ටයිටැනික් නෞකාවටත් වඩා දිගලා්කයේ විශාලතම මගී නැව

ලෝකයේ විශාලතම මගී නෞකාව වූ (හාමනි ඔෆ් ද සීස්  (Harmony of the Seas) සිය මංගල අත්හදා බැලීමේ චාරිකාව දැන් අරඹා තිබේ. ප්‍රංශ නෞකා සමාගමක් මගින් ඇමෙරිකානු රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම සඳහා නිපදවනු ලැබූ මෙම සද්දන්ත නෞකාව අඩි 1,187ක් දිගය. (ටයිටැනික් නැවට වඩා අඩි 330ක්  දිගය.) තට්ටු 18කින් සමන්විත මේ නැව අඩි 210ක් උසය. එහි පළල අඩි 216කි. මගීන් 6,000 කට ගමන් කළහැකි හාමනි ඔෆ් ද සීස් නෞකාවේ බර ටොන් 120,000කි. එය නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් වැයවී ඇතැයි ගණන් බලා ඇත.
නැව ඇතුළත සුඛෝපභෝගී නිදන කාමර, ක්‍රීඩා ගාර, නෘත්‍යශාලා, ජල ක්‍රීඩාංගන, අවන්හල් ඇතුළු පරිපූර්ණ මුහුදු චාරිකාවකට අවශ්‍ය සෑම සියලු දෙයක්ම අඩංගුය. හය දහසක් වූ මගීන්ට සේවය කිරීම සඳහා නැවේ කාර්ය මණ්ඩලය දෙදහසක් පමණ යෙදවීමට තීරණය කර ඇත.
මාර්තු මස දෙවැනි සතියේදී ප්‍රංශයේ සිට අරඹන ලද පළමු අත්හදා බැලීමේ චාරිකාවට මගීන් කිසිවෙකුත් එක්ව නොසිටි අතර, 500 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් පමණක් යොදවා තිබිණ. හාමනි ඔෆ් ද සීස් නැවේ ඊළඟ චාරිකාව අප්‍රේල් මස දී ඇරඹීමට නියමිතය.

alt

alt

alt

alt

alt
කෞමධී හේරත්