‍පොලිස් ලොක්කෝ රැසක් හිටිහැටියේ කෝටිපතියන් වෙලා

හිටිහැටියේම කෝටිපතියන් වූ ‍පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශ රහස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අය අතර ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිප දෙනෙක්ද සිටින බවටද තොරතුරු හෙළිදරව් කර ඇත.දැඩි විමර්ශනයට ලක්ව සිටින එක් නිලධාරියෙක් මෑතකදී සුවිසල් නිවාස තුනක මෙන්ම සුඛෝපභෝගී මෝටර් රථ දෙකක හිමිකරුවෙක් වී ඇති බවද ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ තොරතුරු සඳහන් කළේය.වෙ‍ලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග ඉතා ළඟින් ඇසුරු කළ අයෙක්ද ඒ අතර සිටින බව විශේෂ කාර්ය බළකා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය 2014 වසරේ ‍පොසොන් ‍පොහෝ දින විශේෂ කාර්ය බළකාය හෙරොයින් කිලෝ 85ක් කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. එම හෙරොයින් තොගය වෙ‍ලේ සුදාට අයත් බවත් කාලයක් මුළුල්‍ලේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස හෙරොයින් තොගය අත්අඩංගුවට ගැහැනු බවත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය නිල වශයෙන් දැනුම් දුන්නේය.වෙ‍ලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාකිස්තානයේදී අත්අඩංගුවට පත්ව මෙරටට ගෙන ආ පසු තමන් සමග සම්බන්ධකම් පැවැත්වූ සහ මාසිකව ඔහු වැටුප් ගෙවන ලද ‍පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කරනු ලැබිය. ‍පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ‍පොසොන් ‍පොහෝ දින අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85 තමාගේ නොවන බවත් එය සිද්ධීක් නමැති ජාවාරම්කරුට අයත් බවත් වෙ‍ලේ සුදා එහිදී හෙළි කළේය. හෙරොයින් කිලෝ 105ක් එහි තිබුණු බවද වෙ‍ලේ සුදා අනාවරණය කර තිබිණි.
ඒ අනුව අතුරුදන් වූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් විශේෂ ‍පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක විය. අත යට සිදු වූ හෙරොයින් ගනුදෙනුවක් එහිදී අනාවරණය වූ බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම විමර්ශන පසුව අතරමග ඇන හිටිණි. ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ කීර්ති නාමයට එය බලපෑමක් යැයි කියමින් විමර්ශන අතරමග නතර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටත් ඉහළින් උපදෙස් ලද බව කියැවිණ. කෙසේ වෙතත් පසුගියදා එල්.ටී.ටී.ඊ.ය සතු අවි ආයුධ පාතාලයට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ‍පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගනු ලැබිය. බියගම වි‍ලේජ් අධිපති බර්නාඩ් ජයලත් ඝාතනයේ තොරතුරු සැඟවීමටත් පරීක්ෂණ නොමග යැවීමටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් ද විශේෂ කාර්ය බළකායේ ‍පොලිස් අධිකාරීවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබිය.

ll

(ගයාන් කුමාර වීරසිංහ)