ඉන්ද්‍රචාපට – සමනලීට වරෙන්තු

අලූ‍ත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පී ඉන්ද්‍රචාප ලියනගේ යන අයවලූ‍න් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය ඊයේ (31දා* විවෘත වරෙන්තු නිකුත් කළාය.

මහෙස්ත‍්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කෙළේ ‘මුළාවෙන් මිදෙමු‘ යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අලූ‍ත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රි කමල් ඉන්දික මහතා ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදීය.

පළාත් සභා මන්ත‍්‍රි ‍කමල් ඉන්දික මහතා සහ මේ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින තවත් තිදෙනකු ඊයේ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර මේ නඩු විභාගයේ පැමිණිල්ලේ දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සමනලී ෆොන්සේකා මෙනෙවිය සහ ගායන ශිල්පී ඉන්ද්‍රචාප ලියනගේ මහතා හෝ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

ඊයේ දිනයේදී නඩු විභාගය පැවැත්වෙන බවට අධිකරණය විසින් පෙර දැනුම්දීමක් කර තිබියදීත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළාය.

එම අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණීම මඟහරින්නේ නම් විත්තිකරුවන් ලෙස නම් කර සිටින පළාත් සභා මන්ත‍්‍රිවරයා ඇතුළු පිරිස මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නඩු විභාගය ජූලි මස 7 වැනිදා යළි කැඳවීමට නියමිතය.

g