ගූගල් කට්ටඩියා

එය අතිනවීන පන්නයේ දේවාලයකි. සිව් දිසාවටම මුහුණලා CCTV කැමරාය. ප‍්‍රධාන දොරටුවෙන් ඇතුල්වත්ම ඉදිරිපස ඇති ස්වයංක‍්‍රීය කැමරාවෙන් දේවාලයට ඇතුළු වන පුද්ගලයන්ගේ පැහැදිලි දසුන් දේවාලයේ අභ්‍යන්තරයට (දෙවියන්ට නොවේ) සන්නිවේදනය වන්නේය.
ආවතේවකරුවෝ නිරන්තරයෙන් විමසිලිමත්ව සිටින්නෝය. ඔවුහු සුදු ඇඳුමින් සැරසී සිටිති. දේවාලයේ ඇතුළත අසුන් පනවා ඇත්තේය. පැමිණෙන බැතිමතුන් ලියාපදිංචි කිරීම සඳහා පිළිගැනීමේ නිලධාරියෙකි. හේ තරුණ වයසේ කඩවසම් පුද්ගලයෙකි. නම, ලිපිනය, ජංගම දුරකථන අංකය ලියාපදිංචියට අවශ්‍යය. සාස්තරය කීමට දින ලබා දෙන්නේ පැමිණි පිළිවෙළ අනුවය. සාස්තරය අහ ගැනීම සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 1000 කි. පූජාවක් තැබීමට රුපියල් පන්දහසේ සිට අය කිරීම්ය. නිවසේ දෝෂ පරීක්ෂාව, බහිරව දෝෂ මඟහැරවීම, අට කොණ කැපීම, පේ‍්‍රත තටු පිදේනි දීම, යාතිකා කිරීම ඇතුළු මෙකී නොකී කටයුතු සඳහා වෙනම අය කිරීම්ය. දේවාලයේ ප‍්‍රධාන කපුවා විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියකු සේය. පාරිභෝගික බැතිමතුන් සමඟ හෙතෙම ගනුදෙනු කරන්නේ සාස්තරය අසන වේලාවටත් සෙසු වතාවත්වලදිත් පමණි. සෙසු කටයුතු සඳහා සිටින්නේ තරුණ ආවතේවකරුවන්ය.

ශ‍්‍රී ශ‍්‍රීමති අංජනම් දිෂ්ටියෙන් සහ හනුමා දිෂ්ටියෙන් ප‍්‍රධාන කපුවා සාස්තරය කියන්නේය. මේ දේවාලයේ ඝන තිර රෙදි දැමූ කුඩා කාමරයකි. බැතිමතුන් එළියේ සිටිය යුතුය. කුමන හේතුවක් නිසාවත් තිරයෙන් ඇතුළට බැතිමතුන්ට යා නොහැකිය. කාමරය තුළ සිටින්නේ ප‍්‍රධාන කපුවාය. එළියේ සිටින අය ආරූඪයෙන් කියන සාස්තරය අසා සිටිය යුතුය. අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. තිර රෙද්දට ඉදිරියෙන් ඇති පීත්ත පටියෙන් ඇතුළට බැතිමතුන්ට යා නොහැකිය.

එක් දිනයක දී සාස්තර කියන්නේ පුද්ගලයන් දෙදෙනකුට පමණි. ලියාපදිංචි වීම අනුව උදේ වරුවේ එක් අයකුටත් සවස් වරුවේ තවත් අයකුටත් ලෙස දවස වෙන්කර ඇත. කලින් දිනවල සාස්තර ඇසූ අයගේ පූජා කටයුතු මේ අතරතුර කාලයේ පැවැත්වේ. මේ දේවාලය පිළිබඳව මට කීවේ මගේ මිත‍්‍රයෙකි. ඔහුට අනුව මෙතැන කියන සාස්තරයෙන් 75% ක් ඇත්තය. ඉකුත් සතිඅන්තයේ මම මේ මහා බලගතු සත්‍යාගාරය නැරඹීමට ගියෙමි. මගේ මිත‍්‍රයාගේ දැනහැඳුනුම්කම් මත ලියාපදිංචි වීමක් අවශ්‍ය වූයේ නැත. ආවතේවකරුවන් පොල් කටු පුලූස්සා දේවාලය වටේ සුවඳ දුම් ඇල්ලූවේය. කහ දියර ඉසුවේය. පහන් දල්වා අඳුරු කාමර ඒකාලෝක කළේය. මඳ වේලාවකින් ඉමිහිරි නැවුම් පලතුරු සුවඳ පැතිර ගියේය. බාරයක් ඔප්පු කිරීමට පැමිණි පිරිස් රැගෙන ආ නැවුම් පලතුරු දෙවියන්ට අවශ්‍ය පරිදි කපා පිළියෙල කළේ ආවතේවකරුවෝය. ප‍්‍රධාන කපුවා රතු පැහැති ජටාවක් හිස පලඳා බැතිමතුන් ආකර්ෂණය කරගන්නා ආභරණවලින් ද සැරසී සිටියේය. මඳ වේලාවකින් රත්නපුරයේ සිට පැමිණි පුද්ගලයකු ප‍්‍රධාන දේවාලයේ තිරය ඉදිරිපසට කැඳවාගෙන ආ ආවතේවකරුවා සාස්තරය ඇසීමට සූදානම් වන ලෙස ඔහුට දැනුම් දුන්නේය.

කපුවා දේවාලයේ මොන මොනවාදේ කියෙව්වේය. ‘‘දරුවා ශ‍්‍රීමත් අංජනම් දේවි කියනවා තුන්මං හන්දියකින් ඇතුළට යන්න කියලා. හරිද? හරි. දරුවා තමන්ගේ මිදුලේ ලොකු කොළ තියෙන කිරි ගහක් තියෙනවා. ඔව් දෙල්ගහක් තියෙනවා… දරුවා මෙතන ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා… ඔව්…! ගෙදර ඉන්නවා නේද අබ්බගාතයෙක්? ‘ඔව් මගේ මල්ලි…’ පාදයේ ආබාධයක්… ඔව්…! වම් පැත්තේ තියෙන ළිඳ ඔව් ඔව් ළිඳක් තියෙනවා. දරුවා මේ අලූතින් හදන ගොඩනැගිල්ල මොකක්ද… ඒකෙ තමයි දෝෂය තියෙන්නේ… ‘මං අලූතින් හදන ගේ ගැන අහන්න තමයි ආවේ.’ දරුවා වහල ගහන්න ළං වෙනකං හිටියේ ඇයි…? ‘පොඩි පොඩි ප‍්‍රශ්න වගයක් නිසා කරගන්න බැරි වුණා…’ දරුවා දකුණු පැත්තේ තියෙන වැටේ රතු පාට මල් පිපෙන පඳුරක් තියෙනවා. එතන කුණු ගොඩ ඉවත් කළේ නැද්ද…? ‘ඊයේ අයින් කළා…’ දරුවා ඒ කුණු ගොඩට තමයි කොඩිවිනේ ගෙනල්ලා දාලා තියෙන්නේ. සෙනසුරාදා දවසක තීන්දුව කපන්න වෙනවා… කදුරු, අළු පුහුල්, අහු, හොඬල, රතු අන්නාසි තියෙන්න ඕනෑ.’’ කපුවා නැවත නැවත අංජනම් දේවියගේ දෘෂ්ටිය තෙපළන්නේය. ‘‘ශ‍්‍රී අංජනම් දේවි දිෂ්ටි… දිෂ්ටි…! තමන්ගේ ගෙදරට ඉස්සරහා ගෙදර වම් පැත්තට තියෙන ඇළේ මේ කපන තීන්දුව පා කරන්න ඕනෑ තේරුණාද?’’ ‘තේරුණා!’ කපුවා සාස්තරය කියා අවසන්ය. ආවතේවකරුවා පැමිණ බැතිමතා එතැනින් ඉවත් කළේය. මම මේ බැතිමතා හමුවීමි. හෙතෙම කුඩා කඩයක් සහිත ව්‍යාපාරිකයෙකි. සාස්තරය හරිදැයි මම ඔහුගෙන් විමසුවෙමි. ‘‘හරියට හරි. පුදුම වැඬේ කියන්නේ කියපු විස්තර එකක්වත් වැරැදි නැහැ. රතු මල් පඳුර ගැන හරියටම කිව්වා. බාගෙට හදපු ගේ ගැනත් කිව්වා. මට අදහන්නත් අමාරුයි.’’ මේ බැතිමතාගෙන් මම ලිපිනයත් දුරකථන අංකයත් ඉල්ලා සිටියෙමි. ඔහු එය මට ලබා දුන්නේය. සවස් වරුවේ සාස්තරයත් අහලම යන්න ඕනෑ යැයි මම මගේ මිත‍්‍රයාට කීවෙමි. හෙතෙම මට ඊට ඉඩකඩ සලසා දුන්නේය. හිටි හැටියේම විදුලිය විසන්ධි වී ගියේය. සාස්තර කීමට විදුලිය අවශ්‍ය නූනත් කපුවාට වෙහෙස වැඩි නිසා විදුලිය එනතෙක් ඉවසා සිටින ලෙස ආවතේවකරුවන් අපට කියා සිටියේය. මෙය මහා උභතෝකෝටික ප‍්‍රශ්නයකි. මම මගේ මිත‍්‍රයාගෙන් දැඩි ඉල්ලීමක් කෙරුවෙමි. ‘‘මචං දේවාලයේ ඇතුළේ පිළිම ටික මට පෙන්නපං…!’’ ‘‘ඒක කරන්න බැරි වෙයි.’’ ‘‘නෑ මට දේවාලේ ඇතුළ බලන්න ඕනමයි.’’ මාගේ මිත‍්‍රයා ප‍්‍රධාන කපුවා මුණගැසී මගේ ඉල්ලීම පිළිබඳව විමසනු දුටුවෙමි. ‘‘දේවාලය අපිරිසිදු වුණොත් මට ආරූඪය ගන්න බෑ… මහත්තයා මොන වත්තක ඉඳලා ආවද දන්නෙ නෑ…! පිටිපස්සේ ජනේලයක් තියෙනවා මං ඒ ජනේලය අරින්නම් මහත්තයා දේවාලේ ඇතුළ බලාගන්න.’’ මම ඒ අදහසට එකඟ වූවෙමි. නොඉවසිල්ලෙන් සිටිය ද විදුලිය එනතෙක් සිටින්නට සිදු විය. පැය භාගයකින් පමණ විදුලිය ලැබුණේය. වතාවත් ආරම්භ කිරීමට මත්තෙන් ජනේලය විවර කර දෙන ලෙස මම මගේ මිත‍්‍රයාට කීවෙමි. අවස්ථාව ලදිමි. මේ බලගතු සාස්තරකරුවාගේ මඟ ලකුණු කීම අනුව මා අපේක්ෂා කරන උපකරණ එහි තිබිය යුතු බවට පූර්ව නිගමනයක සිටියෙමි. කපුවා ජනේලය විවර කළේය. මම ද සාදුකාර දෙමින් ජනේල තිරය මෑත්කොට බලගතු දෙවියන් එහි සිටීදැයි නිරීක්ෂණය කළෙමි. පූර්ව නිගමනය නිවැරැදිය. ඩිජිටල් පුවරුවල බලගතු දෙවියන්ගේ සේයාය. පූජාසනයකි. පලතුරින් පිරී ගිය මේසයකි. දැල්වූ පහන්ය. ජනේලයට මඳක් දුරින් මේසයක් හා කැරකෙන පුටුවකි. ඊට ඉහළින් රවුටරයක කොළ පැහැති විදුලි බුබුළු කණාමැදිරි එළිය මෙන් දැල්වෙමින් නිවෙමින්ය. මේසය මත බලගතු අංජනම් දේවිය හෙවත් පරිගණකයකි. එය එක්වරම මා නෙත ගැටෙනවාට දැමූ රෙද්ද හරි හැටි ඒ මතට වැටී නැත. සත්‍යාගාරය ගැන දැන් කුමන කතාද! මම මගේ මිතුරා සමඟ නැවත පැමිණියෙමි. රත්නපුරයේ සිට මේ මහා බලගතු දේවාලයට පැමිණි බැතිමතාගේ ලිපිනය මම නැවත පරීක්ෂා කර බැලීමි. maps.google.lkවෙබ් අඩවියට පිවිස ගූගල් ස්ටී‍්‍රට් වීව් (Street View) හරහා ලිපිනයේ මාවත සොයා ගත්තෙමි. හරස් වීදිය දිගේ මඳක් ක්ලික් කළ විට දේවාලයේ කපුවා කී සලකුණු තිබුණේය. මිදුලේ දෙල් ගසකි. එක් කෙළවරක කුඩා වෙළෙඳසලක ඉදල් මිටියක් පැහැදිලිව පෙනේ. නිවසේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට පුටුවක ඉඳගෙන සිටින තරුණයෙකි. ඔහුගේ අත්වාරුව (කිහිලිකරුව) බිත්තියට හේත්තු කර ඇත. නිවසට වම්පස පොදු නාන ළිඳකි. අලූතින් සාදන ලද ගොඩනැගිල්ලක බ්ලොක් ගල් තවමත් නිරුවතින්ය. නිවසේ දකුණු පස යෝධ වදමල් පඳුරකි…! දැන් ඉතින් සාස්තරේ මහිමය කුමට කියම්ද? වදමල් පඳුරට නුදුරින් ඇති තැඹිලි ගස පිළිබඳව රත්නපුරේ බැතිමතාගෙන් දුරකථනයෙන් මම විමසුවෙමි. ඔහු පෙරළා මගෙන් ඇසුවේ මං ආවාට පසුවත් සාස්තරේ කිව්වාද යනුවෙනි. තවත් සලකුණු කිහිපයක් කියා ඔහුව විස්මයට පත් කළෙමි. පසුව මේ සාස්තරය කියන්නට පහසු විදිහ මම ඔහුට දුරකථනයෙන් කීවෙමි. ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සඳහා තවදුරටත් මුදල් නාස්ති කරනු ඇද්දැයි මා දන්නේ නැත. කෙසේ වුව ද මේ අලූත් සාස්තර කීම දැන් පටන්ගෙන ඇත්තේය. මේ කට්ටඩියන් google කට්ටඩියන්ය. විද්‍යාවේ හා තාක්ෂණයේ ජයග‍්‍රහණයන්හි පෝෂණය ලැබ ගනිමින් මිථ්‍යාව නමැති වගුරේ ජනතාව ගිල්වන උපක‍්‍රම කපටි මිනිස් ප‍්‍රාණීන් හොඳින් දැන සිටින්නේය. තාක්ෂණයේ ජයග‍්‍රහණ අත්පත්කර නොගත් ජනතාව එකී ජයග‍්‍රහණ ඔවුන් වෙත සමීප වෙන තෙක්ම රවටන්නට හැකිය. ඒ පිළිබඳව මම තවත් අටුවා ටීකා නොලියමි.

ශ‍්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව Street View වැඩසටහන සඳහා මෙරට මාර්ගවල සිට ඡායාරූප ගැනීම ගූගල් සමාගම ආරම්භ කරන ලද්දේ 2014 වසරේ දෙසැම්බර් 12 වනදා සිටය. මේ සඳහා විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ ගම්දනව් සිසාරා ප‍්‍රධාන මං මාවත්වලට පිවිසියේය. අංශක 360ක කෝණයකින් ලබා ගත් පරි දර්ශක ඡායාරූප මඟින් (360 Panoramic image)ගූගල් ස්ටී‍්‍රට් වීව් පරිහරණය කරන්නාට තමන් එම මාර්ගයේ හෝ එම ස්ථානයේ සිටිනා විට පෙනෙන ආකාරයට හාත්පස දර්ශනය කළ හැකිය. මෙම සේවාව ලබා දුන් ලොව 67 වන රට ශ‍්‍රී ලංකාවය. පරිගණකය, ටැබ් හෝ ස්මාර්ට් ජංගම දුරකථනවලින් ලංකාවේ ඕනෑම අයකුට දැන් මෙම සේවාව පරීක්ෂා කළ හැකිය. ගූගල් සමාගම සඳහන් කරන්නේ දැනට ශ‍්‍රී ලංකාව පුරා කිලෝමීටර් 50,000 කට අධික දුරක් ගූගල් ස්ටී‍්‍රට් වීව් සේවාව හරහා ආවරණය කර ඇති බවය. මේ සේවාව ලෝ වැසියන්ට ලබා දීම සඳහා කැමරා සවි කළ මෝටර් රථවලට අමතරව හිමේ යා හැකි ස්නෝ මොබයිල් වාහන මෙන්ම පයින් ගමන් යා හැකි ස්ථානවල දී ගූගල් කැමරා පිටේ බැඳගත් ගූගල් සේවකයන් ද යොදා ගත්තේය. මෙතෙක් බැලූ සිතියම ත‍්‍රිමාන ලෙස දකින්නටත් පහසුවෙන් මාවත සොයා ගන්නටත් දැන් හැකියාව ඇත්තේය. මෙකී තාක්ෂණය ප‍්‍රයෝජනයට ගනිමින් මිනිසුන් මුළා කිරීම මෙන්ම අපරාධ සඳහා යොදා ගැනීම ද එකී තාක්ෂණයටත් මිනිස්කමටත් කරන ද්‍රෝහී වීමකි. ගෝත‍්‍රවාදී ලෙස සිතන මිනිසුන් එතැනින් එහාට අත්වන ජයග‍්‍රහණ ගැන නොසිතා වැරැදි භාවිතාවෙහිම යෙදෙන්නේය. ඒ අතින් මේ සියවස මහා පුදුමාකාරය. විශිෂ්ටතම තාක්ෂණික ජයග‍්‍රහණ මැද අන්ත දුගී ප‍්‍රාථමික භාවිතාවන් තවමත් ඇත්තේය. විද්‍යාවේ හා තාක්ෂණයේ ජයග‍්‍රහණ සමඟ මිථ්‍යාව සම්බන්ධව ගැටගැහුණු අවිද්‍යාව ද කටුස්සා සමේ පැහැය වෙනස් කරන්නා සේ ඊට ගැළපෙන මුහුණුවරින් පෙනී සිටින්නේය. දේව භූත ආරූඪ වෙනුවට ගූගල් කට්ටඩියන් පිළිබඳව මෙවන් යුගයක සැලකිලිමත් විය යුත්තේ එනිසාය. මිනිස් ජාන තුළ සියවස් ගණනක් පුරා පැවති මනෝභාව විද්‍යාවට හෝ තාක්ෂණයට පහසුවෙන් සෝදා හරින්නට බැරිය. අන්ධ විශ්වාසවලින් බැටකන මිනිස් සමාජය ඉන් මුදවාගත හැක්කේ මිථ්‍යාවට, අවිද්‍යාවට එරෙහිව අඛණ්ඩව සටන් කරන හේතුවාදී මිනිස් සමූහයකගේ අරගලය තුළිනි.

sw

– දයා නෙත්තසිංහ