HIV මිථ්‍යාමත දුරලන්න වැඩපිළිවෙළක්

එච්.අයි.වී.ඒඩ්ස් රෝගය පිළිබඳව පවතින මිථ්‍යාමත දුරලීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරගෙන යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

පසුගිය දිනවල  කුලියාපිටිය ප්‍රදේශයේ දරුවෙකු පාසලකට ඇතුළත් කර නොගැනීමේ සිද්ධියත් සමග ඇති වු තත්ත්වය මුල්කරගනිමින් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණි.

මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන්වල වගකීම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා විසින් සිදුකරනු ලබයි.

දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ජනතාව ඒඩ්ස් වෛරසය පිළිබඳව දැනුම්වත් කරනු ලබන අතර දේශපාලනඥයන් හා නිලධාරීන් ද ඊට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් පුරප්පාඩුව පැවති තනතුරු කිහිපයක් සඳහා වැඩබලන නිලධාරීන් පත් කර ඇති බවයි.

ඒ අනුව වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය කමල් ජයසිංහ මහතාත්, වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාත්, රසායනාගාර සේවා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍යෙ හේමන්ත බෙණරගම මහතාත් පත් කර තිබේ.

ඊට අමතරව බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස චම්පිකා වික්‍රමසිංහ මහත්මිය පත් කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනෙකුත් අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාප්පාඩු පිළිබඳව මෙම සතියේ දී පුවත්පත් මගින් ප්‍රසිද්ධ කිරීමට සැළසුම් කර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

1