ලෝකයේ සහය අපට ලැබෙනවා

අප අද ජීවත් වන්නේ අලූත් යුගයක බවත්,ලෝකයේ සහාය අපට ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අතීතයේ අපට එස්එම්එස් සේවය හා  ජංගම දුරකථන නොතිබුණු බවත්,එදාට වඩා අද තාක්ෂණය අතින් ලෝකය ඉදිරියට ගොස් සිටින බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(21)අරලියගහ මන්දිරයේ පැවති ශිෂ්‍ය නායක/නායිකාවන් සහභාගිවූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා එම සිසු පිරිස ඉදිරියේ මෙසේද සඳහන් කළේය.

විද්‍යාලයක කළමනාකාරීත්වය සාර්ථකව ගෙනයාමට නම් විදුහල්පතිතුමා,ගුරුවරුන් සහ ශිෂ්‍යනායක නායිකාවන් යන කණ්ඩායම් තුන අත්‍යවශ්‍ය වනවා. ඔවුන් නොමැතිව විදුහලක් ගෙනයාමට අපහසුයි. එබැවින් ඒ කණ්ඩායම් තුනේ සේවය අප අගය කළ යුතුයි.  එමනිසා ඒ සියලූ දෙනා වෙනුවෙන් ඔබ සැමට මෙම භෝජන සංගණයට ආරාධනා කොට තිබෙනවා. ඔබත් ඔබ යටතේ සිටින ශිෂ්‍ය නායකත්වයටත් අපේ ස්තුතිය පුද කිරීමේ අරමුණින් අපි මෙම වැඩසටහන සංවිධානය කොට තිබෙනවා. තවද එම වැඩසටහන මෙතනින් අවසන් නොකරන බවද මෙහිලා සඳහන් කළ යුතුයි.

ශිෂ්‍ය නායකත්වය දරණ ප්‍රධාන ශිෂ්‍ය නායකයන් නායිකාවන් පමණක් නොව අනෙකුත් ක්‍රීඩා කණ්ඩායම්වල  ඒවාගේම නොයෙක් සමිති හා විවාද කණ්ඩායම්වල නායක නායිකාවන් මෙහි සිටිනවා. ශිෂ්‍ය භට බලකායේ සාජන් සහ සාජන් මේජර්වරුන්, බාලදක්ෂ ව්‍යාපාරයේ නායක නායිකාවන් මෙතන සිටිනවා. ඒ සෑම දෙනාම වෙනුවෙන් අපි අලූත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.අපේ අමාත්‍යංශය වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය,ජාතික තරුණ සේවා සභාව, අධ්‍යාපන අමාත්‍යංශය,උසස් අධ්‍යාපන අමාත්‍යංශය, කාර්මික හා වෘත්තීය පුහුණු අමාත්යාං ශය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇමතිවරු පළාත් ඇමතිවරු සියලූ දෙනාම එක්තැන් කොට සෑම පාසල් කලාපයක් තුළම ශිෂ්‍ය නායක කේන්ද්‍රයක් ඇතිකොට එහි තමන් කැමති වැඩසටහන් ආරම්භ කරනවා.
ඒ කටයුත්ත ආරම්භ කිරීමට පෙර මැයි මාසයේ සෑම විද්‍යාලයකටම ප්‍රශ්න පත්‍රයක් යවා එමගින් ශිෂ්‍ය නායකයින්ගේ අදහස් දැන ගන්නවා.

අවශ්‍ය  පුහුණුවීම් සහ සුදුසු වැඩසටහන් මොනවාද යන්න එමගින් දැනගෙන ඒ අනුව තව දුරටත් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එහිදී ප්‍රධාන ශිෂ්‍ය නායකයින් සමග සාකච්ඡා කොට මේ වැඩකටයුතු කිරීමට අපේ සම්පූර්ණ සහයෝගය ලබාදීම අපේ බලාපොරොත්තුවයි. ප්‍රධාන ශිෂ්‍ය නායකයා, නායිකාව, ශිෂ්‍යයින් තමාගේ පාසලට ආදරය කරන අතරම, ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා පාසලෙන් පිටවී සාර්ථක ජීවිතයක් ගත කිරීමයි.

ජනාධිපතිතුමාත් මමත්,අධ්‍යාපන අමාත්‍යවරයාත්,මෙහි සිටින අනෙකුත් මැති ඇමතිවරුනුත් මේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ අයයි. ඔබ තුළ නොයෙකුත් හොඳ බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉටුකොට ඔබට හොඳ අනාගතයක් ලබාදීම අපේ යුතුකමයි. ශ්‍රී ලංකාවේ අපට විශාල වාසියක් අද ලැබී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සියලූ දෙනාම එකතු කරගත් ආණ්ඩුවක් තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකත් එකට එකතුවී තිබෙනවා. විපක්ෂ නායක තුමාත් මෙහි සිටිනවා.

අපේ ජාතික ආණ්ඩු සංකල්පය යටතේ සම්මුතිවාදය ක්‍රියාත්මක කරලීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අපට ලැබී තිබෙනවා. අපි අද ජීවත් වන්නේ අලූත් යුගයකයි. ලෝකයේ සහාය අපට ලැබී තිබෙනවා. එදා අපට එස්එම්එස් හා ජංගම දුරකථන තිබුණේ නැහැ. එදාට වඩා අද තාක්ෂණය අතින් ලෝකය ඉදිරියට ගොස් සිටිනවා. එබැවින් මෙහිදි අනෙකුත් දියුණු රටවල් මෙන් හොඳ සමාජයක් බිහිකිරීමට අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ බලාපොරොත්තු වනවා. එබැවින් ඔබ අප සියලූ දෙනාම අපේක්ෂා කරන ශ්‍රී ලංකාව බිහි කරමු යන ප්‍රාර්ථනයෙන් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

gg