ලෝකය හොල්ලන පැනමා පත්‍රිකා

දැනට බලයේ සිටින හා බලයේ සිටි රාජ්‍ය නායකයන් 12 දෙනකු මේ අපවාදයට මැදිවන විට රාජ්‍ය නායකයන් හා දේශපාලනඥයන්ගේ ඥාතීන් හා සමීපතමයන් 60 කට වැඩි පිරිසක් ද මේ අතර සිටිති.

“පැනමා ලියැවිලි” නම් චණ්ඩ මාරුතය දේශපාලන – කලා – ක්‍රීඩා – ව්‍යාපාර ලෝකය කළඹමින් සිටී. මේ සෑම ක්ෂේත්‍රයකම සුප්‍රකට හා සම්භාවනීය චරිත ගණනාවක් අපකීර්තිය නම් දූලි වළාවෙන් වසා දමමින් “පැනමා ලියැවිලි” ඔවුන් පසුපසින් වැටී තිබේ. මේ අපවාදය ලක්ව ඇති බව කියැවෙන පිරිස අතර දැනට බලයේ සිටින හා සිටි රාජ්‍ය නායකයන් 12 දෙනකු ද සිටිති. ඔවුන් අයිස්ලන්තය, යුක්රේනය, පාකිස්තානය, සවුදි අරාබිය, රුසියාව, එංගලන්තය හා ආජන්ටිනාව යන රටවලට අයත්ය. මේ ලේඛන මඟින් හෙළිදරව් කර ඇති ටෙරාබයිට් 2.6 ක දත්ත එකතුව අතර සමාගම් 214,000 කට අයත් තොරතුරු ද තිබේ. වෝටර්ගේට් අපවාදය හේතුකොටගෙන අමෙරිකා ජනාධිපති රිචඩ් නික්සන්ට ගෙදර යාමට සිදුවූ අයුරින්ම පැනමා පත්‍රිකා අපවාදය හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමට අයිස්ලන්තයේ රාජ්‍ය නායකයා වන සිග්මන්දූර් ඩේවිඩ් ගස්ලෝග්සන්ට සිදුවිය.

පැනමා ලියැවිලි යනු ඉකුත් 3 වැනිදා “ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකතුව” (ICIJ)_නම් මාධ්‍ය සංවිධානය විසින් පැනමාව මූලස්ථානය කොටගත් මොසැක් ෆොන්සේකා නම් අක්වෙරළ ගනුදෙනු සඳහා ප්‍රකට නීති උපදේශන ආයතනය සතු මිලියන 11.5 ක තරම් රහස්‍ය ලේඛන විශාල තොගයක් ප්‍රසිද්ධියට පත්කිරීමය. එම වාර්තා ආසන්න වසර 40 ක කාලසීමාවට අයත්ය. විවිධ බලවත් පුද්ගලයන් හා සමාගම් බදු මඟහරිමින් අක්වෙරළ ගනුදෙනුවල යෙදී සිටි ආකාරය මෙහිදී හෙළිදරව් වී තිබේ. එය විකිලීක්ස් හෙළිදරව්වටත් වඩා කිහිප ගුණයකින් විශාල ආන්දෝලනාත්මක හෙළිදරව්වකි. “පැනමා ලියැවිලි” යනුවෙන් එම තොරතුරු ලොව පුරා ප්‍රචලිත විය. මොසැක් ෆොන්සේකා නීති උපදේශාත්මක ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ පැනමාවේය. එය පැනමා ලිපි ලේඛන යනුවෙන් ප්‍රකට වූයේ එබැවිනි.

අක්වෙරළ ගනු – දෙනු පිළිබඳ ඉහළම පෙළේ පරිචයක් මෙම සමාගම සතුය. එම නීති කෘත්‍යයන් සඳහා ඇති නීති සේවා සපයන සමාගම් අතරින් ලෝකයෙන්ම සිව්වෙනි තැන ලබා සිටින්නේද මොසැක් ෆොන්සේකාය. ජර්මනියේදී උපත ලැබූ ජර්ගන් මොසැක් හා රැමොන් ෆොන්සේකා මේ සමාගම ස්ථාපිත කළේ 1977 දීය. බුද්ධිමය දේපළ හිමිකම් සහ සමුද්‍රීය කටයුතු පිළිබඳ නීති සේවා සැපයීම ඉන් සිදුවේ. සමාගමේ කාර්යාල 40 ක් පමණ ලොව පුරා ස්ථාපිතව ඇත.

මියුනිච් නගරයේ ප්‍රකාශයට පත් කෙරෙන දිනපතා පුවත්පතක් වන Suddeutusche Feitung වෙත පැනමා ලේඛන හෙළිදරව්වට අදාළ රහස්‍ය ලිපි ලේඛන ලැබී ඇති අතර ඔවුන් එය ICIJ වෙත භාරදී තිබේ. ICIJ මඟින් ලොව පුරා සිටින රටවල් 80 ක මාධ්‍යකරුවන් 370 දෙනකු යොදවා එම තොරතුරු වි‍ශ්ලේෂණය කර ඇතැයි සඳහන්ය. එම වාර්තාව මඟින් හෙළිදරව් කරන පරිදි මොසැක් ෆොන්සේකා විසින් ලොව පුරා අඥාත අක්වෙරළ සමාගම් අලෙවි කිරීම සිදුකර ඇත.

ආවරණයක් සහිත එවැනි සමාගම්වල ආයෝජන කිරීම මඟින් ඒවායේ හිමිකරුවන්ට ප්‍රසිද්ධියකින් තොරව ව්‍යාපාර කරගෙන යාමට අවකාශ ලැබිණි. එවැනි සමාගමක හිමිකරුවකු වීම නීතිවිරෝධී කටයුත්තක් නොවේ. සාමාන්‍යයෙන් ලොව ප්‍රකට පුද්ගලයන් සිය වත්කම් සැබෑ ලෙසම ප්‍රසිද්ධියට පත්වීම වළක්වා ගැනීමේ අරමුණින් ඒවායේ ආයෝජන සිදුකරයි. එවිට එය නීත්‍යානුකූල නොවේ.

එවැනි අය තවත් කවර අන්දමකින් හෝ උපයාගත් මුදල් ඒවායේ ආයෝජන කරන අතර තමන්ම ඉදිරිපත් වීම වෙනුවට එවැනි සමාගමක් මිලට ගන්නේ නීතිඥයකු මඟිනි. මෙවැනි අක්වෙරළ ගනුදෙනු පිළිබඳ ඊ-මේල්, ගුවන් ගමන් බලපත්‍ර, සමාගම් ලේඛන, මූල්‍ය වාර්තා වැනි නොයෙක් මූලාශ්‍ර ඔස්සේ වාර්තා 214,488 ක් ICIJ වෙත ලැබී තිබිණි.

මොසැක් ‍ෆොන්සේකා නීතිඥ සමාගමේ සේවය ලබාගෙන ඇති සේවා දායකයන් මුදල් විශුද්ධිකරණය, බදු ගෙවීම මඟහැර සිටීම, සම්බාධක මඟහැරීම වැනි නීත්‍යානුකූල නොවන ක්‍රියාවල නිරත වී ඇති අයුරු “පැනමා ලේඛන” මඟින් හෙළිදරව් කරයි. මේ දක්වා ඉතිහාසයේ මෙවැනි විශාලම හෙළිදරව්ව ලෙස සටහන් වූයේ විකිලීක්ස් හෙළිදරව්වයි. විකිලීක්ස් මඟින් හෙළිකරන ලද දත්ත ප්‍රමාණය සැන් ෆ්‍රැන්සිස්කෝ හි ජනගහනයට සමානය. සන්සන්දනාත්මකව බලන විට “පැනමා ලේඛන” මඟින් හෙළිදරව් කර ඇති දත්ත ප්‍රමාණය ඊට බෙහෙවින් විශාලය. එය ඉන්දියාවේ ජනගහනයට සමාන කළ හැකිය.

දැනට බලයේ සිටින හා බලයේ සිටි රාජ්‍ය නායකයන් 12 දෙනකු මේ අපවාදයට මැදිවන විට රාජ්‍ය නායකයන් හා දේශපාලනඥයන්ගේ ඥාතීන් හා සමීපතමයන් 60 කට වැඩි පිරිසක් ද මේ අතර සිටිති. බටහිර මාධ්‍ය වාර්තාවලට අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයන් ද එම ලැයිස්තුවට අයත්ය. චීන ජනාධිපති ෂී ජින්පිංග් ගේ මස්සිනා ද, යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ, ආජන්ටිනා ජනාධිපති මොරියියෝ මස්රි, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ දිවංගත පියාණන් මෙන්ම පාකිස්තාන අගමැති නවාෂ් ෂෙරිෆ් ගේ දරුවන් තිදෙනෙකු ද “පැනමා ලේඛන” මඟින් හෙළිදරව් කර තිබේ. මීට දෙදිනකට පෙර ඉල්ලා අස්වූ අයිස්ලන්ත අගමැති සිග්මන්දූර්ට එල්ල වූ චෝදනාව ඔහුගේ බිරිඳගේ නමින් තිබූ හෙළිදරව් නොකරන ලද ධනයයි.

රුසියා – චීන නායකයන් ඉලක්ක කර ඇති හෙළිදරව් කිරීම් පිළිබඳ ප්‍රතිචාර දක්වන එම රටවල් ඒවා බැහැර කර ඇත. “පැනමා ලේඛන” හෙළිදරව්ව පිටුපස සී. අයි. ඒ. සංවිධානය පවා සිටින බව ඔවුහු කියා සිටිති. රුසියානු ජනාධිපති පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන් සමඟ පවසා තිබුණේ මෙවැනි මාධ්‍යකරුවන් මෙන්ම ඇතැම් සංවිධානවලද අරමුණ ජනාධිපති පුටින්ගේ කීර්තිනාමය විනාශ කිරීම හා තම රටේ නායකත්වයට කැළැලක් ඇතිකිරීම බවයි. “මේක අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, සී. අයි. ඒ. සංවිධානයේ සහ තවත් ආරක්ෂක අංශවල සේවය කරපු පිරිසකගේ වැඩක්” යනුවෙන් ඔහු එය බැහැර කර තිබිණි.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද තමන් සතුව මෙවැනි වත්කමක් නැතැයි පවසා තිබිණි. ඔහු පවසන පරිදි ඔහුට ඇත්තේ නිවසක් සහ තවත් වත්කම් කිහිපයක් පමණි.

“පැනමා ලේඛන” මඟින් හෙළිදරව් කෙරී ඇත්තේ රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් පමණක් නොවේ. ලෝක පාපන්දු ෆෙඩරේෂණය ද (Fifa) මේ ලැයිස්තුවට අයත්ය. උරුගුයානු නීතිඥයකු වන හුආන් පෙද්රෝ දවියානි විසින් Fifa හි හිටපු උප සභාපතිවරයාට අක්වෙරළ සමාගම් 7 ක් වත් මිලට ගැනීමට නීතිමය සහාය ලබා දී ඇතැයි එහි සඳහන්ය. පාපන්දු ක්‍රීඩාවේ දූෂණ පිළිබඳ සිදුවන අමෙරිකානු විමර්ශනයක් තුළ හිටපු උප සභාපතිවරයා ඉකුත් මැයි මස අත්අඩංගුවට ගෙන සිටී. ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හා ඔහුගේ පියා ගේ නම ද මේ ලැයිස්තුවට අයත්ය.

මීට අමතරව සවුදි අරාබියේ රජු සල්මාන් බින් අබ්දුල්ලාසිස්, ලොව ධනවත්ම පුද්ගලයන් අතරට ගැනෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මෙන්ම අබුඩාබියේ එමීර්වරයා ද වන ෂෙයික් ඛලීෆා බිම්ෂයද් බින් සුල්තාන් අල් නහ්යාස් මෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය මඟින් ප්‍රකාශිත ලොව වඩාත් දූෂිත දේශපාලනඥයන් 10 දෙනාගේ ලැයිස්තුවේ සිටින යුක්රේනයේ හිටපු අගමැති පැව්ලෝ ලෂරෙන්කෝ ද “පැනමා ලියැවිලි” මඟින් හෙළිදරව් කර ඇත.

ඉන්දියානු ව්‍යාපාරික දැවැන්තයන්, නීතිවේදීන් හා කලාකරුවන් කිහිපදෙනෙකු ද මේ හෙළිදරව්ව මඟින් නිරාවරණය වී තිබේ. ඒ අතර අමිතාබ් භච්චන්, අයිශ්චර්යා රායි, හිටපු නීතිපති (1999 – 2002) හරිෂ් සැල්වේ ද වෙති.

මේ අතර අයිරිෂ් ටයිම්ස් පුවත්පත මඟින් හෙළිදරව් කර ඇත්තේ ශ්‍රි ලංකාවේ සමාගම් 3කට අයත් ගනුදෙනුකරුවන් 3දෙනකුගේ හා කොටස් හිමියන්22 දෙනකුගේ ගිණුම් පැනමා සමාගමක රහස් ගිණුම්වලට ඇතුළත් බවය.එසේම අයි.සී.අයි .ජේ තොරතුරුවලට අනුව අයිරිෂ් පුවත්පත මඟින් සිතියමක් ද සකස්කොට ඇති අතර එම සිතියමට ශ්‍රී ලංකාවද ඇතුලත්ළුි ඇත.

“පැනමා ලියැවිලි” පිළිබඳ මොසැක් ෆොන්සේකා දක්වා ඇති ප්‍රතිචාරය ද අවධානයට ලක්විය යුතුය. එහි දැක්වෙන්නේ තමන් පැනමාවේදී නීතිවිරෝධී වන කිසිදු කටයුත්තක යෙදී නැති බවය. ගතවූ 40 වසරක පමණ කාලසීමාව තුළ තම සමාගමට වැරැදි ව්‍යාපාර කිරීම පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වී නැතැයි ද ඔවුහු පෙන්වා දෙති. හෙළිදරව් කෙරී ඇති දත්ත නීතිවිරෝධී අයුරින් ලබාගෙන තිබෙන බවත්, තමන් දත්ත මංකොල්ලයක වින්දිතයන් බවට පත්ව ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වේ. “නිසැකවම, කිසිදු කෙනෙක් තමන්ගේ දේපළ සොරකම් කරනවාට කැමැති වන්නේ නෑ. අප ද මේ වරදට වගකිවයුතු පාර්ශ්ව නීතිය හමුවට ගෙනඒමට කළ හැකි සියල්ල කරනවා…” යනුවෙන් මොසැක් ෆොන්සේකා සමාගම පවසයි. සිය සේවාදායකයන් වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය සේවා සපයන බව ද ඔවුහු කියා සිටිති. සමාගමේ සම නිර්මාතෘවරයකු වන රැවොන් ෆොන්සේකා සී. එන්. එන්. සමඟ පවසා ඇති පරිදි ප්‍රකාශිත තොරතුරු වැරැදි සහගතය. එම ඇතැම් තැනැත්තන් හෝ සමාගම් තම සේවා දායකයන්වත් නොවන බව ද ඔහු පවසා තිබේ.

මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔවුන් ICIJ වෙත සපයා ඇත. “පැනමා ලියැවිලි” මඟින් යුරෝපය, ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ අමෙරිකාව යන සෑම කලාපයක්ම ආවරණය වී තිබේ. මෙවැනි හෙළිදරව් කිරීම් මඟින් සිදුවන විශාලම ප්‍රතිවිපාකය එය රහස්‍යභාවයට බලවත් පහරක් එල්ල කිරීමය. මෙවැනි හෙළිදරව්වක හොඳින්ම අලෙවි කළ හැකි කාරණය අක්වෙරළ බදු ක්ෂෙමස්ථාන යන්නය.

අනපේක්ෂිත මොහොතක සිදුවන මෙවැනි මහා පරිමාණ හෙළිදරව් කිරීම් ලොව කැළැඹීමේ සමත් බව එක් කාරණයකි. ඉන් ඉදිරිපත් කෙරෙන සත්‍ය ද එම හෙළිදරව්ව මඟින් අපේක්ෂිත අරමුණ අවංක ද වැනි කාරණා ද මෙවැන්නක් විග්‍රහ කර ගැනීමේදී අදාළ කරගත යුතුය.

එසේ නොමැතිව හුදෙක් තමන්ට රිසි නොවන හා අවනත නොවන තැනැත්තන් හෝ බලවේග මෙල්ල කිරීමේ අරමුණ ඇතිව ඒවා නිර්මාණය කෙරෙන්නේ නම් ඉන් ලෝකයට සිදුවන යහපතක් නැත.