රටටම එකවර අවුරුදු කැන්දන අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ කතාව

මුළු රටටම එකම වේලාවකට ආහාර අනුභව කරන්නට මුළු වසරටම ලැබෙන්නේ එකම දිනයකි. ඒ අලුත් අවුරුදු නැකතටය. මේ වසරේ අලුත් අවුරුද්ද උදාවන එළඹෙන 13 දා රාත්‍රී අට පසුවී මිනිත්තු පනස් හතරක් ගෙවුණු තැන, ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා, සියලු වැඩ අල්ලා, ගනුදෙනුකොට ආහාර අනුභව කිරීම සුබ බව නැකැත් සීට්ටුවේ දක්වා ඇත. එහෙත් පසුගිය අවුරුද්දේ දී ආහාර අනුභව කරන ලද්දේ, රතු පැහැයෙන් සැරසීගෙන නැගෙනහිර දිශාව බලමිනි. මෙලෙස වසරින් වසර අවුරුදු නැකැත් වේලාව, පැහැය හා දිශාව ආදිය වෙනස් කරන්නේ, කාගේවත් හිතුමනාපයටම නොවේ. ‍ජ්‍යොතිර්වේදී උපදෙස්වලට අනුවය. අවුරුදු උදාවීමට දින කිහිපයකට පෙරදී කලඑළි බසින අලුත් අවුරුදු නැකැත් සීට්ටුව හදන්නේ, ඊට වෙන්වී සිටින විශේෂඥයන් පිරිසක් විසිනි. මෙකී භාරදූර කර්තව්‍යයේ වගකීම දරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික නැකැත් කමිටුව විසිනි. රටේ නමගිය ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් රැසක්ද, ‍ජ්‍යොතිෂ සංගම්වල නිලතල දරන්නෝද, පංචාංග ලිත් කර්තෘවරුද මෙකී අලුත් අවුරුදු නැකැත් කමිටුව නියෝජනය කරති.
ඔවුන්ගේ එකතුවෙන් කලඑළි බසින අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන අප සමග කතාබහ කරන්න එකතු වූයේ සිංහල පංචාංග ලිතේ කර්තෘ, ආර්.එච්. විලියම් මහතාය.

අතීතයේදී එක් එක් නැකැත් වේලාවන්ට අනුව සකස්වී තිබුණු අවුරුදු නැකත, එකම වේලාවකට අනුව සකස් කෙරුණේ කොහොමද?
අතීතයේ දී එක් එක් ලිත්වල වෙනස් ආකාරයේ වේලාවන් තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් යෙදිලා තිබුණෙ. ඊට පසුව මේ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සම්බන්ධ වුණා. ඒ, වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා සංස්කෘතික අමාත්‍යවරයාව කටයුතු කරන    කාලයේදීයි. එමගින් සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව ලෙස කමිටුවක් පිහිටෙව්වා. පංචාංග ලිත් කර්තෘවරු, එකතු කරලා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් මේ එකම නැකතක් සම්මත කර ගත්තා. එතැන් පටන්, සියලු දෙනාම එලෙස සම්මත කරගත් එකම නැකැත් පත්‍රය භාවිත කරනවා.

ජාතික නැකැත් කමිටුවෙන් අවුරුදු නැකැත් සකස් කෙරෙන ක්‍රමවේදය කුමක්ද?
ජාතික නැකැත් කමිටුවෙ ‍ජ්‍යොතිෂය කරන කිහිපදෙනෙකු, ලිත් කර්තෘවරු, ආදීන් තමතමන්ගේ ගණනය කිරීම්වලට අනුව නැකැත් සාදාගෙන එනවා. ‍ජ්‍යොතිෂයේ සිද්ධාන්ත, සංහිතා, හෝරා කියලා කොටස් තුනක් තියෙනවා. නැකැත් හදන්නේ, සිද්ධාන්ත ක්‍රමයට. හෝරා කියන්නේ, කේන්දර හදන එක සහ පලාඵල කියන ක්‍රමයයි. මේ ආකාරයට සිද්ධාන්ත ක්‍රමයට හදන සියලු දෙනාගේ නැකැත් වෙලාවන් සාකච්ඡා කරලා, එක් මතයකට පැමිණෙනවා. එක් එක් නැකැත්වල ‍පොඩි ‍පොඩි වෙනස්කම් දකින්න පුළුවන්. ඇතැමුන් විරුද්ධ වෙන අවස්ථාත් තියෙනවා. ඒත් ඒවා සාකච්ඡා කරලා බහුතරයේ කැමැත්ත මත එක ‍පොදු වෙලාවක් සකස් කරගන්නවා.

සාමාජිකයන් ගණනාවකගෙන් සමන්විත නැකැත් කමිටුවේ, බහුතරයකගේ කැමැත්ත, හරිම නැකත කියන්නේ කුමක් පදනම් කරගෙනද?
සිද්ධාන්ත ක්‍රමය අනුව තමයි, මේ සියලු දෙනාගේ මතයන් එකක් කරලා, එක් ‍පොදු නැකතක් හදාගන්නේ. මූලික වශයෙන් මුහුර්ත චින්තාමනිය හා සූර්ය සිද්ධාන්තය ආදී ග්‍රන්ථ මූලික කරගනිමින් ඒ නැකැත් වේලාවන් ගණනය කරගන්නවා. එහෙම සකස් කරද්දිත්, ඇතැමුන් මුළුමනින්ම විරුද්ධ වන අවස්ථාත් තියෙනවා.

වසරින් වසර අවුරුදු නැකැත් වෙලාවල් වෙනස් වන්නේ කොහොමද?
අවුරුදු නැකැත් හදන්නේ, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන වෙලාවට අනුවයි. සූර්යයා මේෂ රාශියට යන වෙලාව එකම වෙලාව නොවෙයි. ඒ වෙලාව වෙනස් වෙනවා. ඒත් එක්කම අවුරුදු නැකැත් යෙදෙන වෙලාවලුත් වෙනස් වෙනවා. දැනට අවුරුදු ගණනාවකට කලින් මාර්තු මාසයේදීත් අලුත් අවුරුදු නැකැත් යෙදිලා තියෙනවා. සමහර වෙලාවට ඉදිරියේ දී ඒ නිසා අවුරුදු නැකැත් මීට වඩා ඉදිරියටත්, යෙදෙන්න ඉඩ තියෙනවා. සූර්යයාගේ ගමන අනුවයි මේ වෙලාව තීරණය වන්නේ.

එතකොට මෙවර අලුත් අවුරුදු නැකැත් සියල්ල එකම දවසකට, 13දා ට ම යෙදිලා තියෙන්නේ කොහොම ද?
එහෙම නැකැත් යෙදිලා තියෙන්නෙත් ඉහතින් මම කියපු කාරණාවට අනුවයි. සාමාන්‍යයෙන් සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙන වෙලාවට අනුව තමයි අලුත් අවුරුදු උදාව ලබන්නේ. මෙවර එම නැකැත යෙදිලා තියෙන්නේ, 13දා රාත්‍රී හත පසුවී විනාඩි හතළිස් අටටයි.

ඒ කියන්නේ, මෙවර පරණ අවුරුද්දක් යෙදෙන්නේ නැද්ද?
ඔව්, මෙවර නැකැත් යෙදිලා තියෙන විදිහ අනුව, පරණ අවුරුද්ද යෙදෙන්නෙත් 13දා බදාදාටම තමයි. මේ නැකැත් වෙලාවල් ගණනය කරන තවත් විධි තියෙනවා. ඒ කියන්නේ, සාමාන්‍යයෙන් පරණ අවුරුද්ද කියලා සැලකෙන්නේ, පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන වෙලාව අනුවයි. අවුරුදු උදාවත් එක්ක සලකලා බැලුවොත් පරණ අවුරුද්දට ස්නානය කරන්න වෙන්නේ, අඟහරුවාදා දවසටයි. නමුත් පැරණි කාලයේ සිට තිබෙන මතයකට අනුව අඟහරුවාදා දිනවලට ස්නානය කිරීම එතරම් සුබ නැහැ. එලෙස සමාජගත වූ දේවල්වලට පිටුපාලා මේ චාරිත්‍ර කරන්න අමාරුයි. අඟහරුවාදා, සිකුරාදා දිනවල කුඩා දරුවන් පවා නාවන්න එදා වැඩිහිටියො එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. අඟහරුවාදා, සිකුරාදා, ඉරිදා, සෙනසුරාදා, දවස් අසුබ දවස් ලෙසයි සැලකෙන්නේ. ඒ දවස්වලට කිසිදු සුබ කටයුත්තක් යොදා ගන්නේ නැහැ. ඒ නිසා අවුරුදු චාරිත්‍ර සකස් කෙරෙන්නෙත්, සමාජගත වෙලා තියෙන ඒ සියලු දේවල් ආරක්ෂා කරගන්නා අතරමයි.

ඒ කියන්නේ මේ අසුබ දවස් ලෙස සැලකෙන දවසක අවුරුදු චාරිත්‍ර යෙදුනහොත් එදාට ඒ චාරිත්‍රත් නොසළකා හරිනවාද?
නැහැ එහෙමම කරන්න බැහැ. මේ කියන දවසකට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වුණොත් ඒ දවසකදි වුණත්, සිංහල අවුරුදු නැකැත් යොදා ගන්න සිදුවෙනවා. ඒවා කල්දමන්න බැහැ. මීට කලිනුත් එහෙම නැකත් යෙදිලා තියෙනවා.

 සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන බව, ‍ජ්‍යොතිෂයේ සඳහන් වුණත් තාරකා විද්‍යාවට අනුව එවැන්නක් සඳහන් වන්නේ නැහැ. මෙතනදි සිදුවන්නේ කුමක් ද?
නැහැ, එහෙම වෙනසක් දකින්න බැහැ. තාරකා විද්‍යාවත්, ‍ජ්‍යොතිෂයත් හුඟක් සමගාමීව තමයි දැන් පවතින්නේ. සායන ක්‍රමය හා නිරායන ක්‍රමය යන ක්‍රම දෙකට අනුවයි මෙහිදී ගණනය කිරීම් කෙරෙන්නේ. ඒ වගේම අනිත් කාරණය තමයි, අපිට ස්වාභාවිකවම සූර්යයා මුදුන් වන්නේ, මේ අවුරුදු නැකැත් යෙදෙන කාලසීමාව තුළමයි. තාරකා විද්‍යාව තුළිනුත් එය දැනුම් දෙනවා. ලංකාවේ අක්ෂාංශ දේශාංශ අනුව බලනකොටත් අපේ රටට, මේ දවස්වල තමයි මේෂ සංක්‍රාන්තිය යෙදෙන්නේ.

එතකොට ඔබතුමා කියන්නේ, තාරකා විද්‍යාවෙන් සූර්යයා මුදුන් වෙනවා කියන කාරණයද, ‍ජ්‍යොතිෂයෙන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්නේ?
ඔව්. බොහෝ දුරට,  ඒ මතයේ ඉන්නත් පුළුවන්. කොහොම නමුත්, වසර ආරම්භයේදීම වසර පුරා  සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ සිදුවන දවස් ගැන අපි ‍ජ්‍යොතිෂය මගින් ගණනය කරලා, ලිත්වලට ඇතුළත් කරනවා. ඒත් නාසා ආයතනය ඒ ගැන කියන්නේ
එම ග්‍රහණ සිදුවීමට දින කිහිපයකට පෙරයි.

සෞරග්‍රහ මණ්ඩලයට කාලයෙන් කාලයට අලුතින් එකතු කරගන්නා ග්‍රහයන් සියලු දෙනාත්, මේ නැකැත්වලට සම්බන්ධ කරගන්නවාද?
එහෙම නැහැ. යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ යනුවෙන් අලුතින් සොයා ගත් ග්‍රහයන් තුන්දෙනාත් කාලයක් ‍ජ්‍යොතිෂයට ඇතුළත් වෙලා තිබුණා. ඊට පසු ප්ලූටෝ ග්‍රහයෙක් නොවන බවට කියැවුණු කාරණයත් සමග එය එහෙමම මගහැරුණා. ඒ නිසා බොහෝදුරට, ප්‍රධාන වශයෙන් පිහිටි ග්‍රහයන් ගණනය කිරීමෙන් තමයි, ‍ජ්‍යොතිෂ කාරණා දක්වන්නේ. විශේෂයෙන්, රවි හා චන්ද්‍ර දෙදෙනා සමග තමයි එහි ගණනය කිරීම් වැඩිපුරම කෙරෙන්නේ.

අවුරුදු නැකැත්වලට අදාළව ඇඳුම්වල පැහැය වසරින් වසර වෙනස් වන්නේ කොහොමද?
සතියෙ දින හතම ‍ජ්‍යොතිර්වේදයට අනුව එක් එක් ග්‍රහයාට හිමියි. එමෙන්ම ඒ ඒ ග්‍රහයන්ට වෙන්වූ එක් එක් පැහැයන්ද ‍ජ්‍යොතිර්වේදයේදී අපට හමුවෙනවා. අවුරුදු නැකැත්වලට අදාළව ඇඳුම්වල පැහැයන් වෙනස් වන්නේ ඒ අනුවයි. උදාහරණයක් ලෙස, මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර යෙදෙන්නේ, බදාදා දිනයට. බදාදා දිනය අයිති බුධ ග්‍රහයාට. ඒ අනුව බුධ ග්‍රහයාට අයිති පැහැය ළා කොළ පැහැය. ඒ නිසා එදිනට යෙදිලා තියෙන්නේ ළා කොළ පැහැය. බ්‍රහස්පතින්දා දිනය රන්වන් පැහැය, සෙනසුරාදා දිනය නිල් පැහැය, අඟහරුවාදා දිනය රතු පැහැය, සඳුදා දිනය සුදු පැහැය ලෙස පැහැයන් වෙනස් වෙනවා. රැකී රක්ෂා සඳහා පිටත්ව යාමට නියමිත නැකැත මෙවර යෙදිලා තියෙන්නේ 18 වෙනි සඳුදා. ඒ නිසා එදිනට ඇඳීමට නියමිත පැහැය සුදු පැහැයයි.
ඒ වගේම ඒ ඒ දිනවලට නියමිත ආහාර වර්ගත් ‍ජ්‍යොතිෂයේදී අපට හමුවෙනවා. බදාදා දිනයට අයිති මුංඇටයි. ඒ නිසා, ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ මුංඇට මිශ්‍ර කැවිලි අනුභව කරන ලෙස නැකැත් සීට්ටුවේ දක්වා තියෙනවා.

ස්නානය, හිසතෙල් ගෑම ආදී චාරිත්‍රයන්ට යොදා ගන්නා ඖෂධීය ශාක පත්‍රයන් ද මේ ආකාරයටම වෙනස් වෙනවා නේද?
ඔව්, හිසතෙල් ගෑම සඳහා හිසට තැබිමට ගන්නා ශාක පත්‍රය තීරණය වන්නේ, අදාළ දිනය හිමි ග්‍රහයාට අයත් ශාක වර්ගය අනුවයි. මෙවර හිස තෙල් ගෑමට නියමිතව තියෙන්නේ, 16 වෙනි සෙනසුරාදා. එදින අයත් සෙනසුරු ග්‍රහයාගේ ශාකය නුග ශාකය. ඒ නිසා හිසට තැබිම සඳහා නුගපත් යොදා ගැනෙනවා. පයට තැබිමට ගන්නා ශාකය තීරණය වන්නේ, අදාළ දිනයට පෙර දිනයේ ග්‍රහයාට හිමි ශාකයට අනුවයි. ඒ අනුව මෙවර සිකුරාදා සිකුරු ග්‍රහයාට හිමි කරඳ පත්‍රයේ ශාක පයට තැබිම සඳහා යොදා ගන්නවා.
ස්නානය සඳහා නානු සකසා ගන්නේ ද මේ ආකාරයෙන්මයි. ස්නානය කිරීමට නියමිත දවස හිමි ග්‍රහයාට අයත් ශාකයේ පත්‍රවලින් මේ නානු සකසා ගැනීම තමයි ‍ජ්‍යොතිර්වේදයට අනුව සිදුවන්නේ.

ww

ගයාත්‍රි ගීගනආරච්චි