නාගදීප බුදුපිළිමය තැනීම යාපනයෙන් නවත්වයි?

ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිමයේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

එය ලිඛිතව දැනුමදී ඇති බව නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ ඊයේ (27) පැවසූ අතර මෙම පිළිමය රුපියල් කෝටි 12 ක වියදමින් ඉදිකිරීමට නියමිත ඇත.

උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බව පදුමකිත්ති හිමියෝ පවසන අතර මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බව ද පැවසූහ.

යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් එය තහවුරුවන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ.

යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදීත් යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවත් කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කරයි.

නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බව සඳහන් කරන නවදගල පදුමකිත්ති හිමි වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමු කර මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ko

asianmirror.