පෘථිවියේ හීලියම් අවසන් වීම අත ළඟටම ඇවිත්

ගන්ධයකින්, රසයකින් හා විෂෙන් තොර අවර්ණ වායුවකි. නිෂ්ක්‍රීය වායුවක්ද වේ. පහළම තාපාංකයක් සහ ද්‍රවාංකයක් ඇත්තේ හීලියම්වලටය. හයිඩ්‍රජන් හැරුණුවිට විශ්වයේ බහුලවම ඇත්තේ හීලියම් බව කියැවේ.

අප අයත් ක්ෂිර පථයෙන් 24%ක්ම හීලියම්ය. හීලියම්, සූර්යයාගේ රසායනිකයක් බව මිනිසා පළමුවෙන්ම දැනගත්තේ 1868 වසරේ අගෝස්තු 18 වැනි දිනයි. පෘථිවියෙහි ඇති හීලියම් ගැන හෙළිවුණේ විසුවියස් ගිනිකන්ද ආශ්‍රයෙන් ඉතාලි භෞතික විද්‍යාඥ ලුයිගි පැල්මීරී කළ පර්යේෂණයකිනි.
1865 වසරේදී ස්කොට්ලන්ත රසායන විද්‍යාඥ විලියම් රැම්සේ භූගත ඛණිජයකින් හීලියම් වෙන්කර ගන්නට සමත්විණ. ග්‍රීක බසින් හිරු හැඳින්වෙන “හෙලියෝස්” යන පදයෙන්“හීලියම්” යන්න බිඳී ඇත. එකී නමින් හීලියම් හැඳින්වූයේ ඉංග්‍රීසි ජාතික විද්‍යාඥ එඩ්වර්ඩ් ෆ්‍රැන්ක්ලෑන්ඩ්ය.

හීලියම් වායුව ස්වාභාවිකව සංචිත හැටියට පවතී. මේ සංචිත සියල්ලකම ඇති හීලියම් ප්‍රමාණය ඝන මීටර බිලියන 40ක් පමණ වන බව විද්‍යාඥයෝ පවසති.

එකී ස්වාභාවික සංචිතවල අඩංගු හීලියම්වලින් හතරෙන් එකක්ම තිබෙන්නේ කටාර් සහ ඉරාන රාජ්‍යයන්ට අයත් දකුණු පාර්ස් – උතුරු ඩෝමේ වායූ ක්ෂේත්‍රෙයෙහිය.
ඒ හැරුණුවිට අමෙරිකා එක්සත් ජනපදය, ඇල්ජීරියාව, රුසියාව සහ පෝලන්තය යන රාජ්‍යවලත් හීලියම් වායූ සංචිත පිහිටා තිබේ.

නිෂ්ක්‍රීය වායුවක් හැටියට පැවතියත් හීලියම් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වායුවකි. 2014 වසරේදී නිෂ්පාදනය කෙරුණු හීලියම්වලින් 32%ක ප්‍රමාණයක් භාවිතයට ගැනුනේ ශීත ජනනය කිරීමේ කාර්යයන් සඳහාය.

එහිලා වඩාත් කැපී පෙනුණේ වෛද්‍ය ක්ෂේත්‍රය බව අමතක නොකළ යුත්තකි. එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර තුළ ශීත ජනනය කිරීමේ කටයුත්තට හීලියම් අත්‍යවශ්‍ය වේ. වැල්ඩින් වැඩ, කාන්දුවීම් අනාවරණය කරගැනීම වැනි කටයුතු සඳහාත් හීලියම් වායුව නැතිවම බැරිබව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි.
ඒ හැරුණුවිට ගැඹුරු මුහුද ආශ්‍රිත කිමිදුම්වලදීත්, රොකට් ඇන්ජින් පිරිසිදු කිරීමේදීත් හීලියම් අවශ්‍යම වේ. හීලියම් අපේ වැඩවලට මේ තරම් අවශ්‍ය වුවත් හීලියම් ගැන අප තවමත් දන්නේ බැලුම් නිසාය. හීලියම් වායුව පිරවූ බැලුම් අහසේ ඉමක් කොණක් නැතිව පාවන විට අප ඒ දෙස බලමින් ලබන්නේ මහත් වූ ආශ්වාදයකි.
ඒ ආශ්වාදය තරමට මිහිරි නොවන්නාවූත් පාවන බැලුමක් තරමට සැහැල්ලු නොවන්නාවූත් සත්‍ය කතාවක් හීලියම් වායූ පිරවූ බැලුම් පසුපස තිබෙන බව ඔබ නොදන්නවා ඇත.

ඔබ නොදන්නා ඒ කතාව පටන් ගන්නට සුදුසු යැයි කියා අපට හැඟෙන කාරණා තුනක් තිබේ. ඉන් පළමුවන්න හීලියම් යනු පුනර්ජනනීය නොවන සම්පතක්ය යන්නය.

දෙවැන්න, හීලියම් සංරක්ෂණය කරන්නට අද වනතුරු වැඩපිළිවෙළක් බිහිවී නැතිය යන්නය. හීලියම් වායුවේ වටිනාකම නොදන්නා නිසා හීලියම් ඉතාමත් අඩු මිලකට අලෙවි වීමේ ප්‍රවණතාවක් බිහිවී තිබීම තෙවැනි කාරණයයි. හීලියම් වායුව ඉවක් බවක් නැතිව බැලුනවලට පිරවීමෙන් සිදුවන්නේ හීලියම් වායූව නාස්ති කිරීම පමණකි.
ඒ අන්දමට හීලියම් වායුව නාස්ති කරන්නට ගියහොත් තවත් වසර විසි පහක් තිහක් යනවිට අපට ප්‍රයා්ජනයට ගත හැකි හීලියම් වායූ ප්‍රමාණය අවසන් වනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මේ අනුව කියන්නට සිදුවන්නේ මිනිසාට අපමණ ප්‍රෙයා්ජනවත් වන වායුවක් හුදෙක් ඇස පිනවන කාර්යයකට භාවිතයට ගෙන නැති නාස්ති කර දැමීම මිනිසුන් වන අපට තරම් නොවන වැඩක් බවයි.

sa

මංජුලා විජයරත්න –