේ යෑයි කී සමහර පිරිසකගේය. එක්‌කෝ මේ පිරිසට ඒ කතාව අමතක වී තිබේ. නැත්නම් ඇත්තටම ඒ අය ජනතාවටත් වඩා දුකට වැටී තිබේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මේ දීමනා වැඩි කිරීම (සංශෝධන යෝජනා) ගැන දක්‌වන හේතු කිහිපයක්‌ තිබේ.

මෙම දීමනා කාලානුරූපීව ප්‍රමාණවත් නොවන නිසා සංශෝධනය කිරීමට යෝජනා කළ බව ඒ අනුව කියෑවේ. එමෙන්ම දකුණු ආසියාවේ අනෙක්‌ රටවල ව්‍යවස්‌ථාදායක සභාවක්‌ නියෝජනය කරන දේශපාලනඥයන්ගේ වැටුප් හා දීමනාවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය පවතින්නේ ඉතා පහළ මට්‌ටමකය. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ වුවමනාවක්‌ තිබූ බවද කියෑවේ. මේ සියලුම හේතු තමන්ගේ මඩිය තර කර ගැනීමේ වුවමනාවෙන් ගෙන එන ලද යෝජනා බව කිව යුතුය. දකුණු ආසියාවේ බොහෝ රටවලට සාපේක්‍ෂව වැටුප් හා දීමනා පහළ තත්ත්වයක තිබෙන්නේ මහජන නියෝජිතයන්ගේ පමණක්‌ නොවේ. එය රටේ වැඩකරන සමස්‌ත ජනතාවටම පොදු කාරණයකි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම දැනෙන තරමට සිදුව නැති බව කිව යුතුය. මහජන නියෝජිතයන් ගැන පමණක්‌ නොව රටේම ජනතාවගේ වැටුප් දීමනා දැරිය හැකි මට්‌ටමකින් සංශෝධනය කිරීමේ යෝජනාවකට කිසිවෙකුගෙන් විරෝධයක්‌ එල්ල වන්නේ නැත. පාර්ලිමේන්තු සහභාගිත්වය හා ආංශික කාරක සභාවලට දක්‌වන සහභාගිත්වයට හිමිවන මුදල හැර එක්‌ මන්ත්‍රීවරයකුට මාසිකව ලැබෙන්නට නියමිත මුදල රුපියල් එක්‌ලක්‌ෂ හැත්තෑපන්දහසක (රුපියල් 175,000/-) කි. ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 ක්‌වූ සියලුම වාසනාවන්තයන්ට මසකට රුපියල් තුන්කෝටි අනූතුන්ලක්‌ෂ හැත්තෑ පන්දහසක (393,75000) ක මුදලක්‌ වැය කිරීමට නියමිතව තිබේ.

මේ ලැබෙන්නට නියමිතව ඇත්තේ සුපිරිතම දීමනා යෑයි කීම කිසිසේත්ම අසාධාරණ නැත. මේ කරල පෑහෙන යෝජනා අතරට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ වාසනාවන්ත යෝජනාවද පසුගිය පෙබරවාරියේ දී කැබිනෙට්‌ටුවට ඉදිරිපත් විණි. මේ වන විට එම වාහන පර්මිට්‌ ලබාදීමද සිදුකර තිබේ. අලුත් යෝජනාවට අනුව මෙතෙක්‌ ඩොලර් 50,000 ක්‌ පමණ වූ ආනයන බලපත්‍රය වෙනුවට ඩොලර් 62,500 ක තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රයක්‌ (පර්මිට්‌) හිමිවේ. මෙම වාහන පර්මිට්‌ මේ වන විට රුපියල් ලක්‌ෂ 180 සිට රුපියල් ලක්‌ෂ 200 දක්‌වා වූ මිල ගණන්වලට අලෙවි වන බව කියති. ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන් බොහෝ පිරිසක්‌ සිටින බවද වාර්තා වේ. මේ වාහන පර්මිට්‌ මිලදී ගන්නා ඇමැතිවරුන්ද සිටින බව වාර්තා වේ. ඒ තමන්ගේ පාවිච්චිය සඳහා වාහනයක්‌ ගෙන්වා ගැනීමට නොවේ. ඊටත් වැඩි මුදලකට වාහන පර්මිට්‌ විකුණා මඩිය තරකර ගැනීමටය.

මෙම ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ වූ වාහන පර්මිට්‌ සඳහා එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැඟීමේ බද්ද, වරාය හා ගුවන්තොටුපළ ගාස්‌තු පමණක්‌ ගෙවිය යුතුවේ. එමෙන්ම එම වාහන පර්මිට්‌ යොදාගෙන ඕනෑම වාහනයක්‌ ආනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එය ඕනෑම අයෙකුට පැවරීමේ හැකියාවද ලැබේ. ඩීසල්, පෙට්‍රල් ඕනෑම වාහනයක්‌ සඳහා එය වලංගු වේ. එන්ජින් ධාරිතාවයටද සීමා පනවා නැත.

මේ “සුපිරි දීමනා” පිරිනැමීම එතැනින්ද නතර වන්නේ නැත. මෙම තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය ලබාදී තිබියදීත් නිල වාහන අහිමි ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට කැබිනෙට්‌ටුවට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. මේ “ඩබල් බෝනස්‌” ලැබෙන මැති ඇමැතිවරු තැපැල් නයින්ටියේ හෝ එන්ජින් ධාරිතාව 660 හෝ 800 ත් අතර වාහනවල යන එන අය නොවන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොව බිම් මට්‌ටමේ ප්‍රාදේශීය දේශපාලකයාට පවා ඇත්තේ හොඳම වර්ගයේ වාහනයක්‌ බව අප තේරුම්ගත යුතු කාරණයකි.

ජනතා ඡන්දයෙන් පත්ව ජනතාවගේ නියෝජිතයකු යෑයි කීවද ජනතාව නියෝජනය කරන්නේම නැති අතළොස්‌සක්‌ පිරිසකට මෙතරම් දීමනා, යාන වාහන ලබා දෙන්නේ ජනතාවට ලැබිය යුතුම දේ පවා අහිමිව යන තත්ත්වයක්‌ තුළ බව පැහැදිලිය. මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමට යන්නේ රටේ ජනතාවට යතුරුපැදියක්‌ හෝ මිලට ගැනීමට නොහැකි තරමට බදු බර ඉහළ ගොස්‌ ඇති මොහොතකය. ගොවියාට පොහොර සහනාධාරය නැත. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සැළකිය යුතු මට්‌ටමකට බැස තිබේ. එහි වාසිය රටේ ජනතාවට නැත. දියර කිරි සහ අර්තාපල් සඳහා සහතික මිලක්‌ නැත. වෘත්තිකයන් සඳහා ලබාදුන් වාහන තීරුබදු බලපත්‍ර කපාහැර තිබේ. ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට ක්‍රියාත්මක වැඩපිළිවෙලක්‌ පෙනෙන මානයක නැත. ඇත්තම කිව්වොත් මහජන නියෝජිතයන් යෑයි කියන කිසිවෙකුත් කරන කෙංගෙඩියක්‌ද නැත.

gt

උදේශ සංජීව ගමගේ