පිස්සුවෙන් ආදරය කර ජීවිතය වරද්දාගත් නිලූකා

ආදරේ කියන්නේ හරියට සිමා මායිම් නැති පරිත්‍යාගයක් වගේ… අපිට ජීවත් වෙන්න ආදරේ කියන දේ අත්‍යවශ්‍යයි. ඒත් ඒ ආදරේ ඇතුළේ අපි නොදකින ගින්දරක් තියෙනවා. මේ ආදරේ ඇතුළේ අපි නොදකින ගින්න තමයි රාගය කියන්නේ. මේ රාගය කියන ගින්න ඉක්මනටම ඇවිළෙනවා වගේම, ඉක්මනට නිවෙනවා. හැබැයි ඒ ගතවෙන තත්පර ගණන ඇතුළේ ඔයාගේ ලස්සන ජීවිතේ පිච්චිලා අළුවෙලා යන්න පුළුවන්. පරිස්සමෙන්… ඔය ආදරේ පෙන්නන මුහුණ පිටිපස්සේ රාක්‍ෂ වෙස් ගත්ත නරුමයෙක් ඉන්නවා.

26_PAGE_02_RASA
නිලූකා කියන්නෙත් ලස්සන සුන්දර ගැහැනු ළමයෙක්. ඒත් ඒ ලස්සන සුන්දර දේවල් කාටවත් නොපෙනෙන බිත්ති හතරක් ඇතුළේ හිරවෙලා මේ විදිහට විඳවන්නේ ආදරේට මුළා වෙච්ච නිසා. ඔයාගේ ජීවිතෙත් මේ විදිහට වැරදෙන්න ගිහින් ඇති. වැරදිලා ඇති… හිතන්න… මේ ඔයාගේ ජීවිතේ වුණා නම්, කොයිතරම් වැරදි සිද්ධ වුණත්, කොයි තරම් සමාජයෙන් කොන් වුණත් නිලූකා කියන්නෙත් අපේම සහෝදරියක්.
නිලූකා කියන්නේ ගුරු මව්පිය දෙපළකගේ බාලම දියණිය. වැඩිමහල් සහෝදරියෝ දෙදෙනෙකුගේ ආදරේට මැදි වෙලා හැදුණ වැඩුණ නිලූකාට. ජීවිතේ කියන්න මොකක්ද කියලා තේරුමක් තිබුණේ නැහැ. ගෙදර හුරතලී වුණේ නිලූකා. වැඩිමහල් දියණියන් දෙදෙනාටම වඩා මාපියන් වැඩි ආදරයක් දැක්වුවේ නිලූකාට.
මට කවදාවත් ගෙදරින් කිසිම අඩුවක් කළේ නැහැ. අක්කලා දෙන්නට වඩා අප්පච්චියි අම්මායි ආදරේ කළේ මට. අපි තුන්දෙනාටම හොඳට ඉගෙන ගන්න පුළුවන්. අක්කලා දෙන්නට වඩා මම ගොඩක් වයසින් බාලයි. ලොකු අක්කා විශ්වවිද්‍යාලයට තේරෙනකොට මම හත වසරේ. පොඩි අක්කාව අම්මලා උසස් අධ්‍යාපනයට පිටරට යැව්වා. ගෙදර රැඳුණේ මම විතරයි. ඒ නිසාම ගෙදරින්  ලැබුණු ආදරේ නම් වචනයෙන් කියන්න බැරි තරම්. අපේ ගම නුවර. මම පාසල් ගියේ නුවර ප්‍රසිද්ධ පාසලකට. පාසල් යන අතරතුරේදී තමයි මගේ ජීවිතේට විශේෂ කෙනෙක් මුණ ගැහෙනේනේ. එයා තමයි මම අර කලින් කියපු නුවන්. නුවන් අයියා මට වඩා අවුරුදු තුනකින් වැඩිමහල්. මට ආදරේ කියන්නේ මොකද්ද කියලා තේරුමක් තිබුණේ නැහැ. ඒත් මම නුවන් අයියට ගොඩක් ආදරේ කළා. මේ විදිහට අපේ ආදරේ හරිම සුන්දර විදිහට ගලාගෙන ගියා. අපි නිතර මුණ ගැහුණා. කථා කළා. ඒත් මොන පිස්සුවක් නැටුවත් මම අධ්‍යාපන වැඩ අතපසු කරගත්තේ නැහැ. අපේ ප්‍රේම සම්බන්ධතාව අම්මා අතට කිහිපසැරයක්ම අහුවුණා. අප්පච්චි සති ගණන් මාත් එක්ක කථා නොකර හිටියා. අම්මගෙන් වැදුණු කෝටු පාරවල් නිසාම මගේ හිත දරුණු වුණා. මේ දේවල් එක්ක අපිට මුණ ගැහෙන්න තිබුණ නිදහස ගොඩක් සීමා වුණා. ඒ ප්‍රේම සම්බන්ධතාව නිසා මම අම්මගෙනුයි අප්පච්චිගෙනුයි නොසෑහෙන්න ගුටි කෑවා. බැණුම් ඇහෙව්වා. ඒත් මට නුවන් අයියව අමතක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

5
නුවන් අයියගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධතාව අම්මා දැන ගත්තට පස්සේ මට ගෙදරින් එළියටවත් බහින්න දුන්නේ නැහැ. මම හරියට ජීවත් වුණේ හිරකාරියක් වගේ. මේ දේවල් එක්ක අපි නිතර මුණ ගැහුණේ පාසලේදීමයි. කොතැන ගියත් අම්මා හරි අප්පච්චි හරි පිටිපස්සෙන් එන්න ගත්තා.
දවසක් එදා අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය. නුවන් අයියත් එදා අපේ ක්‍රීඩා උත්සවය බලන්න ආවේ සහෝදර පාසලක් විදිහට. එදාට අපේ කට්ටියට නිදහස් දවසනේ. නුවන් අයියයි මමයි පාසලේදි මුණ ගැහුණා එදා…
එදා නිලූකට මේ පාසල කියලා අමතක වුණා. ඇගේ පාසලට නුවන් ආවේ සහෝදර පාසලක් විදිහට ක්‍රීඩා උත්සවය නරඹන්න. එදා ඒ ලැබිච්ච නිදහස නිලූකාට දැනුණේ හිර කරලා ඉඳපු සතෙක් කූඩුවෙන් මුදා හැරියා වගේ සතුටක්. එදා පාසලේ පාළු ශාලාවක් ඇතුළේ නුවනුත් නිලූකත් එයාලගේ ලෝකෙක තනි වුණා. නිලූකගේ  හැසිරීම් රටාව ඉහළ නිල දරන්නන්ට සුක්‍ෂ්ම විදිහට ආරංචි වුණා. එදා නිලූකගේ හැසිරීම් රටා පාසලට ලොකු කැළලක් වුණා කියලා නිලූකව පාසලෙන් ඉවත් කරන්න පාසලේ ප්‍රධානීන් ගත්ත තීරණයට නිලූකාගේ අම්මා එකඟ වුණා. නිලූකගේ අම්මත් නුවර ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක්. එදා පාසලේ ගුරුවරු ඉදිරියේ ලජ්ජාව දරාගෙන නිලූකගේ අම්මා නිලූකගේ අස්වීමත් අරන් ගෙදර ආවේ මරුවා වේසයෙන්.
“මගේ එකා මට හදා ගන්න බැරුව මං කොහොමද අනෙක් දරුවන්ට හැදෙන්න කියන්නේ… අක්කලා දෙන්නා කවදාවත් අම්මා අප්පච්චිගේ හිත රිද්දුවේ නැහැ. උඹට අපි නිදහස දුන්නා වැඩියි. ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නා. අක්කලා දුක් විඳගෙන ඉගෙන ගනිද්දි අපි උඹට සැප දුන්නා. එහෙම කරපු අම්මා අප්පච්චිට මේවද උඹ දෙන තෑගි.”
“ලජ්ජයි මට උඹ මගේ දුව කියන්නත්”
නිලූකගේ අම්මා මේ වේදනාව දරා ගත්තේ බොහොම අමාරුවෙන්. ඇය ගුරුවරියක් නිසා මේ ප්‍රශ්නය ඇගේ මනසට ප්‍රබල විදිහට බලපෑවා. මේ සමාජයේ බුද්ධිමත් වැදගත් දෙමාපියන්ගේ දරුවෝ නොමඟ ගිය මේ පළමු අවස්ථාව නෙමෙයි. නිලූකා කියන්නේ මෙවැනි සිදුවීමකට පාසලෙන් ඉවත් කළ පළමු ශිෂ්‍යාවත් නෙමෙයි. ඒත් මෙතනින් එහාට නිලූකා ඇගේ ජීවිතේ හරියි කියලා ගත්ත තීන්දු තීරණ ජීවිතේ විනාශයට ළං කළා. පාසලෙන් ඉවත් කළාට පස්සේ නිලූකාට මොකද වුණේ.?
අම්මා මාව අම්මා උගන්වපු පාසලටම දාගත්තා. ඒ ප්‍රශ්නෙත් එක්ක නිදහස කියන දේ මට ලැබුණෙම නැහැ. අම්මයි අප්පච්චියි ලොකු අක්කයි ගැහුව බැන්නා මිසක් මට හොඳක් නරකක් කියලා දුන්නේ නැහැ. ලොකු අක්කා මාස ගාණක් මගේ මූණවත් බැලුවේ නැහැ. ඒ දේවල් මතක් කර කර නිතරම කළේ මට බැණපු එක. ඒ දේවල් එක්ක මට ගෙදර පරිසරය එපා වුණා. ගෙදර අය ගැන මට වෛරයක් ඇති වුණා. මම දන්නවා මම කළේ වරදක් කියලා. ඒත් ඒ වේලාවේ මට හරි වැරැද්ද තේරුම් ගන්න මානසිකත්වයක් තිබුණේ නැහැ. මම නුවන් අයියාගේ ආදරේ එක්ක පිස්සු වැටිලා හිටියේ. මොන ප්‍රශ්නෙ ආවත් අපේ සම්බන්දෙ නතර කළේ නැහැ. අපි දෙන්නා පුළුවන් විදිහට හොරෙන් හොරෙන් මුණ ගැහුණා. නුවන් අයියා දහඅට සම්පූර්ණ වෙනකොටම හමුදාවට බැඳුණා. එයා හමුදාවට බැඳෙන්න තීරණය කළාට පස්සේ මම නොසෑහෙන්න ඇඬුවා. එයා නිතරම කිව්වේ න්‍දඉ එකක් සොයාගත්ත ගමන් මාවත් එක්කර ගෙන යනවා කියලා. ඒත් මං හීන දැකපු, පණ වගේ ආදරය කරපු, ඒ නුවන් අයියා හමුදාවට බැඳුනට පස්සේ ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. වෙනදා වගේ කථා කළේ නැහැ. වෙනදා වගේ මුණ ගැහෙන්න ආවේ නැහැ. එයා වෙනුවෙන් මම ගුටිකාපු හැටි, මාව ඉස්කෝලෙන් අස් කරපු හැටි, මගේ අම්මා අප්පච්චි ලජ්ජවුණ හැටි මට මතක් වෙනකොට ජීවිතේ නැති කරගන්න තරම් හිතුණා.
ඒ වෙනකොට නිලූකා ඇගේ ගෞරවය නුවන් ඉදිරියේ පූජා කරලා හමාරයි. ආයෙම ජීවිතේ ආපස්සට හැරෙන්න බැහැ. ආපසු හැරිලා අඬනවා මිසක් නිලූකාට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නැහැ. නිලූකා පිස්සුවෙන් වගේ නුවන්ව සෙව්වා. මිතුරන් හරහා නුවන්ට කථා කරන්න උත්සාහ කළා. ඒත් ඒ කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ. නිලූකගේ මේ හැම දෙයක්ම වෛරයක් විදිහට පෙරලුණා. අධ්‍යාපන වැඩවලින් නිලූකා ටිකෙන් ටික පසු බැස්සා. ඔය අතරතුරදි ඇගේ ජංගම දුරකථනයට නුවන්ගේ මිතුරෙක් කථා කරන්නේ නුවන් පිළිබඳ තොරතුරු කියන්න.
ඊට පස්සේ මොකද වුණේ?
මට අදහගන්න බැරි වුණා. තොරතුරක් නැතුව ඉඳපු නුවන් අයිය ගැන එකපාරටම ක්‍්කක එකක් ආවම ඒ සතුට මට වචනයෙන් කියන්න බැහැ. එයා නුවන් අයියගේ යාළුවෙක්. මට ඒ අයියා දවසක් මුණ ගැහෙන්න එන්න කිව්වා. බයක් හිතුණේ නැහැ මම ගියා. නුවන් උතුර පැත්තේ ඉන්නේ කථා කරන්න අමාරුයි. ඔයාට ඒ පණිවිඩය දෙන්න කිව්වා කියලා. ඒ අයියා කිව්වා. එයා මට දිගින් දිගිටම කථා කරන්න ගත්තා. මගේ දුක ඇහුවා. මගේ හිත හැදුවා. දන්නෙම නැතුව අපි දෙන්නා අතර අමුතු යාළු කමක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි අපි මුණ ගැහුණා. එයා දුෂ්මන්ත. නුවන් කථා නොකරන දුක මට දුෂ්මන්ත නිසා වෙනදා වගේ දැනුණේ නැහැ. මාස තුනක් විතර අපේ යාළුකම ආදරේකට පෙරළුණා. දුෂ්මන්ත අයියා මට වඩා ගොඩක් වැඩිමල්. එයා මට ලස්සන ඇඳුම් අරන් දුන්නා. ෆෝන් එකක් අරන් දුන්නා. මේ දේවල් එක්ක දුෂ්මන්ත අයියා මට ආදරේ කරනවා කියලා හිතුණා.
නුවන් මත්තෙම මැරි මැරි ඉඳපු නිලූකට දුෂ්මන්ත මුණ ගැහෙන්නේ නුවන් හරහාමයි. දුෂ්මන්තත් හමුදා නිලධාරියෙක්. ඇත්තටම අවුරුදු ගණනක් නුවන් නිලූකට කරපු ආදරේ අවංක ආදරයක් නෙමෙයි. නුවන් ආදරේ කළේ නිලූකාගෙන් විවිධ ප්‍රයෝජන ගන්න. ඒත් නිලූකා නුවන් ට ආදරේ කළේ අවංකව.
දුෂ්මන්ත අයිය අවුරුදු ගාණක් යුද හමුදාවේ සේවය කරන පුද්ගලයෙක්. ඔහු ස්ත්‍රී දූෂණ, ළමා අපචාරවලට චෝදනා ලැබූවෙක්. මේ සියල්ලම හුවමාරු වෙන්නේ කිහිපදෙනෙකු අතර පමණයි. ගෑනු ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන ඒ නරුමයන් විනෝදයට කරන භයානක දෙයක් මේක. මේ විදිහට ජංගම දුරකථන හරහා කථාබහ කරලා විශ්වාස දිනාගෙන හෝටල් කාමර ගාණේ එක්ක ගිහින් මාස කිහිපයකදී ඒ පුද්ගලයන් හිටි හැටියෙම අතුරුදන් වීමේ ජාවාරමක් මේක. නුවනුත් යුද හමුදාවට බැඳුනට පස්සේ යාළුවො හරහා මේ ජාවාරමේ හවුල් කාරයෙක් වුණා. ඒ විදිහට තමයි නුවන් අවුරුදු ගාණක් ආදරේ කරපු කෙල්ලව දුෂ්මන්තට සම්බන්ධ කර ගන්න උදව් කරන්නේ. හැමෝම මේ ලේබලේට දාන්නේ නැහැ. හොඳ මිනිසුන් අතර මේ වගේ නරුමයොත් ඉන්නවා කියලා හොඳට මතක තියා ගන්න. ඒ නිසා අම්මා තාත්තා තමන්ගේ සහෝදරයෙකුගෙන් පස්සේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.
ලැඟුම්හල් කිහිපයක කළ වැටලීමකදී නිලූකා දුෂ්මන්ත සමඟ පොලිස් ඇසට හසුවෙන්නේ පසුගිය දවසකදි. ඇය දෙවැනි වතාවටත් මාපියන් මේ සමාජය ඉදිරියේ ලජ්ජාවට පත් කළා. ඒ ලජ්ජාව දරාගන්න බැරුව නිලූකගේ අම්මා ගුරු වෘත්තියෙන් සමුගන්න තීරණය කළා.
ඔබ නොසිතන, සැඟවුණු ගොඩක් මේ සමාජය ඇතුළේ සිද්ධ වෙනවා. ගෑනු ළමයකුට ජීවිතේ වැරදුනොත් ආයෙම නැවත ඒක හදාගන්න බැහැ. අපිට කොච්චර ආදරේ කරන මිනිස්සු මුණ ගැහුණත් ආදරේ කියන්නේ තාවකාලික දෙයක්.  ආදරය කියන දේ රාගය කියන ගින්දරට අහුවුණොත් විශ්වාසය කියන දේ පෑල දොරෙන් පැනලා යනවා. මේ සමාජය හරිම විසකුරුයි. කොයි වෙලාවේ දෂ්ට කරනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා හැම දෙයක් ගැනම බුද්ධියෙන් හිතන්න. එතකොට කාටවත් ඔබව රවට්ටන්න බැහැ.
නම් ගම් මනඃකල්පිතයි.

m181