සුද්දන් එනතුරු මගබලන ආරුගම්බේ

වෙලාව පාන්දර 4ට පමණ ඇත.. ආරුගම්බේ  ආරුගම් බොක්ක මුහුදට හිරු කුමරු එබිකම් කරමින් සිටියේය. මහ මුහුද රැළි නැංවුයේ  සන්සුන්  ලෙසිනි මේ දවස්වල මුහුද වලාල නිසා  මුහුදු රැලි ඉහළට නොනගී. හැබැයි මේ මුහුරැල හැසිරීම  අප්‍රේල් මාසේ වෙනකොට වෙනස් වෙයි. උදම්රැල  ඉහළට නගින ඒ කාලය  ආරුගම්බේ   සර්ෆිං කාලයයි.
ප්‍රදේශවාසින් මේ කාලය හඳුන්වන්නෙ සුද්දො කාලය නමිනි. ඒ කාලය සැප්තැම්බර් පමණ වන තෙක් පවතී . එතකොට  ලෝකයේ විවිධ  රටවලින් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙත ඇදී එති. ලොව සර්ෆිං ක්‍රීඩාවට පරසිදු මුහුදු අතර අපේ රටේ  ආරුගම්බේ මුහුදද ලෝ පුරා පතල වි ඇත්තේ සර්ෆිං ක්‍රීඩාව නිසයි.

sdfg
ඉහළ නගින දළ රැලි අතරේ  ලැල්ලක් වගේ  සර්ෆිං බෝඞ් එකක සමබරව සිටිමින් දළ රැලි අතරේ ලිස්සා යාම  සර්ෆිං ක්‍රීඩාවයි.
“සුද්දො කාලයට  ආරුගම්බේ හා ඒ අවට ලියාපදිංචිව ඇති  හෝටල් සියයක් පමණ ඇතත් ඒවා ප්‍රමාණවත් නොවන නිසා
අවට ගෙවල් ඇතුලුව  සංචාරක නවාතැන් 200 ක් පමණ ක්‍රියත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.
ඒ කාලය උදාවෙනතෙක් දැන් හෝටල් හිමියන්  ගෙස්ට් හවුස් ඇතුථ සංචාරක  නැවතුම් ස්ථාන  හිමිකරුවන් මෙන්ම අවන් හල් හිමියන් පමණක් නොව සියලු ප්‍රදේශවාසින් මග බලමින් සිටිති.
මම නැවත  මුහුද දිහා බැලුවෙමි.
ධිවරයෝ යුහුසුලුව බෝට්ටු  මුහුදට තල්ලු කරති. හරිම  ලස්සන දර්ශනයකි. ඊට පසසේ බෝට්ටු පේලි පේලි  මුහුදු රැලි අතරේ ඉදිරියට යති.
හැබැයි ගැඹුරු  මුහුදේ ඈතට නොයති . පැය කීපයකින් ආපසු එති. මම මා සිටි සුවිසල් හෝටලයේ සිට වැල්ලට බැස්සෙමි. දැල් එලලා  අල්ලා ගත් බෝල්ලො, පරව්, ගල්මාලු, අංජිලාවෝ මිතතා වැනි මාලු මේ දිනවල අහුවෙන බව මුස්ලිම් ධීවරයන් පැවසුවේ කැඩිච්චි සිංහලෙනි.
ධීවරයන්ගේ පොල් අතු වාඩි විශාල  ප්‍රමාණයක්  මුහුදු වෙරළේ දක්නට ලැබිණ. ඊට පිටුපසින් පෙනෙන්නේ මෑතකදී  ඉදිකළ සංචාරක හෝටල්ය. අලුත් හෝටල්  ඉදිවී ඇත්තේ කොටි කලබල වලින් පසුය.
අතීතයේ සිට සර්ෆිං වලට විදේශිකයන්  ආවත්  කොටි භීෂණය අවසන් වූ පසු පැමීණෙන සංචාරකයන් ප්‍රමාණය සීග්‍ර ලෙස වැඩිවූ බව දැනගන්නට ලැබිණ.

dffffffffff

ආරුගම්බේ ධීවරයන්ගෙන්  90% ක්ම මුස්ලිම් ජාතිකයන්ය 5% ක් දෙමළය අනෙක් 5%  සිංහල. සිංහල ධීවර කාර්මිකයන් කුඩාවැල්ල, නිල්වැල්ල, ගන්දර දෙවුන්දර වැනි දකුණේ ගම්මානවලින් පැමිණි අය වෙති.
මුහුදේ වාඩි ගසා ඇත්තේ  සිංහල හා මුස්ලිම් වශයෙන් කොටස් දෙකකටය.
කෙසේ නමුත් මේ සියලු ජාතින් සහෝදරත්වයෙන් ජීවත්වෙන බව  සිංහල ධීවරයන් පැවසූහ. සිංහල වාඩිවලද මුස්ලිම් අය සිටිති. දකුණෙන් පැමිණ  මෙහි පදිංචි වී සිටි  බහුතරයක්  ගෙවල් දොරවල් අඩුගානට විකුණා  තම ගම්බිම් වලට  ගියත්, කොටි සටනින් නොපැරදුන,  සුනාමියෙන් බැට කෑවත් ආරුගම්බේ හැර නොගිය  කෙනෙක් වේ නම්  ඒ. කේ .එච්. චන්ද්‍රසේන ද සිල්වා  හෙවත් සුදු මහත්තයා බව දැනගන්න ලැබුණි.
සුදු මහත්තයාගේ අණසක අදටත් පවතින බව අසා  සතුටට පත්වු  මම සුදුමහත්තය සොයාගෙන ගියෙමි.
මුහුදු වැලි අතරේ දෙපා එරි  එරි සුදු මහත්තයා සොයාගෙන යද්දි  සුදු මහත්තයා පිළිබඳව මගේ මාධ්‍ය  ජීවිතයේ  කිසිදා අමතක නොවන සිදුවිම් මතකයට එක්විය.
ඒ දවසල් වල මාධ්‍ය ආයතන තිබුනේ කීපයකි. අද වගේ හැම තැනම වාර්තාකරුවෝ  නොසිටියහ.
නැගෙනහිර පළාතේදී කොටි ප්‍රහාරවලට ලක්වු බොහෝ දෙනා රුගෙන ආවේ බදුල්ල මහ රෝහලටය.
කොටිත් එක්ක මහ පොරයක් අල්ලපු සුදු මහත්තයා වෙඩි උන්ඩ වලින් අත් පිච්චිලා පිහි පහරටත් ලක්වෙලා බදුල්ල මහ රෝහලට රැගෙන එන පුවත ලැබුණ නිසා අපි බදුල්ල මහ රෝහලේ පැය ගණනක් බලාගෙන සිටියෙමු.
අද වගේ කාපට් පාරවල් නොතිබුණු නිසා  ඒ ගමනට පැය 6ක් පමණ ගතවිය.
සුදු මහත්තයාගේ ත්‍රාසජනක කතාව එදා මම පුවත්පතේ මුල් පිටුවට දුන්නේ දුරකථනයෙනි.
ජායාරූප මුද්‍රණය  කර,  රූපවාහිනියට  වි.එච්.එස් . විඩියෝ පටියකතුත් හදා   රෑ 10 වෙනකල් බදුල්ල  බස් නැවතුමේ ලැගසිටි අයුරු අදමෙන් මතකය.
බදුල්ල – කොළඹ  ලක්සිරි බසය එනතෙක්  බලාසිට බස්රථයේ  රියදුරාට රුපියල් දෙසීයකුත් දී  මේ ජායාරූප හා විඩියෝ පට කොළඹ මාධ්‍ය වෙත යැවු හැටි මතක් වෙන කොට අද නම් සිහිනයක් මෙනි.

6
අද විනාඩි කීපයක් තුළ දර්ශන ජායාරූපය යවන්න තරම්   තාක්ෂණය දියුණු නමුත් එදා මාධ්‍යවේදින්  දුක් වින්දේ එහෙමය.
ඒ අතීතය මතක්  කර කර සුදු වැල්ලේ දෙපා  එරි එරි  වැල්ල දිගේ  ඉදිරියට යද්දි  සුදුමහත්තයා ඉන්න තැනට ළං විය.
එතැන  සංචාරක  හෝටලයකි.
පැරණි මතයකයන්  සිහි ගන්වමින් සුදුමහත්යා මාව වැළද ගත්තේය.
කොටි අරක්ගත් ඉතිහාසය ගැන  විමසුවෙමි.
සුදු මහත්යා විස්තර සහිතව ආරුගම්බෙ දුක්බර ඉතිහාසය මතක් කළේය.
“මං  පොතුවිලට ආවේ අවුරුදු 18 දි. අපේ තාත්තලා ඒ දවස්වල මෙහේ මාලු බිස්නස් කළා. එතකාට මේ වගේ හෝටල් නැහැ. වැල්ලේ වාඩිගහගෙන ඉදලා මාලු තොග  මිලට අරන්  පිට පලාත් වලට ප්‍රවාහණය කළා.
ඊට පස්සේ ගෙවල් හදලා පදිංචි වුණා. මම ආවට පස්සේ තාත්තත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපාර දියුණු කළා.
පස්සේ මම වෙනම මාලු බිස්නස් පටන් අරන් දියුණු වුණා. මට බෝටිටු තුනක් හා වාහන තිබුණා.
ඔහොම ඉන්න කොට තමයි කොටි කලබල ඇති වුණේ.
1980  ගණන්වල  කොටි,  ධීවරයන්ගේ බෝට්ටු කොල්ලකෑවා ඒවා කලේ කොටි සංවිධානය ආයුධ ප්‍රවාහණය වගේ දේවල් වලට. හැබැයි කොල්ල කෑ බෝට්ටු වැඩෙ කර ගත්තාට පසු විවිධ තැන් වල දමාගොස් තිබුණා. සමහර බෝට්ටු නම්  ආගිය අතක් නැහැ.
ඔහොම ඉන්න කොට තමයි පාලිත මහත්තයා වාර්තා කළ ඒ සිද්ධිය වුණේ.
එදා. 1989 ජනවාරි 3 වැනිදා කොටි කප්පම් ඉල්ලාගෙන අපේ ගෙදරට ආවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
බදුල්ලෙ ඥාති නිවසක නතරවෙලා ඉස්කෝලේ යන  පුතා.  නිවාඩුවට ගෙදර ඇවිත් හිටියත්  එදා නිවාඩුව අවසන් නිසා මම පුතා බදුල්ලට යැව්වා.රෑ හතට  විතර  මමයි මගේ නෝනයි දුවයි ඥාති පුතෙකුයි කැරම්  ගහ ගහ හිටියා.
තවත් සේවකයන් කීපදෙනෙක්  හිටියා. ඒ අය කාඞ් සෙල්ලම් කළා.
ආයුධ ගත්ත නාදුනන දෙන්නෙක් ගෙට ඇතුල් වුණා.
එක් කෙනෙක් යුදහමුදා කමාන්ඩෝ ඇඳුමක්  ඇඳගෙන, අනිත්  එක්කෙනා සරමයි ටී සර්ට් එකයි  ඇදගෙන හිටියා.
කමාන්ඩෝ ඇදුම ඇදගත් එක්කෙනා අත ටී 56  ගිනි අවියක්  තිබුණා. අනෙක් එක්කෙනා  අත තිබුණේ දිග පිහියක්.
කුස්සියේ කෑම කමින් සිටි ඩ්‍රයිවර් සහ කෝකියාට ආයුධ පෙන්වලා බය කරලා මුලින්ම කුස්සියට දාල දොර වැහුවා. ලයිට් නිවපල්ලා කියල දෙමල භාෂාවෙන් කෑගැහුවා. කව්ද  මේ ගෙදර ගෘහ මූලිකයා  කියල  ඇහුවම මම නිහඬ වුණා. අපි ආවේ  පුතා ගෙනියන්න කියල කිව්වා.
මම කිව්වා පුතා නැහැ  බදුලු ගියා කියලා. මම රස්නය නිසා කමිසය නැතිවයි හිටියේ. මට කිව්වා කමිසයක් ඇඳන් වරෙන් කියලා.
නෝනට කිව්වා මහත්තයා අපි අරන්  යනවා. හෙට සවස 5 ට රැපියල් ලක්ෂයක් අරන් සින්න උල්ල පල්ලිය  පිටපසට ඇවිත් ඒ මුදල දීලා එයා බේරාගන්න කියලා .
මගේ නෝනා ඒ මිනිහා ගේ කකුල් දෙක අල්ලගෙන වැද වැටිලා -“ අනේ අයියේ මගේ මහත්තය ගෙනියන්න  එපා ඉල්ලන දෙයක් දෙන්නම් කියා හඩා වැටුණා. එවිට  බිරිද අල්ලා කමාරයට  දාලා දොර වැහුවා. බිරිදගේ අත දොරට හිරවෙලා කෑගැහුවත් දොර ඇරියේ නැහැ.
මම දැනගත්තා තවත් බලාහිටියොත්  වැඩ වරදින බව. මම එකවරම පැනලා  ටි 56 තුවක්කුව උදුරාගන්න උත්සාහ  කළා.
මම කොටියත් එක්ක පොර බදන ගමන්ම තුවක්කුවේ  කොකා ගස්සලා වෙඩි 28 ක්ම පත්තුකළා.
ඊට පස්සේ  උන් ටිකක් බය වුණා. මම තුවක්කුව උදුරාගන්න  තව දුරටත් පොරබදනකොට  අනික් එක්කෙනා මගේ බෙල්ලට පිහියෙන් කෙටුවා.  ඊට පස්සේ  උන් දෙන්නා ගෙදරින් එළියට පැනලා කැලේ පැත්තට දිව්වා.
වෙඩි වල රස්නයට මගේ අත්දෙකම පිච්චුණා. බෙල්ලට එල්ලවු පිහි පාර නිසා  හුගාක් අමාරු වුණා  ලේ බැහැලා තිබුණා
බදුල්ල ඉස්පිරිතාලෙට මාව අරගෙන ගියත් ආයෙත් කොටි ගහයි කියන බයට එතනින්  ගිලන්රථයකින්  කොළඹ මහ රෝහලට යවලා මාස ගණනක් කළ ප්‍රතිකාරවලින් පස්සේ සුවය ලැබුවා.
ඊට පස්සේ මම ආයෙත් ආරුගම්බෙට ආවා යැයිද කීවේය.
ඊට ප්සසේ මොකද වුණේ? කෙටි නිහඬතාවයකින් පසු  මම විමසුවෙමි.
“ඒ වනකොට කොටි තර්ජන වැඩිවෙලා.  එස් .ටී.එෆ්  එකයි  පොලිසියයි  කඳවුරුවලට හා පොලිසිවලට සීමා වෙලා තිබුණා. කොටි ආයුධ ඇතිව තිරුක්කෝවිල් වෙනකල් පාලනයකළා.
1990 ගණන්වල  සියඹලාණ්ඩුව පාරේ 5 කණුවෙදි  ලංගම බස්රථයකට කොටි පහරදි  එහි සිටි  මගින්ට වෙඩිතබා බසය ගිනි බත් කළා.
ඒ බස්එකේ හිටිය මගේ නෝනගේ අයියගෙ නෝනයි අම්මයි කොටි වෙඩිතැබීමෙන් මැරුණා.
එක කාන්තාවක් බඩවැල් අතින් අරන් බඩ ගාගෙන ගිහින් බේරුණා. ඊට අමතරව බසයේ සිටි අයගෙන්  ජීවිතය බේරුනේ  අත දරුවෙකුගේ විතරයි.
මේ සිද්ධින් එක්ක බස් ගමන් සියල්ල නතර වුණා.
ඒත් මගේ පුද්ගලික බස් සේවාවන් විතරක් පොතුවිල් – මොනරාගල, පොතුවිල් -කොළඹ සහ පොතුවිල් -හික්කඩුව යන අතර  කරගෙන ගියා.
ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය දේවල් මොනරාගල ඉදලා ගෙනැත් දුන්නෙත් පොලිසියේ හා හමුදාවේ  ගෙවල්වලට යැවිම සඳහා මුදල් බාරගෙන මොනරාගල තැපැල් කාර්යාලයෙන් ගෙවල් වලට යැව්වෙත් අපේ බස් සේවකයන්.
මේ නිසා  මගේ බස් එකකුත් සියඹලාණ්ඩුව පාරේදී කොටි විසින් ගිනි ගැහුවා. ඒකේ ගමන්කරමින්  සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙක් කැලේට අරන් ගිහින් තියෙනවා.
එක්කෙනුකු ගේ මළ සිරුර කැලේ තිබිල හමුවුණත්  අනෙක් එක්කෙනා ගැන තවම තොරතුරක් නැහැ.
කැලේ දරකපන්න ගිය මුස්ලිම් ජාතියකයන්  13 දෙනෙකුට වෙඩිතියලා  කපලා කොටලා මරලා ඒ අය දර ගේන්න අරන්ගිය ගොන් කරත්තවලම පටවලා එවිමේ සිද්ධියත් එක්ක පොතුවිල හා ආරුගම්බේ කලබල වැඩි වුණා.
මුස්ලිම් අය දෙමළ අයගේ නිවාස වලට පහරදි ගිනිතැබුවා සමහර ගෙවල් කොටි සාමාජිකයන්ගේ ගෙවල්. හැබැයි සිංහල අයට කරදරයක් වුණේ නැහැ.

කොහොම නමුත් මේ ප්‍රශ්න නිසා  සිංහල ධීවරයෝ  ගෙවල් දොරවල් තුට්ටුවට දෙකට විකුණලා  දකුණෙ ගම්බිම්වලට ගියා.
මේ සියලු ප්‍රශ්නවලට මුහුණදි අපිනම්  මෙහේම  හිටියා.
මගේ ව්‍යාපාර දිගටම කරගෙන ගියා. ඔහොම් ඉන්න කොට තමයි සුනාමිය ආවේ. සුනාමියෙන් මේ පළාතම විනාශ වුණා.
මගේ මුළු ගේම සුනාමියෙන් විනාශ වුණා මේ ප්‍රදේශයේ  ගෙවල් 50 ක් විතර මුළුමනින් සුනාමියට ගොදුරු වුණා.
මගේ වාහන 6 ක්ම විනාශ වුණා .
අපි  කැලේ මැදින්  දුවලා ගිහින් පණ බේරාගත්තා. ඇඳිවත විතරයි ඉතුරුවුණේ. ආරුගම්බේ පාලම විනාශ වීම නිසා මාස ගණනක්  කිසිම වාහනයක් යන්න බැරිව ගම්මානවලට මිනිස්සු අසරණ වුණා.
මේ සියලු දුක් දරාගෙන මා යළිත් නැගි සිටියා .
විනාශ වුණ වාහන හයෙන් හතරක් සඳහා  රක්ෂණ වන්දි ලැබුණේ පනස්දාහ ගානේ. විනාශවු අනෙක් වාහන පරණ යකඩවලට විකුණලා මේ සල්ලි දාලා ගේ හදාගෙන හෝටලයක් පටන් ගත්තා. මාලු බිස්නස් එකත් කරගෙන ගියා.
දැන් මගේ  සංචාරක හෝටලයේ කාමර 22 ක් තියෙනවා
සර්ෆිං වලට සංචාරකයෝ එනකොට  මේ ප්‍රදේශයේ හෝටල ගෙස්ට්හවුස් මදිවෙලා ගෙවල් වලත් සුද්දො නතර වෙනවා.
මට වැඩිය කරදර වෙන්න බැහැ මගේ කාමර 22  නුවර පැත්තේ කටිටියකට රුපියල් ලක්ෂ 50 කට සීසන් කාලෙට විතරක් බදු දෙනවා. මට ලක්ෂ 50 දෙනව නම් ඒගොල්ල ලක්ෂ 100 කවත් හොයයිනේ සර්ෆිං වලට එන සුද්දො අතපය දිගඇරල වියදම්  කරනවා.  මාස එකහමාර දෙක නවතිනවා. මුලු කාලයටම සල්ලි එකපාර දෙනවා.
දැන් පොතුවිල් නගරයත් දියුණුයි  ප්‍රධාන බැංකුත් තියෙනවා.
කවුරුත් බලං ඉන්නේ ‘සුද්දො කාලෙ එනකල්
සුද්දන්ගෙන් තමයි කවුරුත් ගොඩයන්නේ යැයි  සුදු මහත්තයා කිවේ  බක බක ගා හිනාවෙමිනි.
සුදු මහත්තයාගෙන් සමුගෙන මම පොතුවිල් නගරයට ගියෙමි.
නගරයේ ව්‍යාපාරිකයන්ද සුද්දො කාලෙට සුදානම් වෙමින් සිටිති.
අනාගතයේදි ආරුගම්බේ ශ්‍රීලංකාවේ ප්‍රම්‍රඛතම සංචාරක පාරාදීසය කරන්නට නම් වෙරල තීරය පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා විශේෂ ආවධානය යොමු කළ යුතු යැයි මට සිතුණේ යළිත් මුහුදු වෙරලට ගොස්  දිය නෑමට සුදානම් වු විටය.
බෝට්ටුවලින් නිකුත්වන ඩීසල්  මුහුද අපවිත්‍ර කර ඇත්තේ ජලය පවා කලු පැහැ ගන්වමිනි.
මම දියනෑමේ අදහස අතහැර රතු  ජම්බු ගෙඩියක් මෙන් හිරු සයුරු දියමත සැගවෙන සැටි බලා සිටියෙමි.

m

uy